මේක ද දියුණුව?

deepana3_11062018_FUNමානව ඉතිහාසය පැමිණි ගමන් මග දෙස ආපසු හැරී බලන සමහරු පැමිණි ගමන දෙස සුභවාදී ව බලති. ඇතැම්හු ඒ දෙස අසුභවාදී ව බලති.

සුභවාදී ව බලන අය කියන්නේ මිනිසුන් විසින් බොහෝ දේ අත්පත් කර ගෙන ඇති බව ය. මීට දශක දෙක තුනකට උඩ දී රුපියල් මිලියනයකටවත් ගත නොහැකි වූ බඩු කන්දරාවක් අප භාවිතා කරන රු දහ පහලොස් දාහකට වුව ගත හැකි ස්මාර්ට් ජංගම දුරකථනය තුළ ගොනුව තිබේ. ලයිස්තු ගත කරන්නේ නම් දුරකථනයට අමතරව ඊට කෙටි පණිවුඩ යැවීමේ හැකියාවක් ද ඇත. කැමරාවක් ද වීඩියෝ කැමරාවක් ද එය සතු ය. දින දර්ශනයක් ද දින පොතක් ද ඊට තිබේ. නියමිත වෙලාවට ඔබ අවදිකරවන සීනුවක් සහිත ඔරලෝසුවක් ද එය සතු ය. තවත් කුඩා මිලකට ඩේටා මිලට ගෙන ශබ්ද කෝෂයකට ද විශ්ව කෝෂයකට ද ඒ හරහා ප්‍රවේශ විය හැකි ය. ගුවන් විදුලි යන්ත්‍රයක් ද රූපවාහිනියක් ද ඒ තුළින් ගත හැකි ය. කුඩා සිනමා හලක් නාට්‍ය ශාලාවක් නිර්මාණය කර ගත හැකි ය. එය නිසි ලෙස භාවිතයට ගන්නේ නම් මුදල් ද ඉතිරි කර ගත හැකි ය. ඒ තදබදය සහිත මාර්ගවල නොගොසින් තම ගමන යාමට හැකි විකල්ප මාර්ග සොයා ගැනීමට කටයුතු කිරීමෙනි. එය හරහා බිල්පත් ගෙවිය හැකි ය. ඒ නිසා මුදල් පමණක් නොව කාලය ද ඉතිරි කර ගත හැකි ය. ඔබගේ වැඩ සංවිධානය කර ගැනීමට එක මෙවලමක් භාවිතා කර හැකියාව ලැබෙන නිසා විශාල පහසුවක් ද ඔබට ලැබේ. විවිධ භාණ්ඩ ගබඩා කර තැබීමට යන ඉඩ ද ඉතිරි වේ. මේ සියල්ල අතිශය පහසු මිලකට ය.

ඇති. ඇති. මේ අහන්න. ඔය බඩකඩුත්තුව නිසා මිනිස් සංහතියට වි ඇති විපත ගැන ඔබ අන්ධ ද? මේ අසුභවාදීයෙකු ඉවසා බැරිම තැන නගන ප්‍රශ්නය ය. ඔය මගුල නිසා අවුල් වී ඇති පවුල් ගණන කීය ද? මිනිසුන් අතර මානව සම්බන්ධතා කඩා බිඳ දැමීමට ඔය කියන අටමගලය කටයුතු කර නැති ද? මේ විරෝධය පහසුවෙන් ඉවත දැමිය නොහැකි ය. කතාව ඇත්ත නිසා ය. කතාව ඇත්තටම ඇත්ත ද?

කැත්ත ගෙනාවේ ගස් කපන්න ය. එක ගෝතයෙක් මේ කැත්තෙන් මිනිහෙකුගේ බෙල්ල කැපුවේ ය. දැන් ඉතින් කැත්තට නිවනක් නැත. අසන්නට වන්නේ බලු බැනුම් ය. ඇත්තට ම වගකිව යුත්තේ කැත්ත ද? එය නොමනා කටයුත්තකට යොදා ගත් ගෝතයා ද? උත්තරය දිය යුත්තේ ඔබ ය.

එකතු කර ගෙන ඇති කුණු කන්දල්

අප ආ ගමන් මගේ අප විසින් එකතු කර ගත් එක් තීරණාත්මක මෙවලක් මේ දුරකථනය ය. එහෙත් අප එකතු කර ගත් කුණු කන්දල් නැද්ද? ඒවා අපමණ ය.

එකක් පොලිතීන් ය. එහි නිවුන් සොහොයුරන් වන විවිධ ආකාරයේ පැකින් ය. ඒවා නොදිරන නිසා ම ඇති කරන අවුල දිගු කාලීන ය. ඒවා කාණු පද්ධති හිර කර ගංවතුර ඇති කරන්නේ ය. සතුන් විසින් ගිල දමනු ලැබ උන් මරණයට පත් කරන්නේ ය. ඒවා ගොඩ ගැසී හැදෙන කඳු මිනිසුන් මතට කඩා වැටී උන් වනසා දමන්නේ ය. මේ අප කියන දියුුණුව විසින් අපට අත් කර දී ඇති තවත් එක් දයාදයකි. මේක ද දියුණුව යයි ඇතැමි මිනිසුන් අසන්නේ ඇත්තටම මේ සියලු විප්‍රකාර දැක උපන් සංවේගයෙනි.

මේ ලයිස්තුවට එකතු කළ යුතු තව කිපයක් තිබේ. ඉන් එකක් ෆොසිල ඉන්ධන දහනයෙන් එකතුවන වායූන් නිසා ගෝලිය උණුසුමේ ඉහළ යෑම ය. ග්ලැසියර් දියවි මුහුදු මට්ටම ඉහළ යෑම ය. ගොඩ බිම මුහුදට යට වීම ය. නියං සායවල් හා ගංවතුර වැනි ක්‍රියා ඇති වීම ය. ඇතැම් සත්ත්ව වර්ගයා මිහිතලයෙන් මුළුමණින් අතු ගෑවී යෑම ය. කොටින් ම පරිසරය ම ජීවයට නුසුදුසු සේ නැවත සකස් වීම ය.

මේ කරුණු දෙක සැළකීමේ දී අපට පෙනි යන්නේ ඊනියා දියුණුව විසින් අප ගෙනැවිත් ඇති ඛේදවාචී තැන ය. තවමත් මේ දියුණුව සම්බන්ධයෙන් ඔබට සතුටු විය හැකි ද? ජනතාව අසන ජනප්‍රිය ප්‍රශ්නය දැන් අපට ද ඇසිය හැකි ය. දැන් ඔබට සතුටු ද?

මෙය විමසිය යුතු පැනයකි. මග හැර යා නොහැකි පැනයකි. මන් ද යත් මෙයින් අදහස් කරන්නේ අප දියුණුව ආපසු හැරවිය යුතු බව නම් නතර කළ යුතු බව නම් එතැන ද ගැටළුවක් ඇති නිසා ය.

උත්තර ඇත්තේ ද ප්‍රශ්නයේ ය

නැවත වතාවක් කැත්තේ උදාහරණයට යමු. පොලීතීන් ප්‍රතිචක්‍රීය කරණය කළ හැක්කකි. ඉතිරි පැකින් ද එසේ ය. අප එසේ නොකොට එය කාණුවකට කැළයකට අත හරිනවා නම් ඇඟිල්ල දික් කළ යුත්තේ කොතැනට ද? කාට ද?

තාක්ෂණය විසින් මේ වන විට දිරා පත් වන පොලීතීන් වර්ග ද සොයා ගෙන තිබේ. එයින් කියවෙන අමතර කාරණය කුමක් ද? අප යන මාවතේ අපට වැරදීම් විය හැකි බව ය. අප ඇතැම් තැනක අතරමං විය හැකි බව ය. අප කළ යුත්තේ ඉක්මණින් නැවතත් හරි පාර සොයා ගැනීම ය. ආපසු යෑමට හෝ ගමන නැවතීමට හිත හදා ගැනීම නොවේ ය. වඩාත් සැළසුම් සහගතව ගමන යෑමට කටයුතු කිරීම ය.

තාක්ෂණය විසින් පුනර්ජිවන විදුලි බල ප්‍රභවයන් සොයා ගෙන ඇති අතර ඒවා වැඩි වැඩියෙන් ලාභ දායක ලෙස වෙළඳ පොලට නිකුත් කිරීමට කටයුතු සම්පාදනය කර තිබේ. ඒ අතර කිසිදු පරිසර හානියක් නොකරන සූර්ය බලය ද ඇත. එහි ඇති එක් සිමාවක් නම් ඒ බලය රැස් කර තබා ගැනීමේ තාක්ෂණයේ තවමත් ඇති අඩුපාඩු ය. වාර්ථා වෙන ආකාරයට බැටරි තාක්ෂණය දියුණු වන වේගය අනුව, නොබෝ කලකින්, ප්‍රධාන විදුලි බල පද්ධතියට සම්බන්ධ නොවි, විදුලි බලයෙන් ස්වයං පෝෂිත වීමට හැම නිවසකට ම පුළුවන් කම ලැබෙනු ඇත. එසේ වුව හොත් මේ ගෝලිය උණුසුමට තිත වැටෙන්නේ ය.

මීට දසකයකට පෙර වායුගෝලීය උණුසුම් වීම තරමට ම කතා කළ තව මාතෘකාවක් තිබිණි. ඒ ඕසෝන ස්ථරයේ හැදෙමින්, ලොකු වෙමින්, තිබුණු සිදුරක් ගැන ය. ඒ සිදුර ඇතිව තිබුණේ ශීත කරණ හා වායු සම්කරණ වලට අප යොදන එක්තරා ද්‍රව්‍යයක් වායුගෝලයට මුසු වුනු නිසා ය. ලෝකයේ මේ ගැන සංවාදයක් ඇති වූ අතර එම ද්‍රව්‍ය නිශ්පාදනය ක්‍රමයෙන් අඩු කොට නවතා දැමීමට කටයුතු යෙදුනේ ය. දැන් ශිතකරණ හෝ වායුසමිකරණ වලට එම ද්‍රව්‍යය යොදා ගැනෙන්නේ නැත. ඕසෝන් ස්ථරයේ සිදුර මේ වන විට අඩු වෙමින් පවතින අතර එය තවදුරටත් අනතුරුදායක නොවනු ඇත.

මෙයින් කියන්නේ දියුණුවේ මාවතේ යන අපට වැරදීම් සිදු විය හැකි බවත් අප විසින් ඒ වැරදි ඉක්මණින් අවබෝධ කරගෙන නිවැරදි කර ගෙන ඇති බවත් ඉදිරියේ දී  ද එසේ කළ යුතු බවත් හා කළ හැකි බවත් ය.

දියුණුවේ ප්‍රතිඵල කාට ද?

මේ සංවාදයේ දී හුස්ම ගැනීමට ලැබෙන්නේ නැත. අපට ඊළගට මුහුණ දිමට සිදු වන ප්‍රශ්නය නම් මේ දියුණුවේ ප්‍රතිඵල භුක්ති විඳිමට පළල් ජනතාවකට ඉඩ ලැබෙන්නේ ද නැතිනම් සීමාසහිත පිරිසකට පමණක් ඉඩ ලැබෙන්නේ ද යන්න ය. මීට ද එහා ගොස් සමහරුන් කියන්නේ, ඇති නැති පරතරය වැඩි වි ඇති බවත්, දුප්පතුන් තවත් දුප්පතුන් වෙන අතර පොහොසතුන් වඩ වඩා පොහොසත් වන බවත් ය.

මේ ගැන තොරතුරු හොයන කෙනෙකුට මේ චෝදනාවල ඇත්තේ අර්ධ සත්‍යයක් පමණක් බව ඉක්මණින් පෙනී යන්නේ ය. පොහොසතුන් වඩ වඩා පොහොසත් වන බව ඇත්තක් නමුත් දුප්පතුන් වඩ වඩාත් දුප්පත් වන්නේ යැයි යන්න බොරුවක් බව ඔවුන් ඉක්මණින් අවබෝධ කර ගන්නවා ඇත.

වර්ෂ 1820 දී ලෝකයේ “වත්මන් අගයට අනුව“ ඩොලර් 2 ට වඩා අඩු දෛනික ආදායම් ලාභී ජනතාව සිියයට 94 ක් වූ අතර එය 1980 වන විට සියයට 44 දක්වා අඩු වී තිබිණ. 2015 වන විට ඒ ප්‍රමාණය 9% දක්වා පහත වැටී ඇත. දුප්පත් කම තුළ අදට වඩාත් වැඩි ජනතාවක් තවමත් ජීවත් වන්නේ ගැටුම් වැඩි රටවල ය. ඒ සංවර්ධනයට ඉඩ ගැටුම් වලින් වළකා ඇති නිසා ය.

අප අවට දක්නා දේ ගෙන බැලුවත් මේ කතාවේ ඇත්ත නැත්ත ඔබට බලා ගත හැකි ය. දහනම වැනි ශතවර්ෂයේ  දී මෝටර් රථය තිබුනේ අතිශය අතලොස්සකට භාවිතා කළ හැකි වාහනයක් ලෙස ය. අද එය ලොව බොහෝ දෙනෙකු සතු වාහනයක් වී තිබේ. දුර කථනයක අයිතිය තිබුනේ එහෙමත් කෙනෙකුට ය. අද දුරකථනයක් නැති කෙනෙකු සොයා ගැනීම අපහසු ය. ගුවන් විදුලිය රූපවාහිනිය ශීත කරණය පමණක් නොව වෙන බොහෝ දේ ද ඉතා අඩු මිලකට සැපයිමට දියුණුව සමත් ව තිබේ. එපමණක් නොවේ. ඒවායේ දියුණු කරන ලද කාර්යක්ෂමතාවය නිසා ඒ බොහෝ උපකරණ අඩු විදුලි බලයකින් ක්‍රියාත්මක කළ හැකි ව තිබෙන නිසා ඒවා භාවිතා කිරීමට වැය වන මුදල ද අඩුව තිබේ.

ලංකාවේ තත්වය ද එයින් වෙනස්  නැත. යුද්ධයෙන් පීඩාවට පත්ව තිබූ උතුරු නැගෙනහිර හැරුණු කොට 2002 දි ආදායම හා වෙනත් සාධක මත දුප්පතුන් ලෙස වර්ගී කෙරුණු පවුල් සංඛ්‍යාව මුළු ගණනින් සියයට 22 ක් වූ නමුත් 2012 වන විට එය සියයට 6.7 දක්වා පහතට බැස තිබුණේ ය.

මීට දශක දෙක තුනකට පෙර ගම්වල තිබුනේ පිදුරු සෙවි කළ පැල්පත් ය. දැන් ඒවා සීමා වී ඇත්තේ ඉතාම නොදියුණු විශේෂයෙන් යුද්ධයෙන් බැට කෑ ප්‍රදේශ කිහිපයකට පමණ ය. මීට දශක කිහිපයකට පෙර පාපැදියක් පවා සීමාසහිත ව තිබුණු උතුරු මැද පළාතේ අද වන විට බොහෝ ගෙවල්වල තමන්ගේ ම වූ වාහනයක් තිබෙන්නේ ය.

වටිනාකම ද්‍රව්‍යමය දේට පමණ ද?

මිනිසුන්ට ද්‍රව්‍යමය දේ තිබුණ ද, පරිසර දූෂණය නිසා ද පෝෂ්‍ය සහ වස විස ඇති ආහාර පමණක් ලැබෙන නිසා ද, මිනිසුන් ලෙඩ රෝග වැළඳි ඉක්මණින් මිය යතැයි යන්න ඊළගට ඉදිරිපත් වන මතය ය. වෙනත් විදිහකට කියනවා නම් මේ කියන්නේ පරමායුෂ අඩු වී ඇති බව ය. සංඛ්‍යා ලේඛන නම් කියන්නේ එය එසේ නොවන බව ය. ලෝ වැසියෙකුගේ පරමායුෂ 1955 දී වසර 48 ක් වූ අතර එය මේ වන විට වසර 70ක් ඉක්මවා තිබේ. ලංකාවේ සංඛ්‍යා ලේඛන ද කියන්නේ සමාන කතාවකි. 1960 වසරේ වසර 60 ක් වූ ලක්වැසියෙකුගේ පරමායුෂ 2017 වන විට වසර 75 ට වැඩි වී තිබේ.

මෙසේ විමසන විට පෙනෙන්නේ යකා කියන තරම් කළු නැති බව ය. හැබෑවටම දියුණුව අපට දයාද කර ඇති දේ එය විසින් අපට ඇති කර ඇති දුෂ්කරතා කීප ගුණයකින් ඉක්මවන බව ය. අපි වරින් වර වල් වැදුන ද තවමත් හරි මාවතේ යන බව ය.

පහුගිය කාලවල දස දහස් ගණන් මිනිසුන් මිය ගිය වසූරිය මහා මාරිය වැනි වසංගත බොහෝමයක් පාලනය කර ගැනීමට අප සමත්ව සිටිමු. ඒ එන්නත් සොයා ගැනීම හරහා ය. මෑතක දී ඇති වූ කුරුළු උණ වැනි වසංගත පවා, ජාත්‍යන්තර ගමන් බිමන් වෙන කවදාකවත් නැති විදිහට තිබිය දී ද, බොහෝ දුරට පැතිර යාමට පෙර පාලනය කිරීමට අපි සමත් ව සිටිමු. වෙනදා මෙන් මානසික රෝගින් හංවඩු ගසා සමාජයෙන් ඉවත් කරන්නේ නැතිව, වෙනත් රෝගයක් මෙන් සළකා, ප්‍රතිකාර කිරීමේ ද අපි දක්ෂව සිටිමු. සම ලිංගික ප්‍රවණතාවයන් ඇති මිනිසුන් ගරහා ඉවත් කරනු වෙනුවට සමාන ලෙස සළකන්නට ඉදිරිපත් වී සිටිමු. සංක්‍රාන්ති ලිංගිකයන් සම්බන්ධයෙන් ද අයිතීන් නීති ගත කරමින් තිබේ. කාන්තාවන්ගේ හා දරුවන්ගේ අයිතිවාසිකම් ගැන අප ඊයේට වඩා අද සංවේදී වී ඇත්තෙමු. අධ්‍යාපනය නිසා කාන්තාව තවදුරටත් කුස්සියට හිර කිරීම නතර වී තිබේ. දරුවන්ට අධ්‍යාපනය ලබා දීම අනිවාර්යය කිරීම හරහා ඔවුන් දාසයන් කිරීම වළකා තිබේ. විවිධ ලෙස අබාධිත වූ අයට ස්වයං ව කටයුතු කර ගත හැකි ලෙස ගොඩනැගිලි සකස් කිරීමට පවා නීති සාදා තිබේ. ඔවුන්ට සිය කටයුතු තමන්ටම කරගත හැකි මෙවලම් නිපදවා තිබේ. එසේ සළකා බැලූ විට ද්‍රව්‍යමය වශයෙන් පමණක් නොව සමාජයමය වශයෙන් ද අපි බොහෝ දුරට ඉදිරියට ගොස් ඇත්තෙමු.

ලෝකය එකම යායකි

එක රටකට තව රටක් තවදුරටත් යටත් කර ගෙන සිටිමට අවසර නැත. අදටත් වක්‍ර උපක්‍රම ඒ සඳහා භාවිතා වෙතත් ඒවා පවා දිගින් දිගට පවත්වා ගෙන යෑම අපහසුව තිබේ.

යම් පාලකයෙකු තම ජනතාව තළා පෙළයි නම් සෙසු රටවල් වලට ඒ සඳහා මැදිහත් වීමේ ඉඩකඩ ද ලෝකය විසින් සකසා ගෙන තිබේ. එවන් විටක වුව අවම බලයක් යොදා ගැනීමටත්, යුදමය නොවන මැදිහත්වීම් වැඩි පුර භාවිතා කර, ගැටුම් අවම කර ගැනීමටත් ලෝකය ඉදිරිපත් ව තිබේ.

පරම්පරාවෙන් රජකමට පත් කිරීම තවදුරටත් සිදු නොවේ. නායකයෙකුට රට පාලනය කිරීමේ දී රටක ව්‍යාවස්ථාවට යටත් ව කටයුතු කරන්නට සිදු ව තිබේ. එසේ නොකරන රටවල් තනි කිරීමට සෙසු රටවල් ඉදිරිපත් වන නිසා තවදුරටත් අත්තනෝමතිකව රටක් පාලනය කිරිමේ ඉඩ වඩාත් ඇහිරෙමින් පවතී.

සෑම ප්‍රජාවකගේ ම සංස්කෘතික අනන්‍යතාවයට ගරු කිරීමට ලෝකය කටයුතු කරමින් තිබේ. වෙනස් කොට සැළකීම නීතියෙන් තහනම් කොට තිබේ. මේ සියල්ල සිදු වන්නේ සියවස් දෙක තුනකට ඉහත දි ඇතැම් ජාතින් ම සමූලඝාතනය කිරීමට සිය බලය යෙදු, හිට්ලර්ට මුසොලීනිට පමණක් නොව සුදු ඕස්ට්‍රේලියානුවන්ට හා සුදු ඇමරිකානුවන්ට එසේ කිරීමට බලය දුන්, ලෝකයක බව අප විසින් අමතක නොකළ යුතු ය.

එයින් අදහස් වන්නේ දේශපාලනිකව ද ලෝකය ඉදිරි ගමනක් ගොස් ඇති බව ය.

ඉදිරිය කෙසේ වෙයි ද?

සියල්ල යහපත් නැත. තවදුරටත් අකටයුතු කම් සිදු වන බව සැබෑ ය. එහෙත් ඒ බොහෝ දෑ මේ වනවිට ප්‍රශ්න කෙරෙන ව්‍යාපාරයන් ලොව පුරා මතුවෙමින් තිබේ. පාරිභෝගිකයන් සංවිධානය වී ඇතැම් නිශ්පාදනයන් වර්ජනය කිරීම හරහා දැවැන්ත ආයතනවලට පවා දණ ගැසීමට සිදු ව තිබේ. පාරිභෝගිකයන් දිනා ගැනීම සඳහා ම මේ ආයතනවලට තමන්ගේ ප්‍රතිපත්ති පවා වෙනස් කිරීමට සිදු ව තිබේ.

මේ මැදිහත් විම් සිදු කිරීම සඳහා දියුණුව විසින්ම දයාද කර ඇති පරිගණකය, අන්තර්ජාලය හා ස්මාර්ට් දුරකථනයන් ප්‍රජාව විසින් යොදා ගන්නා බව ද පෙනෙන්නට තිබේ. මතවාදයන් සමාජ ගත කිරීමේ මාධ්‍ය ආයතන විසින් පවත්වාගෙන ගිය අධිකාරිය තවදුරටත් එලෙස පවත්වාගෙන යෑමට නොහැකි ව තිබේ. ඒ කියන්නේ මිනිසුන් වෙනදා නැති ලෙස බලාත්මක කෙරෙමින් තිබෙන බව ය. ඒ බලාත්මක කර ඇති මිනිසුන් විසින් නියාමනය කරනු ලැබ දියුණුව තවදුරටත් නිසි මග යනු ඇති බව ය.

මේක ද දියුණුව යැයි අසන අයට දෙන්නට උත්තරයක් දැන් අපට තිබේ. ඔව්, මේක තමා දියුණුව. හැබැයි තව ඉස්සරහට තවත් දියුණු වේවි.

තවදුරටත් ඔවුන්ට කිව යුත්තේ දියුණුව යන දිසාව විතරක් නොව එහි වේගයත් වෙනස් කරන්නට බලයක් ජනයාට ලැබෙමින් තිබෙන බව ය. ඒ නිසා ම මනෝ විකාර පැත්තක දමා මේ ක්‍රියාවලිය තේරුම් ගෙන එයට සාධනීයව මැදිහත් වීමට ඉදිරිපත් වන ලෙස ය. අළු ගසා නැගිටින ලෙස ය.

Advertisements

Leave a Reply

Fill in your details below or click an icon to log in:

WordPress.com Logo

You are commenting using your WordPress.com account. Log Out /  Change )

Google+ photo

You are commenting using your Google+ account. Log Out /  Change )

Twitter picture

You are commenting using your Twitter account. Log Out /  Change )

Facebook photo

You are commenting using your Facebook account. Log Out /  Change )

Connecting to %s