දහම් පාසල් අනිවාර්යය කිරීම

දහම් පාසල් පින්තූරය

අපි ඒ කාලෙ මැර වැඩ කරල තියෙනව තමයි ඒත් අපි දහම් පාසලුත් ගියා නෙ. මේ දෙදෙනෙකු අතර සංවාදයකින් අහුලා ගත් කෑල්ලකි. විමසිය යුතු ප්‍රකාශනයකි.

මෙයින් කියවෙන්නේ මැර වැඩ කරන අතර දහම් පාසල් යනවා වැනි හොඳ වැඩ ද ඔවුන් විසින් කර ඇති බව ය. මේ අපේ රටේ බොහෝ දෙනා හිතන විදිහය ය.

ඔවුන්, හොරකම් කළේ වුව ද පන්සිලුත් අපි ගන්නවා යැයි සිතා සැනසෙන අප රටේ බහුතරය වැනි ය. තෘෂ්ණාව ඇලීම පමණක් නොව ගැටීම ද ඉහලින් පැවතුන ද අපි බණත් අසනවා යැයි සිතා සැනසෙන බහුතරය වැනි ය.

මැර වැඩ තරාදියක එක පැත්තකත් දහම් පාසල අනිත් පැත්තටත් දමා තුලනය කළ විට සැනසීමට මග පෑදේ ද?

මා කැමති මේ කතාව උඩු යටිකුරු කිරීමට ය. දහම් පාසල් ගියේ නම් මැර වැඩ කළේ කෙසේ ද? ඉන් අදහස් වන්නේ දහම් පාසලින් ප්‍රයෝජනයක් නොවුනු බව ද?

මේ සංවාදය වඩාත් වැදගත් වන්නේ දහම් පාසල් අනිවාර්යය කිරීමට ගෙනෙන යෝජනාවක සද්දය වටපිටින් ඇසෙන නිසා ය.

බණ හැම තැනම ය

මේ තරම් බණ කියන බණ අසන දේශයක් තවත් තිබේදැයි මම නොදනිමි. එම ප්‍රකාශය මගේ එකක් ම නොවේ. රටේ සිදුවන දෙයින් කම්පා වෙන බොහෝ මිනිසුන් කියන කතාවකි. එහෙත් අප රට තුළ පව්කාර වැඩ වල ද කෙළවරක් නැත. එයින් කියන්නේ බණත් පවත් කරට කර යන බව ය. සමාන්තරව කෙරෙන බව ය. රේල් පීලි දෙක මෙන් මුණ නොගැසී ඉදිරියට යන බව ය.

බණෙන් පව නොවැළකේ නම් බණ අසන්නේ කුමකට ද? ලවුඩ්ස්පීකර් දමා මිනිසුන් නින්දෙන් ඇහැරවා බලෙන් බණ අස්සවන්නේ කුමකට ද? බණ හොඳ දෙයක් නිසාත් කෙරෙන පව එයින් සමනය කර ගත හැකි යයි සිතන නිසාත් එය කරනවා වෙන්නට පුළුවන. එයින් කියවෙන්නේ, අප කරන්නේ දුගඳ හමන කුණු ගෙදර පුරවා ගෙන එය අතික්‍රමණය කිරීමට ඊට උඩින් සුවඳ පැන් ඉසිනවා වැනි වැඩක් බව ය. ගඳ ඉවත් නොකර එය පරයන්නට සුවඳ එකතු කිරීම නිසා ගඳේ අප්‍රසන්න බව අඩුවේ ද? ඉන් වැඩක් වේ ද?

ආගමික රටවල් අතර අපට අත් වන්නේ ලොවේ පස් වෙනි ස්ථානය ය. ඉන් අදහස් වන්නේ බෞද්ධයින් පමණක් නොව වෙනත් ආගමිකයන් ද අප රටේ හරි හරියට ආගම අදහන බව ය. ඒ අංශයෙන් ලෝකයේ අප පරයා ගොස් තිබෙන්නේ රටවල් හතරක් පමණක් බව ය.

අපරාධ හරි හරියට ය

ශ්‍රී ලංකාවේ වසරකට සිදුවන නීති විරෝධී ගබ්සා සංඛ්‍යාව 240,000 ක් පමණ වේ යැයි සමීක්ෂණයකින් හෙලි වී ඇත. රටේ අභිසරු ලියන් 40,000 ක් පමණ සිටිතැයි ද ගණන් බලා තිබේ. අවාසනාවකට ඔවුන්ගේ ගනුදෙනුකරුවන් ගණන තවම ගණන් බලා නැත. මේ ගබ්සාවත් වෛශ්‍ය වෘත්තියත් නීති විරෝධිව තිබිය දී ය. මේ කාරණා දෙක නිසා ම වැඩිම අවදානමට ලක් ව ඇත්තේ මව් පදවිය උරුම කාන්තාවන් ය.

එක්සත් ජාතීන්ගේ සංවිධානය විසින් කළ සමීක්ෂණයකට අනුව ජනගහණයෙන් 14.5% ක් පිරිමින් ජීවිතයේ කිසියම් අවස්ථාවක දූෂකයෙක් වී තිබේ. පසුගිය (2012) වසරේ පමණක් ඒ අගය 4.9% ක් විය. මේ ක්‍රියාවලට සම්බන්ධ අයගෙන් 96.5% ක්ම නීතියෙන් ගැලවී ගොස් තිබේ. මේ අය අතුරින් 11.1% ක් ගැහැණුන් 4ක් හෝ ඊට වැඩියෙන් හෝ දූෂණයට ලක් කර තිබේ. දූෂණය සම්බන්ධයෙන් මුණිවත රැකීමට බොහෝ කාන්තාවන් කටයුතු කරන නිසා සැබෑ අගයන් මීට වඩා වැඩි වන්නට ඉඩ තිබේ.

අපරාධ දර්ශකය අතින් රටවල් 115 ක් අතර ශ්‍රී ලංකාව ස්ථාන ගත වන්නේ අපරාධ වැඩි රටවල් අතර 61 වෙනි ස්ථානයේ ය. ඒ ලෝකයේ වඩාත් සුරක්ෂිත රට බවට, ආගම අඩුවෙන් අදහන රටවල් අතරින් දෙවැනි තැන ගත්, ජපානය පත් වෙද්දී ය.

ශ්‍රී ලංකා දුම්කොළ හා මද්‍යසාර අධිකාරිය 2016 දී ප්‍රකාශයට පත් කරන ලද වාර්ථාවකට අනුව ලංකාවේ ඒක පුද්ගල මත් පැන් පරිභෝජනය, ආගම අඩුවෙන්ම අදහන, යුරෝපයේ මෙන් පස් ගුණයකි.

දූෂිත ගනුදෙනු අතින් ශ්‍රී ලංකාව ඉන්නේ රටවල් 176 ක් අතර 95 වෙනි තැන ය. ඒ ට්‍රාන්ස්පෙරන්සි ඉන්ටර්නැෂනල් ආයතනයට අනුව ය. පසු ගිය දිනක යුරෝපා කොමිසම කළු සල්ලි සුදු කිරිම සම්බන්ධයෙන් වඩාත් ඉඩ තිබෙන රටවල් කීපයට ශ්‍රී ලංකාව ද ඇතුළු කර තිබුනේ ය. ඊට ඇතුළු කර තිබු අනිත් රටවල් මෙසේ ය. බොස්නියාව, හර්සෙගොවිනා, උතුරු කොරියාව, ඉතියෝපියාව, ඉරානය, ඉරාකය, සිරියාව, ට්‍රිනිඩෑඩ් හා ටොබැගෝ, ටියුනීසියාව, වනාතු සහ යේමනය ය.

මේ සියල්ල පස්පව් වලට අඩු වැඩි වශයෙන් අදාළ සංඛ්‍යාලේඛන ය. එම සංඛ්‍යාලේඛන විමසන විට පෙනෙන්නේ ආගම, අපරාධ හෝ අපායගාමී කටයුතු කිසිවක් අඩු කිරීමේ ලා, සමත් ව නැති බව ය. අතිශයින් අසාර්ථක වී ඇති බව ය. මෙය ලංකාව සම්බන්ධයෙන් පමණක් නොව වෙනත් රටවල් සම්බන්ධයෙන් ද දකින්නට ලැබෙන්නකි.

පරස්පරය

මේ පරස්පරයට හේතුව කුමක් විය හැකි ද? ආගම මිනිසුන් බය කරන්නේ ය. ඒ පවට බිය ඇති කිරීමෙනි. පව් කිරීමෙන් අපා ගත වන බව කීමෙනි. එසේ තිබිය දී පවින් මිනිසුන් ගලවා ගැනීමට ආගම අපොහොසත්ව ඇත්තේ මන් ද? අප නැවත නැවතත් විමසිය යුත්තේ ඒ කාරණාව ය.

උත්තරය ඇත්තේ අප ආරම්භ කල අපේ මිතුරාගේ පාරම් බෑමෙනි. අපි මැර වැඩ කළ බව ඇත්ත. ඒත් අපි දහම් පාසල් ගියා.

එසේ එලිපිට ප්‍රකාශ නොකළ ද ආගම් අදහන වැඩි දෙනෙක් සිතන්නේ එය ය. අප මැර වැඩ කළ ද අපි පල්ලි ගියා. අපි පන්සල් ගියා. අපි යාඥා කළා. අපි බණ ඇහැව්වා. අපි දන් දුන්නා. අපි පුද පූජා පැවැත්වුවා, අපි බෝධි පූජා කළා. අපි කඨින පිංකම් කළා. පෙරහැර කළා. අපි කප් රුක් පූජාව කළා. අපි අටපිරිකර පූජා කළා. අපි පහන් දහසේ පින්කම් කළා. දහම් පූජා කළා. දහම් පත පොත මුද්‍රණය කර බෙදා දුන්නා. අට විසි බුද්ධ පූජා කළා. ලයිස්තුව දිග ය. ඒ සියල්ල කළ බව ද කරන බව ද ඇත්ත ය. ඔව් ඒ අතර අපි මැර වැඩ ද කළා.

නිරාගමිකයෙකුට එහෙම බේරෙන්නට බැරි ය. ඔහු ඒ කිසිවක් නොකරන නිසා ය. මැර වැඩට හිලව්වට ගන්නට ඔහුට දහම් පාසලක් නැත. ඒ නිසා ඔහු මුළුමණින් නිරාවරණය ය. නිරාගමිකයන් වැඩි රටවල අපරාධ අඩුවීමට එය හේතුවක් වන්නට බැරි ද?

අන් රටවල තතු

ජපානයේ ආගම අදහන අය ජනගහණයෙන් 13% කි. එය ලොව අඩුවෙන්ම ආගම් අදහන රටවල් අතර දෙවැනි රට ය. ඒ අතර එය අපරාධ අතින් අඩුම දර්ශකය හිමි රට ය. වඩාත්ම සුරක්ෂිත රට ය. අපරාධ අඩුම රට  ය. ජපානයේ පමණක් නොව ආගම අඩුවෙන් අදහන තවත් රටවල අපරාධ දර්ශකය අතිශයින් අඩු ය.

එස්ටෝනියාව ආගම් නොඅදහන රටවල් අතර තුන්වෙනි තැන ගන්නා විට සුරක්ෂිත දර්ශකයේ 7 වෙනි ස්ථානය හිමිකර ගන්නේ ය. ආගම් නොඅදහන රටවල් අතර ඉදිරියෙන් ඉන්නා රටවල් 20ට එක් වෙන ස්විස්ටර්ලන්තය නෙදර්ලන්තය සුරක්ෂිත රටවල් අතර පිළිවෙලින්  9 වෙනි 21 වෙනි ස්ථාන ගන්නේ ය.

අනෙත් අතට අප දකින්නේ ආගමික රටවල් අතර තුන්වෙනි තැන ගන්නා නයිජීරියාව අපරාධ අධික රටවල් අතර 14 තැන ගන්නා බව ය. වඩාත්ම ආගමික රට වන ඉතියෝපියාව අපරාධ වැඩිකම අතින් රටවල් 115 ක් අතර 45 තැන ගන්නේ ය. පස් වෙනි තැන ගන්නා ශ්‍රී ලංකාව අප කලින් ද සඳහන් කළ පරිදි රටවල් 115 ක් අතර අපරාධ වැඩිකම අතින් 61 වෙනි තැන ගන්නේ ය.

මෙයින් පෙනී යන්නේ ආගමෙන් අපරාධ අඩු කිරිමට, අපාය ගාමී ක්‍රියා අඩු කිරීමට, කර ඇති බලපෑම අතිශයින් සීමිත බව ය. එය ඇතැම් තැනක ප්‍රතිවිරුද්ධ තත්වයක් පවා ඇති කිරීමට හේතු වී ඇති බව ය.

අහසින් එන නිගමන

අප බොහෝ විට නිගමන වලට එන්නේ එක්කෝ සංඛ්‍යාලේඛන නොවිමසා අපට හැඟෙන දැනෙන ආකාරයට ය. නැතිනම් අප දන්නා එක් හෝ තවත් උදාහරණයක් ගෙන හැර දක්වමින් ය. ඊට ප්‍රතිපක්ෂ සියලු උදාහරණවලට පිටුපස හරවමින් ය. ඒ අප දැනටමත් පිළිගන්නා දේ තහවුරු කර ගැනීමට ය. ඇතැම් විට අපට ම ඒත්තු ගන්වා ගැනීමට ය. එය සත්‍යය සොයන විදිහ නොවේ. බොරුව සනාථ කරගන්නා විදිහකි.

අපට අවශ්‍ය සත්‍යය නම් අප හිස් කඩදාසියක් ගෙන වැඩ පටන් ගත යුතු ය. අපේ ඔලුවේ ඇති කුණු කන්දල් ඉවත දමා කරුණු සංඛ්‍යාලේඛන විමසමින් විවෘත මනසකින් සත්‍ය සෙවීම ඇරඹිය යුතු ය. ඒ ගමනේ දී අප මෙතෙක් සිතා සිටි දේ වැරදි යැයි ඒත්තු යැයි නම් ඉවත දැමීමට සැදී පැහැදී සිටිය යුතු ය. අපේ ඔලුවේ ඇති වෙන යම් මතවාදයක් ඉදිරියට ගෙන අපේ පැරණි දැනුම දිගින් දිගට සනාථ කිරීමට නොයා සත්‍යය පමණක් සොයා යා යුතු ය. සත්‍යය  සෙවීම විවෘතව කළ යුතු ය.

සත්‍යය කුමක් ද? ආගමිකත්වය හා අපරාධ අතර එහෙමට සම්බන්ධයක් නොමැති බව ය. තිබේ නම් එය වඩාත් ළග ආගමිකත්වය වැඩි වන විට අපරාධ වැඩි වීමකට මිස අඩු වීමකට නම් නොවන බව ය.

දහම් පාසල් අනිවාර්යය කිරීමට පොරොතුව බොහෝ දේ සොයන්නට තිබෙන බව මේ සංඛ්‍යාලේඛන අපට කියන්නේ ය. ආගම් නොඅදහන අය නරුමයන් කියන්නට පෙර අපට තව බොහෝ දේ සිතන්නට සිදු වන බව ද එය අපට කියන්නේ ය.

ආගම කුමකට ද

කුඩයක් තියෙන්නේ වැස්සෙන් පින්නෙන් හා අව්වෙන් ආරක්ෂා වීමට ය. ආගම ද බොහෝ දෙනෙකුට එවැනි දෙයකි. ඔවුන්ට එය අවශ්‍ය තමන් කරන අපාය ගාමී ක්‍රියාවල විපාකවලින් තමන් ගලවා ගැනීමට ය. තක්කඩියන් අත පිරිත් නූල් දුසිම් ගණන් තිබෙන්නේ ඒ නිසා ය.

දැන් අප මුලින් කී ප්‍රකාශය දෙසට හැරෙමු. අපි ඒ කාලෙ මැර වැඩ කළා තමයි ඒත් දහම් පාසලුත් ගියා. එහි අඩංගු කරුණු වෙනස් නොකර අපට ඒ ප්‍රකාශය ම මෙසේ ද කළ හැකි ය. අපි දහම් පාසල් ගියා තමයි ඒත් අපි මැර වැඩත් කළා. බැලූ බැල්මට ඒ ප්‍රකාශ දෙක වෙනස් නැත. ඇත්තටම කරුණු අතින් දෙකෙන් ම කියවෙන්නේ එක ම දෙයකි. එහෙත් ඒ දෙකින් පල කරන්නට හදන්නේ මතවාදයන් දෙකකි.

එකක තමන් හොඳ බව ය. මැර වැඩ කිරීම නිසා යම් නරකක් වුයේ නම් දහම් පාසල් ගිය නිසා එය නිශේධනය වන බව ය.

අනෙකෙන්  කියන්නේ දහම් පාසල් ගියාට වැඩක් නොවුනු බව ය. මැර වැඩ කිරීම දිගින් දිගට සිදු වූ බව ය.

මෙය භාෂා හරඹයක්ම නොවේ.

පළමුවැන්නෙන් කියන්නේ ආගමික අතින් තවත් ඉදිරියට යන්නට වුවමනා නම් දහම් පාසල් අනිවාර්යය කිරීම සාධාරණ බව ය. දෙවැන්නෙන් කියන්නේ අපරාධ අඩුකිරීම යන දර්ශකයන්ගෙන් ඉදිරියට යන්නට වුවමනා නම් එයින් ඵලක් නොවන බව ය. ඒ සඳහා වෙනත් පියවරයන් අවශ්‍ය බව ය.

දහම ගැන දහම

බුදු දහමේ එන එක් උවදෙසක් වෙයි. ඒ යමක් ඇසූ විට ඇසූ බව පිළිගන්න. එතැනින් එහාට ඒ ගැන නොසොයන්න කියා ය. ඇසුවේ ය. ඇසුවා පමණකි. මෙසේ උවදෙස් දෙන්නේ ඇලීම හා ගැටීමෙන් තොරව ජීවත් වෙන්නට ය. ඇසු දෙය පිටුපස එලවා ගියොත් සිදුවන්නේ එක්කෝ ඇලීමක් ඇති කර ගැනීම ය. නැතිනම් ගැටීමක් ඇති කර ගැනීම ය. එහෙත් අපේ උපාසක උපාසිකාවන් එය ගන්නේ බණ ඇසීම සම්බන්ධයෙන් පමණ ය. ඔවුන් බණ ඇසූ විට ඇසුවා පමණ ය. ඉන් එහාට මුකුත් නැත.

ඒ උවදෙසට සම්බන්ධ තව උපදෙසක් වෙයි. ඒ යමක් දුටු විට දුටු බව පිළිගන්න. එතැනින් එහාට එ් ගැන නොසොයන්න. දුටුවේ ය. දුටුවා පමණකි. මෙසේ උපදෙස් දෙන්නේ ද ඇලීම හා ගැටීමෙන් තොරව ජීවත් වෙන්නට ය. දුටු දෙය පසුපස එලවා ගියොත් සිදුවන්නේ එක්කෝ ඇලීමක් ඇති කර ගැනීම ය. නැත්නම් ගැටීමක් ඇති කර ගැනීමට ය. අපේ උපසාක උපාසිකාවෝ එය යොදා ගන්නේ ධර්ම පුස්තක සම්බන්ධයෙන් පමණ ය. ඔවුන් දහම් පොතක් දුටු විට එය දුටුවා පමණ ය. එය කියවන්නේ නැත. කියෙව්වත් එයින් කිසිවක් ගන්නේ නැත. දුටුවා පමණ ය.

බණ ඇසුවාට ධර්ම පුස්තකයන් කියෙව්වාට ධර්ම සාකච්ඡා නොකෙරෙන්නේ මේ නිසා ය. බණ අසන ධර්ම පුස්තක කියවන බොහෝ අයගෙන් යම් ප්‍රශ්නයක් ඇහුවොත් දෙන උත්තර දෙකක් තිබේ. සුත්‍ර පිඨකය කියවන්න. උගත් හාමුදුරු කෙනෙකුගෙන් අසන්න. එතැනින් ධර්ම සාකච්ඡාව අවසන් ය.

ඔහු අනියමින් කියන පණිවුඩය මෙය ය. ප්‍රශ්නය ඇත්තේ ඔබට ය. මට ප්‍රශ්නයක් නැත. ඒ නිසා සෙවිය යුත්තේ ඔබ ය. බොහෝ අයට ප්‍රශ්නයක් නැත්තේ ඔවුන් බණ ඇසීමෙන් පමණක් සෑහීමකට පත් වන නිසා ය. පින්කමකට සහභාගී වුනා යැයි සිතා සිත පහදවා ගෙන ඉන් නතර වන නිසා ය.

සංවාදයක් නැති බණ

කිසිම බණ ගෙදරක බණ අවසන් වූ පසු බණ ගැන කතා කරනු මා දැක නැත. කතා කරනවා නම් එය එක ප්‍රකාශයකින් කෙළවර වේ. ෂෝක් බණ ටික. බණ ඇරෙන්නට අන් සියල්ල ගැන කතා කර බණ අවසානයේ අප විසිර යෑම තුළ ප්‍රකට වන්නේ මේ ලිපියේ අප උලුප්පන කාරණය නොවේ ද? ඒ බණ තිබෙන්නේ අසන්නට මිස පිළිපදින්නට නොවන බව ය.

මා බෞද්ධයෙකු නිසා මට කිව ඇත්තේ බෞද්ධ ආගම සම්බන්ධ කතාව පමණ ය. සෙසු ආගම්වල කතාව ද මීට දෙවැනි විය නොහැකි බව පොදුවේ ලාංකික හැසිරීම අපට කියන්නේ ය.

රටක් ආගමික වූ පමණින් එය සෙසු යහපත් දර්ශක වල ප්‍රකට නොවන්නේ මේ නිසා ය. ආගමෙන් එලිය ලබන්නට නම් අප විසින් බොහෝ දේ කළ යුතු ව තිබේ. දහම් පාසල් අනිවාර්යය කිරීමෙන් නම් ඒ එලිය ලැබෙන්නේ නැත.

ආගම පිට ඔපයට අදහනවාට වඩා නිරාගමිකයෙකු ලෙස ජීවත් වෙන එක හොඳ ය. අඩු වශයෙන් තමන්ට වංචා කරගැනීමෙන් පමණක් නොව, ලෝකයට වංචනිකයෙකු වීමෙන් ද, ඉන් වැළකිය හැකි නිසා ය. ඒ තුළ ස්වයං විනයක් හදා ගැනීමට පවා ඉඩ තිබෙන නිසා ය. බල කෙරෙන නිසා ය. ඒ වැරදි වලට හිලව්වට, ආත්මය රවටා ගන්නට, කිසිදු දෙයක් ඔහු/ ඇය විසින් නොකරන නිසා ය.

රාජ ආඥා

සියලු දෙනා බණ ඇසීමට අනිවාර්යයෙන් පැමිණිය යුතු බවට රාජආඥාවක් පමුණුවා ගැනීමට බුදුන් කටයුතු කළේ නැත. ඒ එසේ කිරීමට උන්වහන්සේ සතුව බොහෝ රාජ්‍යයන්හි බලයක් තිබිය දී ය. උන්වහන්සේට ඒ සඳහා හැකියාවක් තිබිය දී ය. ඒ නිසා ම දහම් පාසල් අනිවාර්ය කිරීමට උත්සහ කරන අයට බුදුන් වහන්සේගෙන් තව බොහෝ දේ ඉගෙනීමට තිබෙන බව කියමින් ලිපිය අවසන් කරමි. එහෙත් ඒ තව වැදගත් එක් කරුණක් සඳහන් කරමින් ය.

දහම් පාසල් යන තරුණයෙකුගෙන් ඔහු දහම් පාසල ගැන දරණ මතය කුමක් දැයි පිළිවිසීමි. ඔහු කීවේ තමන් යන්නේ තම පාසලේ දකින්නට නොලැබෙන (ඔහු යන්නේ පිරිමි පාසැලකට ය) ගැහැණු ළමුන් එහි දී මුණ ගැසිය හැකි නිසා බව ය. දහම් පාසල් වලින් ඊට වඩා මෙහෙයක් වන බව මම නම් සිතමි. විශේෂයෙන් මා දන්නා දහම් පාසල් කීපයකම පාසල් තුළ නැති බාහිර ක්‍රියාකාරකම් කිරීමේ වරය සිසුනට ලැබී තිබිණි. ඒ නිසා අවසාන වශයෙන් කිව යුත්තේ දහම් පාසල අයහපත් නොවන බව ය. එහෙත් එයින් අපේක්ෂා කරන්නේ රටේ අපරාධ අඩු කරගැනීම නම් එසේ සිතන අය අපේක්ෂා භංගත්වයට පත් විය හැකි බව ය. දහම් පාසල් තිබුණාට කමක් නැත. එහෙත් එය අනිවාර්ය කිරීම ගැන දෙවරක් සිතිය යුතු ය.

Advertisements

Leave a Reply

Fill in your details below or click an icon to log in:

WordPress.com Logo

You are commenting using your WordPress.com account. Log Out /  Change )

Google+ photo

You are commenting using your Google+ account. Log Out /  Change )

Twitter picture

You are commenting using your Twitter account. Log Out /  Change )

Facebook photo

You are commenting using your Facebook account. Log Out /  Change )

Connecting to %s