තිත්ත ඇත්ත හා රසවත් බොරුව

deepana-new_04062018_FDS_CMY

ඇත්ත ඇතැම් විට තිත්ත ය. අප සියලු දෙනාට මැරෙන්නට සිදු වන බව එවැනි තිත්ත ඇත්ත කි.

ඇත්ත මෙන් නොව බොරුව හැම විටම වාගේ රසවත් ය. මරණින් පසු දිව්‍ය සැප සම්පත් ලැබිය හැකි ය යන්න එවැනි බොරුවකි. බෞද්ධ සාහිත්‍යයට අනුව සදෙව් ලොවක් ඇති විට ක්‍රිස්තියානී සාහිත්‍යයට අනුව තිබෙන්නේ එකම එක දෙවි ලොවකි. ඒ අනුව බෞද්ධයන්ට දෙවියෙක් විය හැකි අතර ක්‍රිස්තියානුන්ට දිවිය ලෝකයට යා හැකි මුත් දෙවියෙක් වෙන්නට බැරි ය. එම ආගමේ විශ්වාසයන් අනුව ඇත්තේ එක දෙවි කෙනෙකු බැවිනි. මේ දෙකම එක විට හරියන්නට විදිහක් නැත. එක්කෝ මේ දෙකම වැරදි ය. නැතිනම් එකක් නිවැරදි වන අතර එකක් වැරදි ය. දෙපැත්තෙන්ම එක වගේ සහතික මේ සම්බන්ධයෙන් ලැබෙන නිසාත් එක කාරණයක් පිළිගන්නේ නම් අනිත් කාරණය ද පිළිගැනීමට සිදු වේ. දෙකම එක විට ඇත්ත විය නොහැකි බැවින් බුද්ධිමත් තීරණය වන්නේ දෙකම නිශ්ප්‍රභා කර දැමීම ය. ඒ ආගම් දෙකේම පූජකයන් විසින් තමන් කියන දෑ තදින්ම විශ්වාස කරන ලෙස ඉල්ලා සිටින නිසා ම, ඒ එකක් නිශ්ප්‍රභා කරන්නේ නම්, අනික ද නිශ්ප්‍රභා කළ යුතු නිසා ය.

එහෙත් එය විද්‍යාත්මක ක්‍රමය නොවේ. ප්‍රශ්නයකට ඇත්තේ මේ සම්බන්ධයෙන් විද්‍යාත්මක ක්‍රමය අනුගමනය කළ නොහැකි වීම ය. එයට හේතුව මේ සංකල්පයන් දෙකෙන් එකක් වත් බොරු කරන්නට බැරි නිසා ය. බොරු කිරිමට අමාරු සංකල්පයක් එය කොතරම් පට්ට කෙබරයක් වුව ද බොරු කළ හැකි ජගතෙක් නැත. ඒ අපභ්‍රංසයේ තේරුම කුමක් ද?

බොරු කළ නොහැකි බොරු

යමක් ඇත්තක් යනුවෙන් නිශ්චයව ම කිව හැක්කේ එය බොරුවක් බව ඔප්පු කිරීමේ ශාක්‍යතාවයක් අපට තිබෙන අවස්ථාවක පමණි. එම ශාක්‍යතාවය තිබිය දී ම බොරු කළ නොහැකි නම් එවිට එය ඇත්තක් ලෙස සැළකේ.

උදාහරණයක් ලෙස සාමාන්‍ය වායු පීඩනය යටතේ ඇති ජලය සෙන්ටිග්‍රේඩ් අංශක සියයට රත් කළ විට ජලවාෂ්ප බවට පත් වන්නේ ය යන්න අපට පරීක්ෂණයක දී බොරුවක් දැයි බැලිය හැකි ය. ඒ සඳහා අවශ්‍ය වන්නේ එය රත් කර බැලීම ය. එය බොරු නම් බොරු කළ හැකි ය. බොරු කිරීමේ ශාක්‍යතාවයකින් යුක්ත ය.

එසේ ඔප්පු කිරීමේ ශාක්‍යතාවයක් නැති යම් ප්‍රකාශයක් ඇත්ත ලෙස සැළකිය නොහැකි ය. එය බොරුවක් ලෙස සහතික කොට කීමට ද බැරි ය.

දිව්‍ය ලෝකයක් නැතැයි කියන්නට කිසිම ජගතෙකුට බැරි ය. එහෙත් ඇතැයි කියන්නට පරණ කතා ඇරුණහම වෙනත් භෞතික සාක්ෂි ද නැත. ඒ නිසා ම එය වැරදි දැයි බැලීමට විදිහක් නැත.

බොරුවට තටු ලැබෙන්නේ මෙතැන දි ය. වඩාත් ශක්තිමත් තටු ලැබෙන්නේ බොරුවක් හිත හිතා නිර්මාණය කළ හැකි නිසා ය. වඩාත් රසවත් කළ විට බොරුව වඩාත් ආකර්ෂණීය වන්නේ ය.

ස්වාමීන් වහන්සේ කෙනෙකුට භක්තියෙන් ආසනයක් පැලඳු තැනැත්තියක් මරණින් මතු දෙව්ලොව ඉපදී මැණික් පුටුවකට හිමිකම් කියන කතා උපාසකම්මා කෙනෙකුට ආශ්වාදය ගෙන දෙන්නේ එවැනි සරල කටයුත්තකින් ලැබිය හැකි ආනිශංස මහත් වන නිසා ය. මරණින් අවසාන වන ජිවිතයක් වෙනුවට මරණින් මතු ජීවිතයක් ලැබීමෙන් නොනැවතී දිව්‍ය සැප සම්පත් ඇති ජීවිතයක් ලැබීමේ ඉඩ හසර ම සතුට උපදවන රසවත් ප්‍රවෘත්තියක් වූ විට මේ තරම් සරල කටයුත්තකින් එය කර ගත හැකි නම් සතුට දෙගුණ තෙගුණ වන්නේ නිතැතින් ය.

ඔබේ තෝරා ගැනීමට විකල්ප දෙකක්

දැන් ඔබ ඉදිරියේ පැහැදිලි දෙකක් තිබේ. එකක් කටුක තිත්ත ඇත්ත ය. ඒ නම් ඔබ මැරෙන බව ය. මරණයෙන් අවසන් වෙන ජීවිතයක් තිබීම කණගාටුදායක ඇත්තකි. දෙවැන්න ඒ මරණින් මතු යන දෙව්ලොවක් ගැන ය. එය කටුක හෝ තිත්ත නැත. රසවත් ය. එහි ඇතැයි කියන සැප සම්පත් ගැන බොහෝ දේ හිත හිතා කිව හැකි ය. ඒ එකක්වත් බොරුවක් යැයි ඔප්පු කළ නොහැකි නිසා ය.

එවැනි දෙකක් අතුරින් තෝරා ගැනීමක් කරන්නට සිදු වූ විට මිනිසුන් තෝරා ගන්නේ රසවත් එක ය. බොරු කරන්න බැරි “බොරුව“ ය. නැතැයි කියන්නට බැරි දිව්‍ය ලෝකය ය.

තව උදාහරණයක් ගෙන බලමු. දෙවියන්ට බාර හාර වීමෙන් යමක් ලබා ගත හැකි ය යන්න රසවත් ආරංචියකි. දෙව්ලොව ඇති කප් රුකකටත් සිතූ පැතූ සම්පත් ලබා දිය හැකි බව කියවේ. දිව්‍ය ලෝකයේ නොව මේ ලෝකයේම එවැන්නකට ඉඩක් තිබෙනවා යැයි කියන රසවත් පුවත වෙත ඒ නිසා අප ඇදී යන්නේ නිතැතිනි. එපමණක් නොවේ. එය හැබෑවක් නොවේ යැයි කියමින් අපේ ආතල් කඩන්නට එන පුද්ගලයා සම්බන්ධයෙන් අපට ඇත්තේ තරහකි. කෝපයකි. මෙතරම් රසවත් බොරුවක් අප ඉදිරියේ දී තිබිය දී තිත්ත ඇත්ත අපට මුණ ගස්වන්නේ කුමකට ද යන්න අපේ අවිඥානයට ඇති වන හැඟීම ය. අමාරුවෙන් මගහරින්නට හදන මේ සත්‍යය මුලිච්චි කරන මිනිසාට කුණුහරුපයකින් සංග්‍රහ කිරීමට මිනිසුන් පෙළඹෙන්නේ මේ නිසා ය.

රසවත් කතන්දර

මේ බොරු කළ නොහැකි කතන්දර විශ්වාස කිරීමට අපට අවශ්‍ය පොඩි දෙයකි. හාමුදුරුවන් බණට හෝ දේවගැති තුමා යාඥාවේ දී කී බව, එසේත් නැතිනම් ත්‍රිපිටකයේ හෝ බයිබලයේ සඳහන් ව ඇති බව, නැතහොත් පරම්පරාවෙන් පරම්පරාවට ආ බව, වැනි කුඩා දෙයක් මේ විශ්වාසය සඳහා ප්‍රමාණවත් ය. ඒ කාලාම සූත්‍ර දේශනාවේ විශ්වාසයට ගැනීම සඳහා භාවිතා නොකට යුතු යැයි බුදුන් කී කරුණුම ය. අමතර වශයෙන් ඔවුන්ට අවශ්‍ය වන්නේ එක් වැදගත් සාක්කියකි. කියමනකි. තොරතුරකි. විද්‍යාවෙන් හැම දෙයක් විස්තර කළ නොහැකි ය යන්න ඒ අනගි තොරතුර ය. එය විද්‍යාඥයන් පවා පිළිගන්නා එකකි. දැන් සියල්ල හරි ය. රසවත් ම බොරුව විශ්වාස කරන්නට කටයුතු සම්පාදනය වී ඉවර ය.

වඩාත් ම පුදුම සහගත දෙය නම් රසවත් වන්නේ නම් බොරුව මිනිසුන් විශ්වාස කරන බව නොවේ. එකිනෙකට පරස්පර බොරු පවා වෙන වෙනම පැකැට්ටු වලට දමා, කොටු වලට දමා, වෙන වෙනම ඔවුන් විශ්වාස කරන බව ය. අපි උදාහණයක් ගෙන බලමු.

බෞද්ධාගමේ ඉගැන්වීම් වල සඳහන් වන්නේ යමෙකු කළ කර්මය ගොනු පස පස එන කරත්ත රෝදය මෙන් ඒ පුද්ගලයා පසු පස එන බව ය. එයින් ගැලවීමක් නැති බව ය. එය සනාථ කරන ජාතක කතා රාශියකි. එය කෙතරම් ද යත් වෙනත් කෙනෙකු පවා ඉන් ගලවා ගැනීමටවත් බුදුන් වහන්සේ සමත් නොවී යැයි ද බුදුන් වහන්සේට පවා ඉන් ගැලවීමක් නොවී යැයි ද සඳහන් කතා බුදු සිරිත කියවන කෙනෙකුට දකින්නට ලැබෙි. එය විශ්වාස කරන අතරේ ම කරුමයෙන් ගැලවීමට පිරිත් නූලේ පටන් දෙවියන්ගේ බැල්ම හරහා සුර යන්ත්‍ර මන්ත්‍ර දක්වා ද විවිධ දේ පිහිට සෙවීමට බෞද්ධයෝ පෙළඹී සිටිති.

පරස්පර බොරු

මේ පරස්පරය අප තේරුම් ගන්නේ කෙසේ ද? එක තේරුම් කිරීමක් විය හැක්කේ මේ දෙකින් එකක් ගැනවත් දැඩි විශ්වාසයක් මිනිසුන්ට නැති බව ය. කරන්නන් වාලේ කරනවා විනා මේ දෙක තුළ පරස්පරයක් තිබෙන බවවත් විමසන්නට මිනිසුන්ට අවශ්‍ය නැති බව ය. කනා ගල් ගහනවාක් මෙන් ගල් ගැහැව්වොත් එකක් වත් වදින්නට ඉඩ ඇත. ඇතත් නැතත් පරලොව සුදනෙනි මහත යනුවෙන් කීවේ අනවශ්‍ය විදිහට ඇති නැති බව සොයා යන්නට නුවුමනා බව ය.

නැත්නම් අප විසින් එය තේරුම් ගන්නේ තමන්ට වඩාත් රසයක් ඒ දෙකින් උත්පාදනය කර ගත හැකි ලෙස ය. කරුමය මග නොහැර පසු පස එන්නේ තමන්ගේ සතුරාගේ ය. තමන්ට විනය කැටි එකාගේ ය. එය අසන්නට මිහිරි කාරණයකි. තමන් සම්බන්ධයෙන් නම් සුරයක් පිරිත් නූලක් බැඳීමෙන් ඒ බඩකඩුත්තුවෙන් ගැලවිය හැකි ය. එහෙම බැරි වුනොත් පන්සලේ හාමුදුරුවන් වරක් කි පරිදි දස කුසලයේ යෙදිමෙන් නැතිනම් පල්ලියේ දෙව් ගැති තුමා කී පරිදි පව් සමා කර ගෙන සියලු පවින් නිදහස් විය හැකි ය. එය ද රසවත් කතාවකි. අනෙකාට කෙළ වී මා නිදහස් වන මේ අපූරු කතා දෙකම, ඒ දෙකම එකිනෙකට පරස්පර වුව ද, විශ්වාස නොකර කොහොම ද? ඒ දෙකම එකවර තුරුළු නොකර ගෙන කොහොම ද?

දේශපාලන හා ව්‍යාපාරික ලෝකය

බෞද්ධාගම පමණක් නොව ඕනෑම ආගමක් අදහන මිනිසුන් අතර ද මේ දෙය මේ ලෙස ම සිදු විය හැකි ය. රසවත් බොරුවලට ආකර්ෂණය වීමට ඇතැම් විට ආගමක් ම ඕනෑ නැත. තිත්ත ඇත්ත ප්‍රතික්ෂේප කිරීමට ද ආගමක් වුවමනා නැත. ඒ, ආගමික බෙදීමකින් තොරවම, අප කා සතුවත් තිබෙන මිනිස් ස්වභාවය නිසා ය.

ඇතැම් විට අප තලු මර මර රස විඳින්නේ දේශපාලනික බොරු ය. දේශපාලකයන් විසින් අපට විකුණන රසවත් සිහින ය. ඇතැම් විටක ව්‍යාපාරික බොරු ය. ඇතැම් විටෙක එසේ විඳින බොරු අතර අප ගැන අප විසින් ම හදා ගත් බොරු ද තිබිය හැකි ය.

මේ ඕනෑ ම බොරුවක් රසවත් වූ පලියට එයට ඇති අපේ පිළිගැනීම වැඩි වන්නේ ය. හඳෙන් හාල් ගෙනැල්ලා දෙනවා යැයි කීවහම හඳේ හාල් කොහිදැයි අහන්නේ නැතිව ම අප ඊට ආකර්ෂණය වන්නේ ඒ නිසා ය. වාලම්පූරියක් සැප සම්පත් හදනවා යැයි කීවහම පන නැති වාලම්පූරියක් එසේ කරන්නේ කෙසේ දැයි අසන්නේ නැතිව ම ඒවා අයිති කරගන්නට මුදල් පූජා කරන්නේ ඒ නිසා ය. සෝවාන් ලැබී ඇති බවට සහතිකයක් දෙනවා යැයි කියන භාවනා මධ්‍යස්ථාන වලට එහෙම සහතික සපයන්නේ කුමන නිර්ණයක මත පදනම්ව දැයි නොඅසාම යන්නේ ඒ නිසා ය (මරණින් මතු සතර අපායේ උපදින්නට වේ යැයි හාමුදුරුවන් විසින් බය කර ඇති නිසා ම මේ සෝවාන් ලැබීම ද රසවත් අන්දරයක්ව තිබේ).

රසවත් බොරු නිපදවීම සම්බන්ධයෙන් ව්‍යාපාරය ලෝකය විශේෂ දක්ෂතා පෙන්වා තිබේ. බොරු රසවත් ලෙස නිශ්පාදනය කරන අයට ඉහළ මිලක් ගත හැක්කේ ඒ නිසා ය. ඒකට කියන ගෞරවාන්විත නාමය මාකටින් ය. හරි නම් එය නිවැරදි විය යුත්තේ ගරිල්ලා මාකටින් ලෙස ය.

ඇත්ත විකිණීමෙන් ලාභ ලැබිය නොහැකි ය. ඇත්ත කටුක නම් ඇත්තටම අවසානයේ වන්නේ ඒ වෙළඳාමෙන් පාඩු ලැබීමට ය. එහෙත් බොරුවට – විශේෂයෙන් ආනුපාන එක්කොට රසවත් කළ බොරුවට – ඉහළ ඉල්ලුමක් තිබේ.

බොරුව කෙටිකාලීන ද?

සමහරු කියන්නේ ඉල්ලුමක් තිබුනාට බොරුවට පැවැත්මක් නැති බව ය. අපේ අත්දැකීම නම් බොරුවට කෙටිකාලීන පැවැත්මක් ඇති බව ය. කෙටි කාලීනව කීවේ එය සදාකාලික නැති බව අඟවන්නට පමණ ය. එහෙත් එයට දින සති මාස නොව වසර ගණනාවක් අබාධයකින් තොරව සිටිය හැකි ය. ඇතැම් විට එය දශක කීපයක් ද සියවස් කීපයක් ද ශක වර්ෂ ගණනක් ද විය හැකි ය. ඇතැම් බොරු පැවත එන්නේ වසර දෙදහස් පන්සීයයක් නැත්නම් තුන්දහසක් පමණ කාලයක සිට ය.

රසවත් බොරුව අප කලින් ද දැක්වූ පරිදි ශක්තිමත් ය. ඒ නිසා කටුක ඇත්තට ඒ බොරුව නැගිටීමට ඉඩ දෙන්නේ නැත. වෙනත් විදිහකට කියන්නේ නම් කටුක ඇත්ත නමැති කුමරාට ඉපදිය හැක්කේ රසවත් බොරුව නම් මව් මරා පමණ ය. මරණයට එරෙහිව සටන් කරන රසවත් බොරුව ඉදිරියේ එසේ කිරීම පහසු නැත.

ඒ සඳහා බාහිර මැදිහත් වීමක් අවශ්‍ය ය. වින්නඹු අම්මා කෙනෙකු හෝ වෛද්‍යවරෙයකු අවශ්‍ය ය. රසවත් බොරුව ප්‍රශ්න කිරීමක් අවශ්‍ය ය. ඒ රස හානිකර යැයි ද ඇතැම් විට මාරාන්තික විය හැකි යයි ද කියා මිනිසුන් දැනුවත් කරවිම සහ අවදි කරවීම අවශ්‍ය ය. ඇත්ත තිත්ත වුව ද එය සමග ගනුදෙනු කළ යුතු යැයි ඒත්තු ගැන්වීම අවශ්‍ය ය. එය පමා කළ හැක්කේ අපේ ව්‍යාසනයෙන් බව කියා සිටීම අවශ්‍ය ය.

දියුණු රටවල කොහොමද?

රසවත් බොරුවට වෙළඳ පොලක් ඇත්තේ අඩු අධ්‍යාපනයක් සහිත මිනිසුන් වෙසෙන තෙවැනි ලෝකයේ පමණක් නොවේ. බටහිර දියුණු සමාජ වල පවා අපූරු රසවත් බොරුවට අදටත් පැවැත්මක් තිබේ.

මෙය පිළිබිඹු වන රසවත් කතාවක් මැයි 27 දින සන්ඩේ ටයිම්ස් පුවත් පතේ පළ ව තිබුනි. ඒ සිරිල් හෙන්රි හොස්කින් යන බ්‍රිතාන්‍ය ජාතික පයිප්ප වැද්දුම් කරුවා ගැන ය.

ලොබ්සාන්ග් රම්පා යන නමින් ටිබෙට් ජාතික ලාමා වරයෙකු වශයෙන් පෙනි සිටිමින් ඔහු 1956 පොතක් පළ කළේ ය. ඒ ඔහු ලාමා වරයෙකු වශයෙන් ටිබෙටයේ ගත කළ ජීවිතය ගැන ය. ඒ පොතේ බවුන් වඩමින් තෙවැනි ඇස නිපදවා ගත් බවත් ශල්‍ය කර්මයක් අනුසාරයෙන් එය භෞතිකව මතු කර ගත් බවත් කියවිණි. මේ කතාවේ ඇත්තක් නැති නමුදු එවකට ටිබෙටය චීනය විසින් ආක්‍රමණය කොට තිබූ නිසා ටිබෙටය ගැන ඇතිවෙමින් තිබුණු උනන්දුව භාවිතා කරමින් පොත විකිණිය හැකි වෙතැයි සිතූ ප්‍රකාශකයා, තමන්ගේ බේරිල්ලට මෙහි ඇති කතාවේ සත්‍ය අසත්‍ය තාවය විමසුවේ නැති බවට සටහනක් ද සමග, පොත පළ කරන්නට වග බලා ගත්තේ ය. කෙටි කාලයක් ඇතුළත පොත සීඝ්‍ර අලෙවියක් වාර්ථා කළ අතර එහි ජනප්‍රිය තාවය නිසා ම එය ශ්‍රේෂ්ඨ කෘතියක් බවට කෙරෙන විවරණයන් ද පුවත් පත් වල ද සඟරා වල ද පළ විය. පළමු මාස 18 තුළ පොතේ පිටපත් ලක්ෂ තුනක් අලෙවි වූ අතර ඉන්පසු එය නිරන්තරයෙන් නැවත නැවතත් මුද්‍රණය කරනු ලැබිණ. එය අද වන විට භාෂා 40 කට පරිවර්තනය වී තිබේ. ඒ පොතේ පළ ව ඇති බොහෝ කරුණු බොරු බව ටිබෙටයේ ජිවත් වූ බ්‍රිතාන්‍ය ජාතිකයන් විසින් ම හෙලි කරනු ලැබ තිබිය දී ය.

මේ සම්බන්ධයෙන් තමන්ට ලැබුණු තොරතුරු වලට අනුව පරීක්ෂණ මෙහෙයවූ පොලීසිය සොයා ගත්තේ මේ පුද්ගලයා කිසි දිනෙක ටිබෙටයට පා තබා නැති කෙනෙකු බව ය. ඔහු ඩබ්ලින් නගරයට පැන ගත් අතර බ්‍රිතාන්‍ය පුවත් පත් ඔහු කළේ බොරුවක් බව ප්‍රසිද්ධ කළේ ය. පසු කලෙක කැනඩාවේ පදිංචි වූ ඔහු තවත් පොත් 18 ක් ලියා පළ කළේ ය. ඒ හැම එකකම තිබුනේ ඔහු සතු යැයි කියන, ධාන්‍ය වඩා ලබා ගත්තා යැයි කියන, සුවිශේෂී බලයන් ගැන ය. ඇස්ට්‍රල් ශරීරය භාවිතා කොට විශ්වයේ ඇවිදීමට ඔහුට හැකි ය යන්න ද ඒ කියන බලයන්ට අයත් විය.

බොරුව වුනත් රසවත් නම් මක් වෙනවා ද?

ඔහුගේ පොත් අලෙවි වී ඇත්තේ මිලියන ගණන් වලිනි. ඔහුගේ අනුගාමිකයන් දස දහස් ගණනකි. ඇතැම් විට මිලියන් ගණනක් පවා වන්නට ඇතැයි මේ ලිපියේ සඳහන් වෙයි. ඔහු හිතේ එක් එක් විකාර මවාගෙන කතා කරන බ්‍රිතාන්‍ය ජාතික හිටපු නළ වැද්දුම් කරුවෙකු බව දැන ගත් පසුත් ඔහු අනුගමනය කිරීමට ඉදිරිපත් වූ මිනිසුන් දස දහස් ගණනින් සිටියේ යැයි ද වාර්තා වේ.

ඔහු මිය ගියේ 1981 බව සළකන විට පෙනෙන්නේ මෑතක් වන තුරුත් දියුණු රටවල පවා රසවත් බොරුවට විශාල ඉඩක් තිබී ඇති බව ය. අදටත් ඒ තත්වය මුළුමනින් ම වෙනස් වී නැති වුව ද බොහෝ රටවල මිනිසුන් මිත්‍යා විශ්වාස වලින් ඈත්වන ලකුණු මේ වන විට පෙනෙන්නට තිබේ. ඒ සම්බන්ධයෙන් අප සිටින්නේ නම් බොහො පසු පස ය.

තිත්ත ඇත්ත හමුවේ රසවත් බොරුවට තවත් කාලයක් ආයුෂ තිබෙන බව නම් සක් සුදක් සේ සහතික ය.

ඇත්ත වුනත් තිත්ත නම් කුමකට ද? බොරුව වුනත් රසවත් නම් මක් වෙනවා ද? බොරුවට ආයුෂ තියෙන්නේ එතැන ය.

(බෞද්ධ දර්ශනය හෝ ක්‍රිස්තියානි දර්ශනය ප්‍රශ්න කිරීමක් මේ ලිපියෙන් නොකෙරේ. මේ ආගම් දෙකම මිනිසුන්ට වඩා යහපත් දිවියක් ගත කිරීමට දිරියක් සපයන බව ලේඛකයාගේ පිලිගැනීම ය. මේ ලිපියෙන් කරනුයේ ඒ ආගම් සමග බැඳි ඇති ඇතැම් විශ්වාසයන් පමණක් ප්‍රශ්න කිරීම ය. ඒ හරහා කටුක ඇත්තටත් රසවත් බොරුවටත් මිනිසුන් ඇදී යන ආකාරය දක්වා සිටීම ය.)

Advertisements

Leave a Reply

Fill in your details below or click an icon to log in:

WordPress.com Logo

You are commenting using your WordPress.com account. Log Out /  Change )

Google+ photo

You are commenting using your Google+ account. Log Out /  Change )

Twitter picture

You are commenting using your Twitter account. Log Out /  Change )

Facebook photo

You are commenting using your Facebook account. Log Out /  Change )

Connecting to %s