ඉතිහාසය නැවත කියවීම

king-dutugemunu_14052018_FRR_CMY

පාසල් යන කාලයේ ඉතිහාසය අපට එපා කර තිබුනේ රජවරුන් රාජ්‍ය විචාරය කළ වකවානු කටපාඩමින් මතක තබා ගැනීමට බල කළ ගුරුවරුන් විසිනි. එසේ මතක තබා ගැනීමේ ඇති වැදගත් කම ගැන නොදැනුන නිසා ම ඒවා මතක තබා ගැනීම අනවශ්‍ය කරදරයක් ලෙස අපි සැළකුවෙමු.

ඉතිහාසය ඉගැන්වූ ගුරුවරුන් ඉතිහාසයට නොදුන් වටිනාකමක් ඊට තිබේ. ඉතිහාසය කන්න දැයි අසන්නේ, එහි අගය ලඝු කොට දක්වන්නේ, ඒ වටිනාකම නොදුටු මිනිසුන් ය. පාසලේ පන්තියේ දී අලස ගුරුවරුන්ගෙන් පමණක් ඉතිහාසය උගත් මිනිසුන් ය.

ඉතිහාසය ගැන සඳහන් කරන විට බොහෝ දෙනෙකුගේ සිතට එන්නේ අපේ රටේ ඉතිහාසය ය. එය ඇතැමෙකුට අනුව පටන් ගත්තේ විජය නැමැති මැරයාගෙනි. අකිකරු පුත්‍රයාගෙනි. ඒ නිකම් ම නිකම් මිනිසෙකු නොවේ. සිංහයෙකුට දාව උපන් තාත්තා කෙනෙකුගේ පුතෙකි. ඇතැමුන්ට අනුව විජය ඉතිහාසය තුළ ප්‍රාදුර්භූත වී නැති වි ගිය කෙනෙකි. අපේ සැබෑ ඓතිහාසික උරුමය එන්නේ විජයගෙන් නොව රාවණාගෙනි. මේවා ඉතිහාසය නොවේ. ඉතිහාස කතන්දර ය. ඉතිහාස ගත සාක්කි නොමැතිව ජන ප්‍රවාදයේ එන කතාවලින් ගොඩ නගා ගත් වීර කාව්‍යයන් ය. ඉලියඩ් සහ මහා භාරතය වැනි වීර කාව්‍යයන් ය. රාම රාවණා පුරා වෘත්තය ඉන්දියාවේ පමණක් නොව ඉන්දුනීසියාවේ බාලි දූපතේ ද අදටත් රඟ දක්වනු ලබන නාට්‍යයක් බව බොහෝ දෙනා නොදනිති.

තවත් අයෙකුට අනුව ඉතිහාසය ලෙස ගත යුත්තේ ආගමික පත පොතේ සඳහන් ඉතිහාසය ය. උදාහරණයක් ලෙස වසර 6000ට පමණ පෙර දෙවියන් ආදම් හා ඒවගෙන් මිනිසා මැවූවේ යැයි කියනවා වැනි රසවත් කතන්දරය ය. ජනප්‍රවාදයෙන් එන කතන්දර තරමට ම ඒවා ද අයත් වන්නේ ඉතිහාසයට වඩා සාහිත්‍යයට ය.

ඉතිහාසය යයි අප අද කතා කරන්නට බලාපොරොත්තු වන්නේ පොසිල හා වෙනත් දෘඩ සාක්ෂි අධ්‍යයනයෙන් බිහිකර ගත්, සත්‍යයට වඩා ආසන්න යැයි සැළකෙන, ඉතිහාසය පිළිබඳව ය.

විවිධ ඉතිහාසයන් තිබේ

අපව, එනම් මිනිසාව හා ලෝකය, වඩා හොඳින් තේරුම් ගත හැකි එක් විෂයයක් නම් ඉතිහාසය ය. වර්ෂ බිලියන ගණනකට එහා විශ්වය බිහිවූ හැටි ද අප ජීවත් වන මහ පොළොව මුල දී ජීවය ද පසුව ගහ කොළ සතුන් ද තවත් පසු කලෙක මිනිසා ද ඇති විය හැකි ලෙස පරිවර්ථනය වූ අයුරු ද ඒ තුළ මිනිසාගේ පරිණාමය අනුක්‍රමයෙන් ඇති වූ අයුරු ද අපට උගත හැක්කේ ඉතිහාසය හැදෑරීමෙනි. ඒ ජීව පරිණාමයේ ඉතිහාසය ය.

ආදි කාලීන මිනිසා සිය පැවැත්ම වෙනුවෙන් සමාජගත වූ අයුරු ද ඒ සමාජය පවත්වා ගෙන යෑම සඳහා සංස්කෘතියක් බිහි කළ අයුරු ද තාක්ෂණයේ පෙරලිය සමග ඔවුන්ගේ සමාජ සම්බන්ධකම් වෙනස් වූ අයුරු ද- ඒ සමග සංස්කෘතිය ද වෙනස් වූ අයුරු ද අපට තේරුම් ගත හැක්කේ ඒ ඉතිහාසය හැදෑරීමෙනි. ගල් යුගයේ සිට ලෝකඩ යුගය හරහා ද එතැන් සිට වාෂ්ප එන්ජිම දක්වා ද වශයෙන් ආයුධ හා උපකරණ සොයා ගැනීම සමාජ වෙනස් කම් වලට බල පෑ ආකාරය සහිත තාක්ෂණයේ ඉතිහාසය අපට උගත හැකි ය. එය ම ගෝත්‍රික සමාජයක සිට වහල් සමාජය, වැඩවසම් සමාජය හරහා ධනේෂ්වර සමාජයක් දක්වා වෙනස් වූ අයුරු දැක්වෙන දේශපාලන ඉතිහාසය ද ඒ තුළ සිදු වූ තාවකාලික සමාජවාදී සමාජයේ උපත හා විපත පිළිබඳ දැක්වෙන මෑත දේශපාලන ඉතිහාසය ද අපට උගත හැකි ය.

විද්‍යාවට ද ඉතිහාසයක් තිබේ. ලෝකය පැතලි ලෙස සැළකිමෙන් ද පෘථිවිය වටා සූර්යයා ගමන් කරන්නේ යැයි ගැනීමෙන් ද ආරම්භ වූ ලෝකය තේරුම් ගැනීම පිළිබඳ ගමන අද වන විට ලෝකය ගැන අප දත් දේ ඔලුවෙන් හිටවා තිබෙන තැනකට පැමිණ සිටින්නේ විද්‍යාව ආ ඒ ඓතිහාසික ගමනේ ප්‍රතිඵල හැටියට ය.

මෙසේ විවිධ ඉසව් ඔස්සේ දිවෙන අපේ ඉතිහාසය අපේ නිම් වළලු ප්‍රසාරණය කරමින් පැතිරෙන්නේ විශ්වය ප්‍රසාරණය වන විදිහට ම ය.

ඒ ඉතිහාස ගමන් මග දිවෙන්නේ නව දේ සොයා ගැනීමේත් ඊට ඉඩ දීම සඳහා පැරණි දේ ඉවත දැමීමේත් ක්‍රියාවලිය හරහා ය. ඒත් නව දරුවා ඉපදුණේ පහසුවෙන් නොවේ. සමාජයට විළි රුදා විඳගන්නට සිදු වීමෙනි. පැරණි දේ ඉවත දැමුණේත් පහසුවෙන් නොවේ. මියගිය සහෘදයෙකුගේ මෘත කලේබරය ඉවත් කිරීමක දී මෙන් දරා ගත නොහැකි ව අඳෝනා නගන ආකාරයට ම, පසුබාමින්, අමාරුවෙනි.

ඉතිහාසය නිවැරදිව කියවා ගත් තැනැත්තාට මේ යථාව පැහැදිලි වෙයි. ඒ නිසා ම නව දේට බියත්, පැරණි දේට අනවශ්‍ය බැඳීමත්, ඔහුට ඇති නොවේ.

ඉතිහාසය අපට අවශ්‍ය වන්නේ ඒ තුළින් පාඩම් ඉගෙනීමට ය. අපට වැරදුන තැන් ගැන ඉගෙනීමට ය. අප නිවැරදි වූ තැන් ගැන ඉගෙනීමට ය. අප වෙනස් වන සමාජයට, පරිසරයට, අභියෝගයන්ට අනුවර්ථනය වූ හැටි ගැන ඉගෙන ගන්නට ය. ඒ සියල්ල වර්ථමානයේ සිදු වන දේ හොඳින් තේරුම් ගැනීමට ය. අනාගතයට වඩා හොඳින් සූදානම් වීමට ය. මුහුණ දීමට ය.

පම්පෝරි ගැසීමට ඉතිහාසය යොදා ගැනීම

එහෙත් වැඩි දෙනෙකු ඉතිහාසය සොයන්නේ පම්පොරි ගැසීමට ය. ආඩම්බර වීමට ය. ඒ නිසා ඔවුන් කරන්නේ ඉතිහාසයෙන් තමන්ට කැමති දේ තෝරා ගැනීම ය. ඉතිරි දේ නිශ්ප්‍රභා කිරීම ය.

ඉතිහාසයෙන් මෙසේ ආඩම්බරයෙන් උපුටා ගැනෙන එක කරුණක් නම් රූමත් තුරුණු ලියකට රත්තරන් පොරවාගෙන පේදුරු තුඩුවේ සිට දෙවුන්දර තුඩුවට යෑමට හැකි වූ බව ය. මේ නම් අතිශෝක්තියක් බව කියන්නට වෙනත් සාක්කි බොහෝ වෙතත් මෙය බරපතල සාක්කියක් ලෙස විද්වතුන් විසින් ම හුවා දක්වනු අපට අසන්නට ලැබේ. එක් පැත්තකින් මෙතැන ඇත්තේ එසේ ගිය බවට දෘඩ සාක්ෂියක් නොවේ. එසේ යෑ හැකිව තිබුණේ යැයි කියන පාරම්බෑමක් පමණි. අනිත් පැත්තෙන් මෙය මුළු අතීතයම ආවරණය කරන්නක් නොවේ. ඒ අතීතය තුළ එක් යුගයක් ගැන කියන කතාවකි. එහෙත් එය උපුටා දක්වන්නේ පුරාණ අතීතය පුරාම ඒ තත්වය පැවතුණ බවක් පෙන්වමිනි.

තවත් ආඩම්බරයෙන් සඳහන් කරන කරුණක් වන්නේ රාවණා රජුගේ දස්කම් විස්කම් ය. එහි කූට ප්‍රාප්තිය ඔහු සතුව තිබුණේ යැයි කියන දඩු මොනරය ය. එය ජනප්‍රවාදයෙකැයි සිතෙන්නේ එය ඉතිහාසය තුළ අහම්බයක් වි තිබිම ය. එවැනි තාක්ෂණයක් තිබුනේ නම් එය රාවණා සමගම වැළලී යන්නට ලොකු හේතුවක් තිබිය යුතු ය. ලංකාවේ තිබූ වාරි තාක්ෂණය සියවස් ගණනාවක් පුරා පැතිර පැවතියේ ය. දඩු මොනරය රාවණා සම්බන්ධව මිසක ඉන් බාහිර ව අසන්නට නොලැබේ.

ඇතැමෙක් ඉතිහාසය විමසන්නේ තමන්නේ මතවාදය සනාථ කරන්නට සාක්කි ගන්නට ය. ඊට ප්‍රතිපක්ෂ සාක්ෂි බැහැර කරන ඔවුහු අදාළ නොවන කරුණු පවා කපා කොටා ඔප මට්ටම් කොට සාක්කි ලෙස යොදා ගනිති.

ඉතිහාසයෙන් මෙසේ සාක්කි සොයන එක් පිරිසක් නම් බුදුන් වහන්සේ ලංකා ද්වීපයට ගැට ගසා ගැනීමට වුවමනා අය ය. මෙය බුදුන්ගේ දේශය කීමෙන් නොනැවතී මෙය බුදුන් උපන් දේශය ලෙස හඳුන්වමින් ඔවුහු සාක්කි සෙවීමේ නිරතව සිටින්නෝ ය. එසේ සාක්කි සොයන අය ඉන්දියාවේ නේපාලයේ පමණක් නොව පකිස්ථානයේ පවා තිබෙන වඩාත් ප්‍රබල සාක්ෂි වුවමනාවෙන් මග හරින්නෝ ය.

සැබෑ ඉතිහාසය මතු කර ගැනීම

ඇතැම් අවස්ථාවල සාක්කි බැහැර කිරීමෙන් නොනැවතී ප්‍රතිපක්ෂ සාක්ෂි විනාශ කිරීමට ඔවුහු ඉදිරිපත් වෙති. උදාහරණයක් ලෙස බාහිමියන් බුදු පිළිමය විනාශ කළ ඇෆ්ගන් අන්තවාදීන්ගේ එක් අභිලාෂයක් වන්නට ඇත්තේ ද ඇෆ්ගනිස්ථානයේ බෞද්ධ ඉතිහාසයක් නැතැයි කියන්නට විය හැකි ය.

ඒ නිසා ම ඉතිහාසය, සැබෑ ඉතිහාසය, මතු කර ගැනීම අපහසු ය. ඒවා එක්කෝ ජනප්‍රවාද වලින් නැතිනම් ආගමික මතිමතාන්තරයන්ගනේ වැහිලා ය. නැත්නම් වුවමනාවෙන් වසා දමා ය. ඒත් නැත්නම් විනාශ කර ය. ඒ තත්වය යටතේ ඉතිහාසය හැදෑරීම ම අභියෝගයකි.

ඉතිහාසය යනු ජයග්‍රාහකයාගේ ඉතිහාසය යැයි කතාවක් තිබේ. ඒ කතාවට ද හේතුව ඇත්තේ ජයග්‍රහණය කළ තැනැත්තා විසින් තම ජය තහවුරු කර ගනු වස්, ඊට සූජාත භාවය ලබා ගනු වස්, ඉතිහාසය නැවත ලිවීමට, අලුතෙන් ලිවීමට, කටයුතු කිරීම ය.

මිනීමරුවෙකුට තමන් සිදු කළ මරණය සම්බන්ධ සියලු සාක්කි හැංගිය නොහැකි ය. තමන්ට හැකි ලෙස සියල්ල මකා දැම්මේ යැයි ඔහු සිතුවේ වුව ද අවසානයේ ඔහු අවබෝධ කරගන්නේ දක්ෂ රහස් පරීක්ෂකවරයෙකුට අවශ්‍ය සාක්කි, තමන් නොසිතූ තැනකින්, අනාවරණය කර ගත හැකි බව ය.

ඉතිහාසය සම්බන්ධයෙන් ද එය සත්‍යයකි. වසන් කරන්නට හැදුව ද නව සාක්ෂි මතුව සැබෑව පසුව හෝ එලියට පැමිණෙන්නේ ය.

අනන්‍යතාවයක් ලබා දෙන ඉතිහාසය

ඉතිහාසය රටකට ජාතියකට අනන්‍යතාවයක් ලබා දෙන්නේ ය. අප වෙනත් ජාතීන්ගෙන් වෙන්වන්නේ අපේ ඉතිහාසය නිසා ය. ඒ නිසා ම අපත් අනෙකාත් අතර මායිම් රේඛාව ඇඳ ගැනීමට ඉතිහාසය අවශ්‍ය වන්නේ ය.

ඉතිහාසය අප මෙතෙක් කතා කළේ රටක් ජාතියක් හෝ සමූහයක් කේන්ද්‍ර කොට ගෙන ය. එහෙත් පුද්ගලයන්ට ද ඉතිහාසයක් තිබේ. පුද්ගල අනන්‍යතාවය ඇතිවන්නේ ද ඒ ඉතිහාසය නිසා ය.

මේ අනන්‍යතාවය ඇත්තට ම පවතින්නක් ද? අවාසනාවට නැත. අද ඉන්නේ ඊයේ සිටින මම නොවේ. අද මේ රටේ ඉන්නේ මීට සියවස් ගණනාවකට හිටපු මිනිසුන් නොවේ. එහෙම තිබිය දී අප අනන්‍යතාවය සඳහා ඉතිහාසය තෝරා ගැනීම යුක්ති යුක්ත ද?

යුක්ති යුක්ත නැත. එහෙත් වෙනත් කිසිදු පදනමක් නැති තැනක කිට්ටුවෙන් හෝ අනන්‍යතාවයක් හඳුනා ගත හැක්කේ අතීතයට, ඉතිහාසයට, පිවිසීමෙනි. කෙනෙකුගේ නැති නම් ජාතියකගේ කතාවට සවන් දීමෙනි. එහි පරිණාමය ගැන විමසීමෙනි.

එතැන දී අප ප්‍රවේසම් විය යුතු ය. වසර 50-60 ක ජීවිතයක් ගත කළ කෙනෙකු වසර 30 දී කළ යමක් බලා ඔහු ගැන තීන්දුවකට එළඹිය නොහැකි ය. එයින් අදහස් කරන්නේ අවුරුදු 30 දී ඔහු කළ කී දේ අදාළ නොවන බව නොවේ. එය ගලා යන ප්‍රවාහයක එක මොහොතක් පමණක් බව සැළකිය යුතු බව ය. ප්‍රවාහය තේරුම් ගත හැක්කේ ඒ මුළු කාලය තුළ සිදු වූ දෑ හූයක්, නූලක්, මෙන් දැකීමෙනි. කෑලි වලින් ඵල නැත. කෑලි එකතුව ගොඩ නැගෙන විකාශනය වැදගත් ය. අනන්‍යතාවය සෙවිය යුත්තේ ඒ විකාශනය තුළ ය.

ඒ විකාශනය ඇතැම් විට නොදියුණු බවේ සිට දියුණු බව දක්වා වූ සාධනීය ලෙස සටහන් වුනු ක්‍රමික ගමනක් විය හැකි ය. ඇතැම් විට කලක් යහපත් ව සිට පසු කලෙක අයහපත් බව දක්වා පසු බැස්සා වූ නිශේධනීය ගමනක් විය හැකි ය. වඩාත් අවශ්‍ය වන්නේ දිසාව කෙසේ දැයි සොයා ගැනීම ය. මක් නිසා ද යත් වඩාත් වැදගත් අද සිටින ඔහු කවරෙක්දැයි දැන ගැනීම ය. අපට ගනුදෙනු කිරීමට සිදු ව ඇත්තේ අද සිටින ඔහු සමග නිසා ය.

ඉතිහාසය තුළින් ඉගෙනීම

ඉතිහාසය අපට, අප ගැන, උගන්නට අවස්ථාවක් ලබා දෙයි. අප පසු පසට යන්නේ ද පසු පසට යන්නේ නම් අපට වැරදුණේ කොතැනක ද අප වරද්දා ගත්තේ කොතැනක ද අපට වැරැද්දුවේ කවුරුන් ද කෙසේ ද යන්න අපට ඉතිහාසය විමසීමෙන් සොයා ගත හැකි ය.

අප ඉදිරියට යමින් සිටින්නේ ද ඒ ඉදිරි ගමන සඳහා අපට උදව් ලැබුනේ කාගෙන් ද කුමන බලවේගයන්ගෙන් ද වාසනාව ඒ උදෙසා කොතෙක් බල පෑවේ ද වටපිටාව ඒ වෙනුවෙන් කොතෙක් උදව් වූයේ ද යන දෑ ද අපට ඉතිහාසය විමසීමෙන් සොයා ගත හැකි ය.

අප මෙහි දී එක දෙයක් සම්බන්ධයෙන් ප්‍රවේසම් විය යුතු ය. ඒ අප ඉගෙනීම සම්බන්ධයෙන් පළඳින කණ්ණාඩිය කෙබඳු ද යන්න ය. සමහරු වැරදිවලට හේතුව හැටියට දකින්නේ තනිකරම බාහිර කාරණා ය. කවරෙකු හෝ අපේ ඉරණම ඔවුන්ට ඕනෑ ලෙස වෙනස් කර ඇතැයි එවිට සිතෙන්නේ ය. ඒ අප තුළ අඩුපාඩු නැතැයි යන උපකල්පනය ඇතුව ය.

සමහරු වැරදිවලට හේතුව හැටියට දකින්නේ අභ්‍යන්තර කාරණා ය. අප කළ වැරදි අපේ පරිහානියට බල පෑ බව ය. මුලින් කී අස්ථානය අපට වෙනස් වීමට දිරි දෙන්නේ නැත. බාහිර බලවේගවලට ගතු කියනවා හැරෙන්නට අපට කළ හැකි දෙයක් නැත. දෙවැනි අස්ථානය අපට අප දෙස බලන්නට අවශ්‍ය වෙනස් කිරීම් ඇති කරන්නට පොළඹවන්නේ ය. ඒ නිසා ම වඩාත් ප්‍රයෝජනවත් දෙවැන්න ය.

වැරදි සම්බන්ධයෙන් පමණක් නොව හරි ගිය දෑ සම්බන්ධයෙන් හේතු විමසීමේ දී හමු වන හේතු අප පළඳින කණ්ණාඩිය අනුව වෙනස් වන්නේ ය.

එසේ වුව ද සත්‍යය දෙකටම වඩා වෙනස් ය. ඕනෑ ම අසාර්ථක වීමකට හෝ සාර්ථක වීමකට ඒ පුද්ගලයා හෝ රටද බාහිර කාරණා ද වාසනාව හෝ අවාසනාව (අහඹු සිදුවීම්) ද බලපාන්නේ ය. එවැනි විමසුමක් වඩා යථාර්ථවාදී ගමනකට අප යොමු කරන්නේ ය. එසේ වුව ද එලෙස මැදිහත් සිතින් ඉතිහාසය විමසන්නට නැඹුරුවක් අපට නැත. අප, අපට කැමති එක් අන්තයක සිට, ඉතිහාසය දෙස බලන්නට වඩා කැමති ය.

අනාගතය පුරෝකථනය සඳහා ඉතිහාසය භාවිතා කිරීම

සමහරු ඉතිහාසය අනාගතය පුරෝකථනය කිරීම සඳහා ද භාවිතා කරති. ඔවුන්ට අනුව ඉතිහාසය තුළ යම් ප්‍රවණතාවයක් විණි නම් අනාගතයේ ද එය එසේ ම වීම වැළැක්විය නොහැකි ය.

උදාහරණයක් ලෙස ඉතිහාසය පුරා ජාතින් දෙක අතර ගැටුම් පැවතීම නිසා ඉදිරියේ ද එය ම සිදු වනු ඇත්තේ ය. එසේ සිතන ඔවුහු ගැටුමට ම සූදානම් වී සිටින්නෝ ය. ගැටුම අපේක්ෂාවෙන් සිටින්නෝ ය. සිදු වන පුංචි සිද්ධියක් ගැටුමක ආරම්භයක් ලෙස ගන්නෝ ය. යුද ප්‍රකාශ කිරීමක් ලෙස ගන්නෝ ය. එයට ඒ ලෙස ම ප්‍රතිචාර දක්වන්නෝ ය. එයින් සිදු වන්නේ අතීතයෙන් වියෝවන්නට නොහැකි වීමට ය.

ඔවුන්ට අවශ්‍ය දුටු ගැමුණු නාට්‍යය නැවත නැවතත් රඟ දක්වන්නට ය. ඒ සඳහා ප්‍රතිවිරුද්ධ කඳවුරේ එලාර කෙනෙකු දැකීමට ය. නැති වුනොත් එහෙම කෙනෙක් තනා ගන්නට අවශ්‍ය වැඩ කටයුතු කරන්නට ය.

අතීත අත්දැකිම් අනුසාරයෙන් තනා ගත් පූර්ව නිගමනයන් තුළ ඔවුහු සිය ලෝක දැක්ම තනා ගන්නෝ ය. මේ පූර්ව නිගමනයන් නව අනාගතයක්, වෙනස් අනාගතයක්, තනා ගැනීමට ඇති ඉඩ අවුරන්නේ ය. පූර්ව නිගමනයන් වලට ජීවය පිඹිමින් ඒ මත්තේ ඇලී ගැලී ඉන්නා මිනිසුන් බහුල රටවලට වෙනස් අනාගතයක් නිර්මාණය කර ගත නොහැකි ය. ඔවුන්ට සිදු වන්නේ අතීත නාරාවලේ රැඳෙමින් දිගින් දිගට පැසීමට ය.

ඊට ප්‍රතිපක්ෂව ඇතැම් අය අනාගතය, අතීතයෙන් ස්වායත්තව, නිර්මාණය කර ගත හැකි දෙයක් ලෙස දකින්නෝ ය. ඔවුන් අතීතය අත් හැරීමට සූදානම් ය. එයට නොඇලී එය සමග නොගැටී ඉන්නට ඔවුන්ට හැකි ය. පූර්ව නිගමන විමසන්නට ඒවා බැහැර කරන්නට ඔවුන් කැමති ය. ජීවිතය, එහෙම පිටින් වෙනස් නව අවස්ථාවන් උදාකරමින්, විප්ලවකාරී ලෙස වෙනස් වන ශාක්‍යතාවයෙන් යුක්ත යැයි ඔවුහු සිතති. ඒ නිසා ම නව විශ්වාසයකින් යුතු ව නව අනාගතයක්, වෙනස් අනාගතයක්, අතීතයෙන් වියෝ වුණු අනාගතයක් ගැන සිහින දකින්නට, ඒ වෙනුවෙන් වෙහෙසෙන්නට, ඔවුන් සූදානම් ය.

ඔවුහු සිහින දකිති. අනාගතයේ එක් දිනක සිංහල දෙමළ සහයෝගයෙන් යුතු ආණ්ඩුවක් යටතේ ඉදිරියට යන ශ්‍රී ලංකාවක් ඔවුහු දකිති. ඔවුහු එලාරගේ සොහොනට ගෞරව කරන්නට අතීතයෙන් පාඩම් ඉගෙන ගන්නා ගමන් ම, එලාර සමග එක්ව රට ගොඩ නගන්නට ඉදිරිපත් වන්නැයි දකුණේ ජනයාට අරාධනා කරන මහා සංඝරත්නයක් ගැන ද සිහින දකිති. සැබෑ වන්නේ දකින සිහිනය යැයි විශ්වාසයක් ද ඔවුන් සතු ව ඇත.

මේ සියල්ල අපට කියන එක් වැදගත් කාරණයක් තිබේ. ඒ ඉතිහාසය ප්‍රවේසමෙන් හැදෑරිය යුතු බව ය. එයින් නිසි  ප්‍රයෝජන ලැබ යහපත් අනාගතයක් නිර්මාණය කර ගත යුතු බව ය. එසේ නොකර ඉතිහාසය ගැන පම්පෝරි ගසමින් සිටීමෙන් අත්වන ප්‍රතිඵලයක් නැත.

Advertisements

Leave a Reply

Fill in your details below or click an icon to log in:

WordPress.com Logo

You are commenting using your WordPress.com account. Log Out /  Change )

Google+ photo

You are commenting using your Google+ account. Log Out /  Change )

Twitter picture

You are commenting using your Twitter account. Log Out /  Change )

Facebook photo

You are commenting using your Facebook account. Log Out /  Change )

Connecting to %s