ඒකාධිපතියෙකු ඕනෑ කර තිබේ

deepana-2_30042018_FRR

රට හදන්න නම් ඒකාධිපතියෙකු ඕනෑ බව මිනිසුන් අතින් නිතර කියවේ. එයින් අදහස් කරනුයේ, කිසිවෙකු කියන දෙයක් නාහන, හරි යැයි තමන් හිතන දේ කරන, කෙනෙකු නායකයා විය යුතු බව ය. එහෙත් එසේ කියන අය එයට අතුරු කොන්දේසියක් ද ඉදිරිපත් කිරීමට අමතක නොකරති. ඒ එම ඒකාධිපතියා රටට ආදරය ඇති කෙනෙකු විය යුතු බව ය.

එවැනි ඒකාධිපතියෙකු ලැබේ නම් අතිශය විශාල නිරපේක්ෂ බලයක් ඔහු වෙත පිරිනැමීමට සැදී පැහැදී සිටින ජනතාවක් අප රටේ වෙසෙති. එය බහුතරය දැයි කියන්නට මම ඉක්මන් නොවෙමි. එය සැළකිය යුතු ප්‍රතිශතයක් බව නම් දනිමි. මේ ලිපියේ අරමුණ මේ ගැන කතා කිරීමට ය.

ඒකාධිපතියෙකු අවශ්‍ය යැයි කියන අය ඉදිරිපත් කරන්නේ සිංගප්පූරුවේ ලී ක්වාන් යූ ය. මැලේසියාවේ මහතීර් මොහොමඩ් ය. එසේ කියන ඔවුන්ට අමතර වශයෙන් මතක් වන්නේ ජනතාවට ප්‍රජාතන්ත්‍රවාදය නොදෙන එසේ තිබියදීත් දියුණුවේ ඉදිරියට ම යන චීනය ය.

එහෙත් එය එක් පැත්තක් පමණ ය. මිනිසුන් දහස් ගණනින් නොව ලක්ෂ ගණනින් ඝාතනය කළ පොල්පොට් ද ඉඩි අමීන් ද ස්ටාලින් ද හිට්ලර් ද ඒකාධිපතියන් වූ බව ඔවුහු අමතක කරති. අප්‍රිකා මහා ද්වීපය අදට ද පිරී ඇත්තේ එවැනි ඒකාධිපතියන්ගෙනි. ඒකාධිපතියන් යටතේ රටවල් දියුණු වූයේ නම් වඩාත් ඉදිරියෙන් ම ඉන්නට තිබුනේ අප්‍රිකා මහාද්වීපය ය. එහෙත් එය එසේ නොවන බව අපි දනිමු.

අඳුරේ අතපත නොගා අපේ හිතළු වලට ඉඩ නොදී අප විසින් ඒ නිසා ම සංඛ්‍යාලේඛන විමසිය යුතු ය.

අද වනවිට ලෝකයේ ඒකාධිපතීන් 49 ක් සිටිති. එයින් 21 ක් ඉන්නේ අප්‍රිකාවේ ය. 18 ක් ආසියාවේ ය. 7 ක් මැදපෙරදිග ය. එකක් යුරෝපයේ ය. දෙකක් ඇමරිකා මහාද්වීපයේ ය. මේ අතරින් දියුණුම මහාද්වීපය ලෙස සැළකෙන්නේ යුරෝපය ය. එහි ඒකාධිපතියන් එකක් වන විට වැඩි ම ඒකාධිපතියන් පිරිසක් ඉන්නේ නොදියුණු අප්‍රිකාවේ ය.

මෙවැනි විමසීමකින් තොරව උදාහරණ කීපයක් තෝරා ගෙන නිගමනයන්ට බැසීම මනෝ විද්‍යාවේ හඳුන්වන්නේ අතිවිතා අගතිය ලෙස ය. එය ඉංග්‍රීසියෙන් නම් survivorship bias ය. ඒ කියන්නේ සංඛ්‍යා ලේඛන විමසීමකින් තොරව කිසියම් විදිහකට නොනැසී පවතින කිහිපයක් පමණක් ඉදිරිපත් කරමින් තමන්ගේ මතය අගතිගාමී ලෙස සනාථ කිරීමට අපට ඇති නැඹුරුව ය. රටවල් අගාධයට ගෙන ගිය ඒකාධිපතියන්ට පිටුපස හරවා, ඔවුන් නොසළකා හැර, ඒකාධිපතියන් සිය ගණනක් අතරින් රටවල් ගොඩ ගත් කීප දෙනෙකු පමණක් තෝරා ගෙන ඒ අය සිය රටවලට ආශීර්වාදයක් වූ බව කියමින් තම මතය සනාථ කරන්නට මිනිසුන්ට ඇති පෙළඹවීම ය.

දුර්වල නායකත්වයක් රට තුළ ඇති විට මේ පෙළඹවීමට තටු ලැබෙන්නේ ය. එය යුක්ති යුක්ත කෙරෙන්නේ ය.

එක අතකින් ගත් තීරණය කිසිවෙකුගේ කුඩා විරුද්ධත්වයක් නිසා අනිත් අතින් අකුලා ගන්නා නායකයන් සිටින විට මිනිසුන්ට ස්ථිර තීරණයක වටිනාකම දැනෙන්නේ ය. එහෙත් ඔවුන් නොසිතන දේ නම් බොහෝ දෙනෙකුගේ විරුද්ධත්වය නොසළකා හැර හිතුමතේට වැඩ කිරීමේ බලයක් ඒකාධිපතියෙකු හිමි කර ගන්නා බව ය. ඒකාධිපති පාලනයක ජීවත් වන මිනිසුන්ට, ඒ නිසා හෙම්බත් වී ඇති මිනිසුන්ට, වඩාත් වටිනා ලෙස දැනෙන්නේ නම්‍යශීලි වීමේ අගය ය.

නායකයෙකුට නිරපේක්ෂ බලයක් දීම කෙනෙකුට හිස් චෙක්පතක් අත්සන් කර දෙනවා හා සමාන ය. ඉන්පසු සිදු වන දේ කුමක් වුව ද බාර ගැනීමට අප සූදානම් විය යුතු ය.

එසේ තිබිය දී උදාහරණ කීපයක් පමණක් දැක මෙවැන්නකට එකග වීමට මිනිසුන්ට සිතෙන්නේ කිසි දෙයක් හරියට නොවෙතැයි හැගීම හද අරක් ගත් විට ය.

බොහෝ මිනිසුන් හිතන්නේ ඒකාධිපතිත්වය යටතේ තමන් ඇර අන් සියලු දෙනා දඩුවමට යටත් කොට තමන්ට අවශ්‍ය රට එම ඒකාධීපතියා විසින් බිහිකර දෙනු ලබන බව ය. ඒ හැගීම එන්නේ වැරදි කරන්නේ අනුන් බවත් තමන් සුදෝ සුදු බවත් හිතන නිසා ය. ඒකාධිපතියෙකු යටතේ වැරදි කරුවෙකු වන්නේ ඔහුගේ අණ නොතකන අය ය. ඒ කියන්නේ සුදනන් වීම සඳහා ඒකාධීපතියා කියන ඕනෑම දෙයක් කිරීමට සැදී පැහැදී සිටිය යුතු බව ය. බොහෝ දෙනෙකු හිත හදා ගන්නේ එහෙම දෙයක් ඒකාධිපතියා නොකියනු ඇත කියා ය. නිරපේක්ෂ බලය ඇති මිනිසෙකු සිතන්නේ කෙසේ දැයි කිසිවෙකුට පුරෝකථනය කළ නොහැකි ය.

එසේ වුව ද බොහෝ දෙනා සිතන්නේ සෙසු අයට මුදාහරින දඩුවම් හා පාලනයෙන් තමන් කිසියම් වාසනාවක් නිසා නිදහස් විය හැකි බව ය. මේ විශ්වාසය කෙතරම් දුබල ද යන්න ගැන ලෝකයට කීවේ නිලමෝර් ය. ඒ හිට්ලර්ගේ දරුණු හිංසනයට ලක් වූ ජර්මනියේ හිඳිමින් ය.

නට්සිවාදීහු කොමියුනිස්ට්වාදීන් අත් අඩංගුවට ගත්හ
මම කිසිවක් නො කීවෙමි
මන්ද, මා කොමියුනිස්ට්වාදියකු නො වන බැවිනි

ඔවුහූ ප්‍රජාතන්ත්‍රවාදීන් සිරගත කළෝ ය
මම කිසිවක් නො කීවෙමි
මන්ද, මා ප්‍රජාතන්ත්‍රවාදීයකු නො වන බැවිනි

ඔවුහූ කම්කරු නායකයන් අත් අඩංගුවට ගත්හ
මම කිසිවක් නො කීවෙමි
මන්ද, මා කම්කරු නායකයකු නො වන බැවිනි

ඔවුහූ යුදෙව්වන් සිරගත කළහ
මම කිසිවක් නො කීවෙමි
මන්ද, මා යුදෙව්වකු නො වන බැවිනි

අවසානයේ ඒ මෘගයෝ මා සොයා පැමිණියහ
එයට එරෙහි වන්නට කිසිවකුත් නො සිටියේ ය

මන්ද ඒ වන විටත් බොහෝ දෙනා ම සිරගතවත්
තවත් පිරිස් මරා දමාත් තිබූ බැවිනි

– දේවගැති මාර්ටින් නිලමොර්

බොහෝ දෙනෙකු කල්පනා කරන්නේ ද මේ ලෙස ය. සිංහල බෞද්ධ ඒකාධිපතියෙකු පැමිණ සිංහල බෞද්ධ දේශයට අරක් ගෙන ඇති වෙනත් වාර්ගිකයන්ගේ කුමන්ත්‍රණ සිඳ බිඳ දමනු ඇති බව ය. උන්ට නිසි පාඩම් උගන්වනු ඇති බව ය. තමන්ට එරෙහිව කිසිවක් සිදු නොවනු ඇති බව ය.

ඉතිහාසය කියන්නේ ඉතා පාරිශුද්ධ අරමුණු ඉදිරියට දමා බලයට පත් බොහෝ ඒකාධිපතියන්ගේ කැරැට්ටුව බලය ලැබීම සමග වෙනස් වුනු බව ය. ඒ බව අවබෝධ වන විට සියල්ල නැවති වෙනස් කළ නොහැකි ලෙස දුර ගමනක් ගොස් ඇති බව ය.

ස්ටාලින්, මාඕසේතුං, පොල්පොට් පමණක් නොව හිට්ලර් ද ඒ සඳහා දිය හැකි උදාහරණ ය. අප්‍රිකාවේ බොහෝ නායකයින් සම්බන්ධයෙන් අත්දැකීම ද ඊට නොදෙවෙනි ය. ඉඩි අමින් හා මුගාබේ ඒ අතර ඉන්නේ පෙරමුණේ ය.

පොල්පොට්ගේ කෙරුවාව විස්තර කරන වෛද්‍ය රුවන් එම් ජයතුංග මහතා ඒ මහතාගේ ට්‍රාන්සිල්වේනියා බ්ලොග් අඩවියේ මෙවැනි සටහනක් තබයි.

“පොල්පොට්ගේ ෆැන්ටසිය හඳුන්වනු ලැබුයේ Collectivist Utopia වශයෙනි. 1978 දී ඔහු කෙමරුජ් දේශපාලනය ගැන මෙසේ කීවේය. “අප අපටම ආවේනිකවූ සමාජවාදයක් ගොඩනංවන්නෙමු. එය කිසිඳු රටකින් ගත් කාබන් කොපියක් නොවේ. අපි කිසිම රටක් ගුරුකොට නොගනිමු. අපි විමුක්ති අරගලයේදී ලද අත්දැකීම් මේ සඳහා භාවිතා කරමු. ගතානුගතික පාසැල්, විශ්වවිද්‍යාල අපගේ නව ක්‍රමය තුල නැත. එවැනි ප්‍රතිගාමි ආයතන කම්පුචියානු විප්ලවයට පෙර බොහෝ තිබුණි. අප මෙවැනි සුන්බුන් ඉවත් කළ යුතුය. අපට මුදල් හෝ ආර්ථීකයක් අවශ්‍ය නැත. නගරවල ඉරණම ජනතාව තීරණය කරනු ඇත. නගරය යනු ධනවාදයේ දුගඳ හමන අසූචි වල බව කෙමරූජ්වරු පැවසූහ. එම නිසා නගරය කෙරෙන් ජනයා දුරුවිය යුතුය.”

Phnom Penh නගරයට පොල්පොට් තුළ තිබුණේ සැඟවුණු වෛරයකි. කෙමරුජ්වරු බලයට පත්වූ වහාම Phnom Penh හි ජනතාව පිටමං කරන ලදී. ග්‍රාමීය ගොවීන් නූගත් අහිංසක කිසිවෙකු සූරානොකන කොට්ඨාශයක් බව පොල්පොට් ඇදහීය. එම නිසා ඔවුන් වඩාත් ශුද්ධ වූ කොටසකි. මේ නයින් බලන කල නගරය දූෂිතය. ඔහුගේ ෆැන්ටසිය අනුව නගරයට හා නාගරිකයන්ට පැවත්මක් නොතිබිනි. Phnom Penh හි ජනයා “අප්‍රේල් 17 දින ජනයා“ හෙවත් නව මිනිසුන්ය. මේ කොට්ඨාශය ධනවාදයේ විෂමචක්‍රය කරකවන්නන්ය. ඔව්හු නව කම්පුචියාවේ සතුරෝ වෙති.“

පොල්පොට් ද රටට ආදරේ ඇති ඒකාධිපතියෙකි. එහෙත් රටට ආදරය කළේ ඔහුටම උරුම ක්‍රමයකට ය. හිස් චෙක්පතකින් ඒකාධිපතියෙකුට නිරපේක්ෂ බලය පවරන්නට කටයුතු කරන අය විසින් පොල්පොට් චරිතය වෙසෙසින් හැදෑරිය යුතු ය.

මේ ඇතැම් ඒකාධිපතිහු තමන් විශ්වාස කළ දර්ශනයන් තුළ සිර වූයේ එයින් එලියට ඒමට නොහැකි ව තව තවත් ඒ තුළ ගිලා බැස්සෝ ය. උන් සමග රට ද ඒ අගාධයන් තුළ සිර වූයේ ය. පොල්පොට්ට ද ඒ ඇබැද්දියම වූ බව වෛද්‍ය රුවන් එම් ජයතුංග මෙසේ විස්තර කරයි.

“කෙමරූජ්වරු අදහන ලද්දේ “අන්කා” දේශපාලන දර්ශනයයි. කෘෂිකාර්මික, ආර්ථීක ස්ථරයකින් වටවූ “අන්කා දහම” මගින් පෞද්ගලික දේපල, පුද්ගල නිදහස, නිදහස් අදහස් ප්‍රකාශනය, දැඩිලෙස සීමා කරන ලදී. බටහිර තාක්ෂණය ප්‍රතික්ෂේප කරන ලද ඔවුන් ප්‍රජාව ග්‍රාමීය ඉඩම්වලට කොටුකරන ලද්දේ ඔවුන් පාරිශුද්ධත්වයට පත් කරනු සඳහාය. පරාජීර්ණව තිබූ නාගරික ලෝකය වෙනුවට නව ගැමි ජීවිතයක් මගින් සියළු දෑ මුල සිට ආරම්භ කළ යුතු බව අන්කා දහම මගින් ඔව්හු පැවසූහ. මුල සිටම ආරම්භ කරන පොදු ග්‍රාමීය සමාජය මගින් ක්‍රම ක්‍රමයෙන් තාක්ෂණය අත්පත් කරගෙන කොමියුනිස්ට්වාදයට පිය නැගීම ඔවුන්ගේ අරමුණ විය.

අන්කා දහම මගින් පොල්පොට් අපේක්ෂා කළේ සෑම පුද්ගලයෙකුම ගොවියෙකු කිරීමය. එවිට පුද්ගලයා ස්වයංපෝෂිත වෙයි. ඔහු තම ආහාර වේල සඳහා එවිට අන්‍යයන් මත යැපෙන්නේ නැත. මේ මගින් ජනතාවට සමෘධිය ලඟාකරදීම පොල්පොට්ගේ දර්ශනය විය. එහෙත් පොල්පොට්ගේ අත්හදාබැලීම කෙළවර වූයේ මහා ව්‍යසනයකින්ය.

අන්කා දහම අනුව ගොවිබිම අප්‍රිය කළ ඕනෑම පුද්ගලයෙක් ජනතා හතුරෙකු ලෙස ගණන් ගැනිනි. ඔවුන්ට අත්වූයේ මරණයයි. සමානාත්මාවය රජයන සමෘධිමත් ලොවක් බිහි කිරීම පොල්පොට්ගේ මූලික අදහස වුවද, එය ක්‍රියාවට නැංවූයේ ජනතාවගේ ලේ සහ කඳුළු මතින්ය. කාලයත් සමඟ කෙමරූජ් නායකයන් අන්කා දහමේ සිරකරුවන් බවට පත්වූහ. ඔවුනට යළි ආපසු යාමක් ගැන සිතීමට පවා නොහැකි වූහ. න්‍යාය ගුරුකොට සෑම තීරණයක්ම ගත් ඔවුන් ප්‍රායෝගික ගැටලුවලදී ළදරුවන් මෙන් අසරණ වූහ.“

ඉතිහාසය හරි හැටි කියවන්නේ නැතිව තමන් දන්න උදාහරණ කිපයක් පමණක් ගෙන ඒකාධිපතිත්වයට පාර කපන අය ගැන අපට ඇත්තේ කෝපයකට වඩා ශෝකයකි. ඒ යම් දිනක උන් ද ඒ උගුලට වැටී රටත් සමගම විනාශ වන්නට නියමිත නිසා ය.

වඩාත් අදාළ ප්‍රශ්නය රටකට අවශ්‍ය කවර ගනයේ නායකයෙකු ද යන්න ය. විශේෂයෙන් අරාජිකත්වයෙන් ඔද්දල් වී ඇති රටකට, අප වගේ රටකට, අවශ්‍ය කවර වර්ගයේ නායකයෙකු ද යන්න ය.

අපට අවශ්‍ය නීතිය අකුරට ක්‍රියාත්මක කරන නායකයෙකි. සතර අගතියෙන් තොරව නීතිය ක්‍රියාත්මක කරන නායකයෙකි. ඡන්දය බලා නොසිටින නිසා ම නීතිය ක්‍රියාත්මක කිරීමට බිය සැක නැති නායකයෙකි. බලය ඉදිරියේ තර්ජන ඉදිරියේ බලපෑම් ඉදිරියේ නොනැමෙන නායකයෙකි. දණ නොනමන නායකයෙකි. ජනප්‍රිය නොවන තීන්දු තීරණ ද ගත හැකි නායකයෙකි. තමන්ගේ හිතේෂීන්ට එක නීතියක් ද සෙසු අයට තව නීතියක් ද ක්‍රියාත්මක කරන නායකයෙකු නොවේ. රටේ නීතිය හැම කෙනෙකුටම, තමන්ට ද ඇතුළු හැම කෙනෙකුටම, එක සේ බලපාන ලෙස ක්‍රියාත්මක කරමින් රට පාලනය කරන නායකයෙකි. නීතිය සුරකින ආයතන බලාත්මක කර ඇති නායකයෙකි. ඒවාට අනවශ්‍ය ලෙස ඇගිලි නොගසන නායකයෙකි. ඒවා හරිහැටි ක්‍රියාත්මක වනවා දැයි විපරම් කරන නායකයෙකි.

ඒකාධිපතියෙකු රටේ නීතියට ගරු කරන්නේ නැත. තමන් වෙනුවෙන් නීතිය නමන්නට ඔහු නීතිය ක්‍රියාත්මක කරන ආයතනවලට බලපෑම් කරනු ඇත. එ් අණ නොපිලිපදින අය හොඳින් නැත්නම් නරකින් ඉවත් කරනු ඇත. බොහෝ දෙනෙකු නොදන්නා කාරණය නම් අවසානයේ දි රටේ නීතිය ඔහුගේ අණ බවට ඔහු විසින් හෑල්ලු කරනු ලබන බව ය.

අප මුල් වර්ගයේ කෙනෙකු වෙනුවට දෙවැනි වර්ගයේ කෙනෙකු පැතිය යුත්තේ ඇයි?

නීතියක් පවතින රටක කුමක් සිදුවන්නේ ද යන්න නිෂ්චිත ය. තමන් විසින් කරන ක්‍රියාවක කර්මයක ප්‍රතිඵල තමන්ට ලැබීම නිශ්චය ය.

පාලකයාගේ අණ රටේ නීතිය වූ රටක හැම දෙයක් ම අවිනිශ්චිත ය. එවිට පාලකයා දෙවියෙකු වන්නේ ය. දේව අණ නීතිය මායිම් කරන්නේ නැත. දේව කරුණාව ලැබෙන තෙක් හොඳ ය. දෙවියන් කෝප වුනොත් වැඩේ දෙල් ය.

මිනිසෙකු ජීවත් කළ යුතු ද නැද්ද යන්නත් මිනිසෙකු සිරේ දැමිය යුතු ද නැද්ද යන්නත් කෙනෙකුට දඩුවම් කළ යුතු ද නැද්ද යන්නත් ඒ දඩුවම කුමක් විය යුතු ද යන්නත් නීතියට අනුව නොව තම හිතුමතයට අනුව තීරණය කරන නායකයෙකු යටතේ සිටීමට මිනිසුන් කැමැත්තක් දැක්වීම තේරුම් ගැනීමට අමාරු කරුණකි.

බොහෝ දෙනෙකුට සිදු වන්නේ නීතියේ ආධිපත්‍ය පිහිටුවීම, නීතිය නායකයා අතට ගැනීම සමග පටලවා ගැනීම ය. එය එකක් නොව දෙකක් ලෙස දැකීමට බොහෝ මිනිසුන් අසමත් ය.

ඒකාධිපතිත්වයට පාර හැම විටම හමුදා කුමන්ත්‍රණයක් හරහා වැටී නැත. එය බොහෝ රටවල ඇති වූයේ මැතිවරණ ජයග්‍රහණවලින් විවෘත වූ දොරටු ඔස්සේ ය. ජනතා කැමැත්ත ඇතිව ය. බලයට පත් වූ පසු ජනතා කැමැත්ත බලෙන් පවත්වාගෙන යන ලද්දේ සිය බලය හා ජනතාවගෙන් මංකොල්ල කා ගත් ධනය භාවිතා කර ගෙන ය. අප පරිස්සම් විය යුත්තේ ඒ නිසා ය. ඒකාධීපතියන්ගේ පාලන සමයන් බොහෝ විට කෙටි නොවී ය. බලය යොදා බලය පවත්වාගෙන යෑම නිසා උන් එලවීම අපහසු ය. එපා වුව ද දරාගෙන සිටිය යුතු ය. උන් බදා වැළඳ ගැනීමට පොරොතුව අප නැවත නැවතත් සිතිය යුත්තේ ඒ නිසා ය.

ඒකාධිපතිත්වයට අත වනන බොහෝ දෙනෙකු එහි නියම රස දන්නේ නැත. එය නැවත ආපසු හැරවීම අමාරු යැයි දන්නේ ද නැත. ඔවුන්ගේ සිහින ලෝකය කඩා වැටෙන්නේ ඒකාධිපතිත්වය තමන්ගේ ගෙදර දොරකඩට පැමිණි දාට ය. එතෙක් ප්‍රශ්නය අනුන්ගේ ය. ඔවුන් ගින්දර පනින්නට සූදානම් වන්නේ එය තුළ නිවීම ඇතැයි සිතා ගෙන ය. එයින් පිච්චෙනවානම් ඒ අනුන් පමණකැයි සිතා ගෙන ය. ඒ නිසා ම ඔවුන් ඉන් වළක්වා ගැනිම අමාරු ය. ප්‍රශ්නය මේ පනින්න යන්නේ තනියම නොවීම ය. රටත් සමග වීම ය. අප නොපමාව අනතුර මේ යැයි දැක්විය යුත්තේ ඒ නිසා ය.

Advertisements

One thought on “ඒකාධිපතියෙකු ඕනෑ කර තිබේ

Leave a Reply

Fill in your details below or click an icon to log in:

WordPress.com Logo

You are commenting using your WordPress.com account. Log Out /  Change )

Google+ photo

You are commenting using your Google+ account. Log Out /  Change )

Twitter picture

You are commenting using your Twitter account. Log Out /  Change )

Facebook photo

You are commenting using your Facebook account. Log Out /  Change )

Connecting to %s