යුනිෆෝම් කරන්නට ගෙනා යුනිෆෝම්

school uniform

යුනිෆෝම් කියල නිල ඇඳුමටත් පාසල් ඇඳුමටත් යෙදෙන බව ඇත්ත ය. එහෙත් ඉංග්‍රීසි භාෂාවේ එය යෙදෙන්නේ එක වගේ කියන අර්ථය ද ඇතිව ය. හැම ම එකම ඇඳුමක් ඇඳීමෙන් සියලු පරතරයන් මැකී යනු ඇතැයි ද එයින් අපේක්ෂිත ය.

පාසල තුළ යුනිෆෝම් ඇති කළේත් පවත්වාගෙන යන්නේත් ඒ සඳහා යැයි කියවේ.පාස ල තුළ පරතරය නැති කළත් පාසල් අතර පරතරය පවත්වාගෙන යෑමට යුනිෆෝම් එක සියුම් ව යොදා ගැනේ. ඒ ටයි පටයක් හෝ ලාංඡනයක් එක් කිරීමෙනි. කොඩියක් මැහීමෙනි. අකුරු කීපයක් එකතු කිරීමෙනි.

එකම නිල ඇඳුම තුළ පවා පරතරයන් පවත්වා ගෙන යෑම සඳහා ඇඳුමේ සුළු වෙනස් කම් කිරීමට කටයුතු යොදා තිබේ. පොලීසියේ නම් දිලිසෙන තරු ද නානා මාදිලියේ පදක්කම් ද ඒ අතර යොදා ගෙන තිබේ. ඒ කියන්නේ යුනිෆෝම් යමක් අපේක්ෂා කළ ද එය යුනිෆෝම් විය යුතු නැති බව ය. ඒ තුළ ද සියුම් ලෙස ඕනෑ නම් පරතරය පවත්වා ගෙන යෑ හැකි බව ය.

ඇතැම් යුනිෆෝම් තියෙන්නේ බය කරන්නට ය. පොලීසියේ යුනිෆෝම් එක එවැනි එකකි. ශිෂ්‍ය නායක යුනිෆෝම් එක ද එවැන්නකි. යුනිෆෝම් එක සමානත්වය ඇති කිරීමට යොදා ගත්ත ද එය ම භය කිරීමට ද නැති පරතරයක් ඇති කිරීමට ද යොදා ගත හැකි බව එයින් කියවේ.

තවත් ඒවා තිබෙන්නේ හඳුනා ගන්නට ය. වෙන්කොට හඳුනාගන්නට ය. හෙද හෙදියන්ගේ ද සිරකරුවන්ගේ ද යුනිෆෝම් වලින් ද පාසල් දරු දැරියන්ගේ යුනිෆෝම්වලින් ද අපේක්ෂා කරන අමතර කාරණය එය ය. එය ඇඳ පැළඳ සිටින විට කිසියම් විනයක් ශික්ෂණයක් ඒ තුළින් රැකේ යැයි තවත් අපෙක්ෂාවක් ද එයට ම අමුණා තිබේ.
එහෙම බැලුවහම අරමුණු විවිධ ය. විෂම ය.

සිවුරද යුනිෆෝම් එකකි

ඒක එහෙම වුනාට යුනිෆෝම් අඳින එක කොට්ඨාෂයකින් ඒ අවසානයට කී විනය හා ශික්ෂණය යන අරමුණ ඒ විදිහටම ඉටු නොවන බව පෙනෙන්නට තිබේ.

ඒ බෞද්ධ භික්ෂූන් විෂයෙහි ය. ඔවුන්ගේ නිල ඇඳුම සිවුර ය. මෑතක සිට ඇතැම් භික්ෂූන් වහන්සේලා විසින් සිවුරු දරා ගෙන කරන විකාර වැඩ නිසා තවදුරටත් සිවුර විනය හා ශික්ෂණය ඇති කරන ඇඳුමක් ලෙස සැළකෙන්නේ නැත. ඇතැම් පාසල්වල ළමුන් යුනිෆෝම් පිටින් විකාර කිරීම පාසලට අප කීර්තියක් ගෙන එනවා වැනි ය. එහෙම බැලුවහම පාසල් ළමුන් හා පාරේ ජවුසං නටන ස්වාමීන් වහන්සේලා අතර එහෙමට වෙනසක් නැත. දෙගොල්ලන්ම සැළකිය හැක්කේ අඳ බාලයන් ලෙස ය.

බුද්ධ ශාසනයේ නිකාය කිහිපයකි. ඒ එක් එක් නිකායේ අනන්‍යතාවය පවත්වා ගැනීම සඳහා සිවුර අඳින ආකාරයේ වෙනස් කම් ඇති කර ගෙන තිබේ. එහෙම බැලුවහම යුනිෆෝම් ඇන්ඳත් අද දවසේ බුද්ධ ශාසනය පවා යුනිෆෝම් නැත. ඒ කියන්නේ එකම සිවුර තුළ සියුම් ලෙස පරතරය රිංගවා ඇති බව ය. වැඩවසම් කුලය ප්‍රකාශයට පත් වන බව ය.

භික්ෂූන් වහන්සේලාගේ යුනිෆෝම් එක ද පොලීසියේ යුනිෆෝම් එක තරමට ඇතැම් විට ඇතැම් තැනක ඊටත් වඩා රැස්පොට් ඇති එකකි. ඒ කියන්නේ එය ගෞරවය ඉල්ලා කෑ මොර දෙන එකක් බව ය.
ගෞරවය පමණක් නම් මදෑ. තව බොහෝ දේ ඒ යුනිෆෝම් වෙනුවෙන් ලබා දෙන ලෙස කරන බලපෑම් අපට දක්නට ලැබේ. ඒ සඳහා මිනිසුන්ගේ ආගමික භක්තිය මෙහි දී අමු අමුවේ යොදා ගැනේ. ඒ කෑ ගැසීම ඉදිරියේ ඇතැම් විට පොලීසිය ද අධිකරණය ද ඇඹරෙන්නේ ඒ නිසා ය. නීතිය නැමෙන්නේ ඒ නිසා ය.

යුනිෆෝම් එකේ එක් අරමුණක් වන්නේ ශික්ෂණය ඇති කිරීම ය. පාසල් නිල ඇඳුම ඇඳගත් විට චර්යාවේ වෙනසක් ඇති කර ගැනීමට අඳින තැනැත්තාට සිදු වේ. නැතිනම් පාසලට එයින් අගෞරවයක් ලැබෙන නිසා ය. එපමණක් නොවේ. ඒ ඇඳුම ඇඳගෙන යම් යම් දේ කිරීමට සමාජ අවසරයක් නැති නිසා ය. එවන් තැනක සමාජය මැදිහත් වීමට ඉඩ ඇති නිසා ය.

උදාහරණයක් ලෙස පොලීසියේ යුනිෆෝම් එක ඇඳගත් කෙනෙකු යම් වැරැද්දක් කරන විට එය සමාජයට දෙගුණයක් බරපතල වී දැනෙන්නේ ය. එය අදාළ නැත්තේ භික්ෂූන් වහන්සේලාට පමණක් යැයි හිතෙන තරමට පහුගිය දිනවල තත්වය පිරිහී තිබුනේ ය. එසේ හිතුනේ සිවුරට නොගැලපෙන වැඩ කරන භික්ෂූන් වහන්සේලාට සමාජයෙන් ඒ හැටි විරෝධයක් නොනැගුනු නිසා ය. නොනැගෙන නිසා ය.

දේශපාලනඥයින්ගේ යුනිෆෝම්

දේශපාලකයන්ට යුනිෆෝම් නැත. එහෙම බැලුවහම බලය තිබිය දීත් යුනිෆෝම් නැතිවම අසීමිත නිදහසක් භුක්ති විඳින්නේ ඔවුන් යැයි කිව හැකි ය. කවරෙකු විසින් වත් නියෝග කර ඇඳිය යුතු යැයි නම් කළ යුනිෆෝම් නැතත් දේශපාලනඥයින් ද යුනිෆෝම් අඳින නිසා ඒ කතාවේ ඇත්තේ අර්ධ සත්‍යයක් පමණ ය. දේශපාලනඥයින්ගේ යුනිෆෝම් එක වෙන හැම යුනිෆෝම් එකකට ම වඩා වෙනස් ය. ඇඳගෙන ඉන්න එක පහසු ය. සෙසු පහසුකම් අතර ඒ පහසුකම ද අත් විඳීමට ක්‍රමයක් ඔවුන් විසින් සාදා ගෙන ඇත.
දේශපාලනඥයින් යුනිෆෝම් එක ලෙස සරම හා බැනියම ඇන්දත් ඒ සරමත් බැනියමත් සෙසු මිනිසුන් අඳින කවර හෝ ඇඳුමකට වඩා වෙනස් ය. මිනිස්සු ආදරේට ඒ යුනිෆෝම් එකට කියන්නේ කපටි සූට් එක කියා ය. එහි ටියුනික් කොලර් එකක් ද තිබේ. දේශපාලකයන්ගේ ආරක්ෂකයින්ට ද ටියුනික් කොලර් සහිත නිල ඇඳුමක් තිබේ. එහෙත් වෙනසකට ඇත්තේ උඩ සුදු වුනාට ඔවුන්ගේ යට සරමක් වෙනුවට කලිසමක් තිබීමත් එය කළුම කළු පාට වීමත් ය. උඩින් සුදටත් යටින් අඟුරු කළු පාටටත් ඇඳීමෙන් කිසිවක් කියවෙනවා යැයි කියන්නට කවුරුවත් ඉක්මන් විය යුතු නැත.

එහෙම බැලුවහම දේශපාලනඥයෝ තමන්ගේ ආරක්ෂකයින්ට වඩා සුදු ය. ඇත්තටම ඒ අයගේ ඇඳුම සුදට සුදේ බබලන එකකි. ඇතුළේ ඇත්තේ ගඳ ගහන ජරාව වුනාට එලියට පෙනෙන්නේ බැබලෙන සුද ය. සිල් ගන්නා ඇතැම් උපාසික උපාසිකාවන් වගේ ය. සුද එලියට විතර ය.

සමහරු නම් කියන්නේ ජනතා ඡන්දය වැඩිපුර ලැබෙන්නේ ජාතික ඇඳුම ඇඳගත් දේශපාලනඥයන්ට නිසා බොහෝ දේශපාලනඥයින් මේ ඇඳුම තෝරාගෙන ඇති බව ය. සරම බැනියම නොඅඳින පිරිමි කිසිවෙකු තවම මේ රටේ ජනාධිපති පදවියට පත් ව නැත.

එක කාලයක සරමට තිබුණ සැලකිල්ල බැලුවහම මේ කාරණය හරි හැටි තේරුම් ගැනීම පහසු නැත. ඒ කාලයේ සරම අඳින කොල්ලෙකුට කෙල්ලෙකුවත් කැමති වූයේ නැත. එහෙම අමනාපයක් තිබිය දි සරම අඳින දේශපාලනඥයන්ට ම ජනතා මනාපය හිමිවීමත් ඔවුන්ට මිනිසුන්ගේ පමණක් නොව ගෑණුන්ගේ පවා සුවිශේෂ මනාපය හිමි වීමත් තේරුම් ගැනීම අමාරු ප්‍රහෙලිකාවකි.

මේ සියල්ල සිදු වන්නේ සරම් අඳින මාමාලා ගම්වල පවා දුලබ දර්ශනයක් වෙමින් තියෙන වකවානුවක ය. සරම අඳින දේශපාලනඥයින් මාමාලා ලෙස ගමේ උදවිය පිළිගන්නේ කලිසම් අඳින නගරයේ වෙසෙන්නන් අංකල් වෙන අතරේ ය.

ගමේ බයියලා සරම් අඳින අතීත මාමලාට ඡන්දය දෙන අතරේ නගරයේ කලිසම් අඳින ඇතැම් ගැටව් ද තවමත් ආදරේ ගමේ නැති සරම් අඳින මාමාලාට වීම පුදුම ය. ඒ නගරයේ අද ජීවත්වෙන බහුතරයේ මුල් තියෙන්නේ තාමත් ගමේ නිසා ය.

ඡන්දය දිනන්නට කලිසම ගැලවීම

සරම් අඳින මහින්ද පරදන්නට කලිසම් අඳින රනිල්ට බැරි වන විට සරම් අඳින රජරට පුත්‍රයෙක් විපක්ෂය විසින් ආනයනය කරන්නට යෙදුනේ ඒ නිසා ය.

ගෝඨාභයට 2020 දී ජනපති වරණයට ඉදිරිපත් වන්නට ඇති එක් තහංචියක් නීතිය ය. ඒ ඔහු ඇමරිකානු පුරවැසි භාවය ද ඇති ද්විත්ව පුරවැසියෙකු නිසා ය. එයින් අයින් වුව ද තව කඩ ඉමක් ජය ගන්නට ඔහුට සිදු වේ. ඒ ඔහුගේ කලිසම ය. එය ගලවන්නේ නැතිව රටේ ජනතාව දිනා ගැනීම නම් අභියෝගයක් බව කිව යුතු ය.
මේ විදිහට බලාගෙන යන විට යුනිෆෝම් එකේ අලකලංචි ගොඩකි.

විධිමත් පුද්ගලික අංශයේ ද නීති ගත නොවුනු සම්මුතියකට පැමිණි යුනිෆෝම් එකක් තිබුනේ ය. ඒ යුරෝපයේ අඳින විධිමත් ඇඳුම ය. ටයි පටියක් අත් දිග කමිසයක් සහ දිග කලිසමකින් එය සමන්විත විය. එකම වෙනසකට තිබුනේ කමිසයේ, කලිසමේ හෝ ටයි පටියේ පාට පිළිබඳ එහෙමට නියමයක් බොහෝ තැන්වල නොතිබීම ය. ඇතැම් තැනක ටයි පටිය ආයතනයේ අනන්‍යතාවය ඇති කළ අතර තවත් තැනක කමිසයට එකතු වුනු ලාංඡනයක් ඒ වෙනුවෙන් පෙනී සිටියේ ය.

මෙසේ එකම ඇඳුමකට කොටු කිරීම පසු කලෙක නිර්මාණශීලිත්වයට බාධාවක් ලෙස ගණන් ගැණුනු අතර සිකුරාදා දිනවල නිදහස් ඇඳුමක් ඇඳීමට ඒ අනුව පුද්ගලික අංශය තුළ අවසර ලැබුණේ ය.

පුද්ගලික අංශයේ යුනිෆෝම් එක

ඒ අනුව යුනිෆෝම් එකට මුල්ම අභියෝගය එල්ල කළේ කවදත් නවොත්පාදනයේ නියමුවා වන පුද්ගලික අංශය ය. ඒ වෙඩි මුරය සෙසු ආයතන හා මිනිසුන් සෙලවූයේ මඳ වශයෙනි. අදටත් තව තවත් රජයේ ආයතන මෙතෙක් යුනිෆෝම් නොතිබූ රජයේ ආයතන ද ඇතුළුව යුනිෆෝම් සංකල්පය බදා ගෙන සිටිනු ද බදාගන්නට තතනන අයුරු ද පෙනෙන්නට තිබෙන්නේ ඊට ප්‍රතිපක්ෂව යමිනි.

මේ යුනිෆෝම් සංස්කෘතිය විසින් මනසට ඇතුළු කරන මතවාද කීපයක් තිබේ. පළමුවැන්න, සැවොම සමාන විය යුතු බව ය. එසේ කියන විට අනිත් අතින් කියවෙන්නේ වෙනස්කම් නොඉවසිය යුතු බව ය. වෙනස්කම් වලට ඉඩක් නැති බව ය. දෙවැන්න, පුද්ගලිකත්වය ප්‍රකාශ කිරීම වැදගත් කොට නොසළකන බව ය. තමන් අයත් කණ්ඩායම තුළ තමන් කිඳී ගිලී සිටිය යුතු බව ය. වෙනම මතු නොවිය යුතු බව ය. තුන්වැන්න, ආයතනය තුළ අන් සියල්ලට ඉහලින් විනය විරාජමාන වන බව ය. නිර්මාණශීලිත්වය, දක්ෂතාවය, කැප වීම යන සියල්ල විනයට වඩා පහලින් තැබෙන බව ය.

මාඕ සේතුංගේ චීනය යුනිෆෝම් සංස්කෘතිය සඳහා දිය හැකි හොඳම උදාහරණයකි. සංස්කෘතික විප්ලවයෙන් පසු සැමටම අඳින්නට සිදු වුනේ එකම ඇඳුමකි. ඒ තුළ රජයට, පක්ෂයට හා නායකයාට පක්ෂපාතිත්වය පෙන්වීමට මිනිසුන්ට බල කරන ලද්දේ ය. එය කොතරම් ඒකාකාරී ද යන වග ඒ කාලයේ චීන ඡයාරූප දුටු විට දැක ගත හැකි ය. ඩෙන්සියා ඕ පෙන්ග් යටතේ ප්‍රතිසංස්කරණය වූ චීනය ඒ නිල ඇඳුම පසෙකලා ජනතාවට කැමති ඇඳුමක් ඇඳීමේ නිදහස පිරි නැමුවේ ය. දැන් චීන ජනාධිපති අඳින්නේ ටයි කෝට් ය.

යටත් වීම අපේක්ෂා කරන හැම තැනකම යුනිෆෝම් එකට සුවිශේෂී තැනක් හිමි වන්නේ ය.
ඇතැම් සරසවියක වසරක් පුරා පැවැත්වෙන නවක වද කාල සීමාව තුළ නවකයන්ට ජේෂ්ඨ උත්තමයන් විසින් නියම කරනු ලබන “නිල ඇඳුමක්“ ඇඳීමට සිදු වන්නේ ද ඒ අනුව ය.

මේ ඒකාකාරි යුනිෆෝම් එක තුළ වෙනසකට ඉඩ නැතැයි සිතුව ද ඇත්තටම එය එසේ නොවේ. පාසලක වුව එකම නිල ඇඳුම ඇන්දේ වුව ද බැබලෙන සුදෙන් ද භාවිතාකරන රෙද්දේ වටිනාකමින් ද වෙනස මතු කර ගත හැකි ය. අවශ්‍ය වන්නේ මුදල් ය. අල්පේච්ඡ ජිවිතයක, හික්මුණු භාවිතයක, නිරූපනය වන භික්ෂූන් වහන්සේ අඳින සිවුර ද එවැනි වෙනස්කම් සහිත ය. සමහර සිවුරු බර ගණන් ය. බර කිලෝවලින් නොවේ. රුපියල් සත වලින් ය. එහෙම බැලුවහම යුනිෆෝම් එකෙන් අපේක්ෂා කරනවා යැයි කියන සමානාත්මතා මූලධර්මය හැර ඉතිරි ඒවා පමණක් සාක්ෂාත් වන බව නම් පෙනෙන්නේ ය.

වෙන ඕනෑම තැනක ඇති යුනිෆෝම්වලට වඩා භයානක පාසල තුළ පවතින යුනිෆෝම් එක ය. ඒ එයට ඇඳුම පැළඳුම පමණක් නොව සපත්තුව හා කොණ්ඩය ද අයිති වන බැවින් ම නොවේ. ඒ හරහා ඇති කරන අවසාන ප්‍රතිඵලයේ ශෝචනීයත්වය නිසා ය.

යුනිෆෝම් කිරීම සඳහා යුනිෆෝම් යොදා ගැනීම

කම්හලකින් එලියට දමන්නේ යුනිෆෝම් භාණ්ඩ ය. එකකට එකක් හරියට සමාන භාණ්ඩ ය. පාසලින් එලියට දමන්නේ ද එවැනි සමාන භාණ්ඩ නම් පාසල සැළකිය යුත්තේ ද පැක්ටරියක් හැටියට ය. පාසලට ඊට වඩා වෙනස් නිශ්පාදනයක් කරන්නට අවශ්‍ය නම් මේ යුනිෆෝම් මානසිකත්වයෙන් මිදිය යුතු ය.

ළමයෙකු වැඩිහිටියෙක් බවට පරිවර්තනයේ වැදගත් සන්ධිස්ථානයක් වන්නේ තමන් වෙනුවෙන් තීරණ ගැනීමට ඉදිරිපත් වීම ය. තමන්ගේ ඇඳුම පිළිබඳවවත් තීරණයක් ගැනීමට අපොහොසත් පරිසරයක ජිවත්විම ඔවුන්ගේ වැඩීම අඩාල කරන්නේ ය.

එක් එක් අයෙකුට හැඩ ගෙනෙන්නේ එක් එක් ඇඳුම ය. හැමෝටම ගැලපෙන එක ඇඳුමක් නැති තත්වයක එවැන්නක් තුළ සිසුන් කොටු කිරිමෙන් හානි වන්නේ ඔවුන්ගේ ස්වයං ප්‍රතිරූපයට ය. එය තමන් පිළිබඳ අභිමානයක් ඇති කර ගැනීමට බාධාවක් ද වෙයි.

අතීත ලෝකයට යුනිෆෝම් නිශ්පාදන ගැලපුනාට වත්මන් ලෝකයට අවශ්‍ය විවිධත්වය ය. එක් එක් පුද්ගලයාට තමන්ගේ අනන්‍ය ප්‍රකාශනයක් කළ හැකි තත්වයක් ඇති වන්නේ මේ විවිධත්වය පිලිගැනෙන වටපිටාවක ය. පාසලින් සමාජයට දායාද කළ යුත්තේ විවිධ කුසලතා ඇති විවිධ කටයුතු කළ හැකි විවිධ දැනුම ඇති මිනිසුන් ය. එහෙම නිශ්පාදනයක් කිරීමට නම් ඊට සරිලන ලෙස පාසල සකස් විය යුතු ය. ඒ තුළ පුද්ගල ප්‍රකාශනයට ඉඩ තිබිය යුතු ය. විවිධ මත ගැටීමට ඉඩ තිබිය යුතු ය. විවිධ කෝණයන්ගෙන් බැලීමට ඉඩ තිබිය යුතු ය. එහි නිශ්පාදන සමාජයේ විිවිධ තැන් වල විවිධ දේ කිරීමට හැකි විවිධත්වයෙන් යුක්ත ඒවා විය යුතු ය. ඒ සඳහා මනස සකස් කිරීමට කළ හැකි එක් කටයුත්තක් නම් පාසල තුළ යුනිෆෝම් මානසිකත්වය ඉවත් කිරීම ය. අඩු වශයෙන් සතියේ එක් දිනකවත් කැමති ඇඳුමකින් සැරසී පාසලට පැමිණිමට අවස්ථාව ලබා දීම ය.

මෙවැනි අදහසකට විරුද්ධවන්නට ඕනෑ තරම් මිනිස්සු සිටිති. පුංචි හෝ වෙනසකට ඔවුන් බිය ය. එවැන්නකින් සමස්ත සමාජය අස්ථාවර වෙතැයි ඔවුන් බිය ය. කාන්තාවට මත් පැන් මිලට ගන්නට අවසර දුන් විට ඊළග සතියේ වෙරි මතින් පාරේ වැටී සිටින කාන්තාවන් ඔවුන්ට සිහිනයෙන් පෙනෙන තරමට ඔවුන් බිය ය. ඒ නිසා ම පාසල් සිසුන් සම්බන්ධයෙන් දෙන නිදහසෙන් උල්පන්දම් ලැබී පිස්සු කෙළින ළමුන් ද මෙවැන්නක ආරංචියෙන් ම ඔවුන්ට සිහිනයෙන් පෙනෙන්නට පටන් ගනු ඇත. ප්‍රශ්නය ඇත්තේ අවදානම් ගැනීමට ඇති බිය නිසා අපට කළ යුතු ව තිබෙන වෙනස් කම් කිරීමට නොහැකි වීම ය. අවශ්‍ය නම් ආපස්සට හැර විය හැකි තීන්දු පවා ගැනීමට මේ නිසා අප පසුබට වීම ය.

ඇතැම් රටවල පාසල් ලමුන්ට තමන් කැමති ඇඳුමක් ඇඳීමේ නිදහස ඇතැයි කීව ද මේ බිය මැඩලීමට එය ප්‍රමාණවත් වන්නේ නැත. පරම්පරා ගණනාවක් තිස්සේ කරන්නට පුරුදු වූ යමක් එසේ ලෙහෙසියෙන් ඉවත් කිිරීමට හිත හදා ගැනීමට අපට බැරි ය. එහෙත් මේ ගැන ප්‍රමාණවත් සංවාදයක් ඇති කිරීමට එය බාධාවක් නොවිය යුතු ය. මේ ලිපියේ අදහස එවැන්නක් ඇරඹීම ය.

Leave a Reply

Fill in your details below or click an icon to log in:

WordPress.com Logo

You are commenting using your WordPress.com account. Log Out /  Change )

Google photo

You are commenting using your Google account. Log Out /  Change )

Twitter picture

You are commenting using your Twitter account. Log Out /  Change )

Facebook photo

You are commenting using your Facebook account. Log Out /  Change )

Connecting to %s