වැඳීම හා කොඳු නැවීම

mangala-samarawira-1

මංගල සමරවීර අපූරු මිනිසෙකි. ඔහු පහුගිය දිනක ඔහු ඉදිරියේ ශිෂ්‍ය නායිකාවකට වඳින්නට සැලැස්වීම ගැන කම්පාවෙන් කතා කළේ ය. එය උඩු ගං බලා යෑම කි. දේශපානඥයෙක් පැත්තක තිබිය දී ඡන්ද අපේක්ෂා නොකරන නිකම් ම නිකම් මිනිහෙක් පවා නොකරන වැඩකි. ජාතියත් ආගමත් විකුණා ගෙන කෑම ජිවිතය කර ගත් කිසිදු දේශපාලනඥයෙක් නම් කොහෙත්ම නොකරන වැඩකි. ඔහු ඒ වැඩේ කළ හැටි ඔහුගේ ම වචන වලින් අසා සිටිමු. මේ ඒ කතාව ගැන පළ වූ ප්‍රවෘත්තියකින් උපුටා ගත්තකි.

‘‘කෘෂි කාර්මික, කාර්මික, තාක්ෂණික විප්ලව ගැන අපි අහල තියෙනවා. දැන් කතා කරන්නෙ ඩිජිටල් විප්ලවය ගැන. ඊට සරිලන තරුණ පරපුරක් නිර්මාණය කිරීම අපේ අරමුණයි. කෘතිම බුද්ධිය ගැන කතා කරන යුගයක් අප ඉදිරියේ තියෙන්නේ. 2030 වෙනකොට ගණකාධිකාරීවරුන්ගේ කටයුතු සම්පූර්ණයෙන් ම තාක්ෂණය විසින් භාර ගන්නවා. 2025 වෙද්දි රියදුරන් නැති වාහන බිහිවෙන ලක්ෂණ පහළ වෙලා තියෙනවා.

2014 අයවැයෙන් මේ රටේ අධ්‍යාපනය වෙනුවෙන් වෙන් කරල තිබුණෙ රුපියල් බිලියන 196කට ටිකක් අඩුවෙන්. 2018 අයවැයෙන් අපි අධ්‍යාපන වෙනුවෙන් රුපියල් බිලියන 333ක් විතර වෙන් කරල තියෙනවා. අධ්‍යාපනය වෙනුවෙන් අපි කටයුතු කරන්නේ ඒ ආකාරයට.

මම උදේ මෙතනට ආවම ශිෂ්‍ය නායිකාවක් වෙන්න ඇති මට බුලත් අතක් දීල වැන්ද. මම විශ්වාස කරන හැටියට මෙය සිදු නොවිය යුත්තක්. බලය ඉදිරියේ අපි කාටවත් නැමෙන්න ඕනෙ නෑ. තමන්ගෙ ආගමේ ශාස්තෘවරුන්ට වඳින්න, පූජ්‍ය පක්ෂයට වඳින්න, මවට පියාට වඳින්න, ගුරුවරුන්ට වඳින්න. ඒ ඇති. මෙතනට ප්‍රාදේශීය සභාවේ සභාපති ආවත් වඳිනවා, මන්ත්‍රී ආවත් වඳිනවා, කැබිනට් ඇමැති ආවත් වඳිනවා. මම ගෙදර ගිහින් මොන විදිහේ නීති විරෝධී වැඩ කරනව ද කියල ඔයාල කොහොම ද දන්නෙ? ඒ නිසා ගරුකරන කෙනෙකුට ගරු කරන්න. කොන්ද කෙලින් තියාගෙන වැඩ කරන්න පුළුවන් සමාජයක් බිහි කරන්නයි අපට ඕනෙ.“ යැයි ද අමාත්‍යවරයා පැවැසීය.

වැඳුම් ගැනීමෙන් නොනැවතී දරුවන් ලවා ශ්සෝත්‍ර ද ගායනා කරවා ගත් දේශපාලනඥයින් සිටි රටක, එසේ කරවා ගැනීමට හීන බලමින් තවත් බොහෝ දෙනෙකු පෝලිමේ ඉන්නා රටක, මෙය නොගැලපෙන වැඩකි.

සංස්කෘතියේ ආරක්ෂකයන්

සංස්කෘතියේ ආරක්ෂකයින් ද මේ කතාවට උරණ නොවී ඉන්නා එකක් නැත. ඒ තරමට දණ බිම ඔබා වැඳ වැටීම සංස්කෘතික අංගයක් කර තිබේ. එය එන්න එන්න ම වැඩිවෙනවා විනා අඩුවන පාටක් නැති රටක මේ නම් විශ්මය ජනක මැදිහත් වීමකි. එය වෙනත් කෙනෙකු නොව ඡන්ද අපේක්ෂාවෙන් සිටිනා දේශපාලනඥයෙකු විසින් කරන විට වඩාත් විශ්මය ජනක වන වැඩකි.

හේතුව පැහැදිලි ය. සංස්කෘතික අගයන් කොයි තරම් යල් පන ගිය ද ඒවා වෙනස් කරන්නට, තඹයකුදු වෙනස් කරන්නට, මේ රටේ වරමක් නැත. එසේ තැත් කරන අයට එරෙහිව අලවන ලේබල් ද තර්ජන කිරීම සඳහා භාවිතා කරන පදවැල් ද අඩුවක් නැත.

කාන්තාවන්ට මත් පැන් මිල දී ගැනීමටත් විකිණීමටත් පනවා තිබූ නීති ඉවත දැම්මේ ද මංගල ය.

ඒ අවස්ථාවේ ඊට විරුද්ධව කතා කිරීමට ජනතා විමුක්ති පෙරමුණ පවා ඉදිරිපත් වුනේ ඡන්ද අපේක්ෂාව නිසා ය. කාන්තාව හා මත්පැන් යන මැයෙන් අප ලිවූ මේ කොළමේ ඒ පිළිබඳව සවිස්තරාත්මක විමසුමක් අපි කළෙමු. ඒ ජනතා විමුක්ති පෙරමුණේ ප්‍රචාරක ලේකම් විජිත හේරත් සහෝදරයාගේ මතයක් ද උපුටා දක්වමින් ය. මේ අවස්ථාවේ ඒ ගැන නැවත සඳහන් කිරීමට අපට සිදු වන්නේ මේ සියල්ල එකම පණිවුඩයක් අපට කියන නිසා ය. එදා අපි මෙසේ ලීවෙමු.

“සංස්කෘතිය රැක ගැනීමට අවශ්‍ය වන ප්‍රමාණයට වත් කාන්තාවන්ට හා පුරුෂයන්ට ලිංගිකත්වය මත පදනම් ව වෙනස් නීති පැනවිම අනුමත කිරීමට, තමන්ට හා තම පක්ෂයට සිදු වන බව ඔහු සපථ කොට කියන්නේ ය.

“ලංකාවේ සංස්කෘතිය, ආගමික වටපිටාව, ආසියාතික වැඩවසම් සමාජ ක්‍රමය තුළ යුරෝපයේ තියෙන දේවල් ඒ විදියටම කරන්න යාම සමාජය තුළ ගැටලු, අර්බුද මතුවෙන එකක්,” විජිත හේරත් මැතිතුමා තවදුරටත් කියා සිටින්නේ ය.

“සමාජ සාධාරණත්වය සහ මාක්ස්වාදය විශ්වාස කරන පක්ෂයක් වැඩවසම් සමාජ ක්‍රමයට අනුබල දෙන්නේ කෙසේ දැයි විමසූ අවස්ථාවේ මන්ත්‍රීවරයා කියා සිටියේ, පවතින වැඩවසම් ක්‍රමය “ක්‍රමානුකූලව පියවරෙන් පියවරට වෙනස් වෙමින්” පවතින බැවින් “චීනයේ සංස්කෘතික විප්ලවය සිදු කළ ආකාරයට,” කටයුතු කිරීමේ හැකියාවක් නොමැති බවය.“

විප්ලවවාදීන්ට බැරි වූ විප්ලවය

වැඩවසම් වූවත් සංස්කෘතිය, සංස්කෘතිය ම බව එයින් තවදුරටත් කියවෙන්නේ ය. එයට අත තැබීමට රටේ ඉදිරියෙන් සිටිනා “විප්ලවවාදී“ පක්ෂයකට වුව බැරි බව ද එයින් පැවසෙන්නේ ය.

මංගල කාන්තාවන්ට වෙනස් කම් කළ ඒ මත්පැන් නීතිය ඉවත දමන විට ඒ හරහා තමන්ට එල්ල විය හැකි විරෝධය ඉවත දැම්මේ ය. බියර් මිල පහළ දැමීම සම්බන්ධයෙන් ද ඔහු නොබියව සිය අමාත්‍ය පදවිය මෙහෙය වූයේ ජාතිය ආගම සංස්කෘතිය වැනි දේශපාලන වෙළඳ පොළේ අලෙවි වන සිල්ලර සංකල්ප එකක් වත් තුට්ටුවකට මායිම් නොකරමිනි. මේ හැම තැනක දී ම ඔහු නිවැරදි වූවා පමණක් නොව අභීත ද විය.

ලංකාවට නැත්තේ එවැනි නායකයින් ය. අප රටේ සිටි හා සිටින බොහෝ නායකයින් කළේ මිනිස්සුන්ගේ මූණිච්චාවට බොරුව හා වැරැද්ද සමාජ ගත කිරීම ය. ඒවාට එරෙහිව අභීතව නැගී සිටි මිනිසුන්ට හිරිහැර කිරීම ය. ඔවුන්ට ලේබල් ඇලවීම ය. ජාතියේත් ආගමේත් බොරු ආරක්ෂකයින් වීම ය. ඒ හරහා ඡන්ද ගොඩ වැඩි කර ගැනීම ය. අප මංගලගේ මේ අභීත භූමිකාව දෙස සෙනෙහසින් බලන්නේ ඒ නිසා ය.

දැන් මේ වැඳීමේ කාරණය දෙස බලමු. එය කොතරම් බරපතල ලෙස පැතිරී තිබේ දැයි පළමුව බලමු.

වසංගතයක් ලෙස පැතිරී යෑම

අප කුඩා කාලයේ අපේ ගුරුවර ගුරුවරියන්ට වැන්දේ සිංහල අවුරුද්දට හා වසර අවසානයේ සමුගන්නා විට පමණ ය. එහෙත් දැන් දරුවන්ට දකින දකින තැන ගුරුවර ගුරුවරියන්ට වැඳීමට උගන්වා තිබේ. ඔවුන් ලවා දේශපාලනඥයන් හා තවත් බොහෝ අයට වන්දවනු ද ලැබේ.

අප වැඩිහිටි නෑදෑයින්ට වැන්දේ සිංහල අවුරුදු දා ය. ඒ ගෙවුණු වසරේ අප අතින් යම් වැරැද්දක් වූයේ නම් එය සමා කර ගැනීමේ චාරිත්‍රය ඉටු කරනු සඳහා ය. දැන් එය සාමාන්‍ය කරණය වී තිබේ. වැඳිම කාර්යාල වලට ද බෝවී තිබේ. ඒ බොස්ට වැඳීම දක්වා ය.

මෑතක දී ගුරුවරියක ලවා වන්දවා ගත්තේ ප්‍රධාන අමාත්‍යවරයෙකි. ඒ බලහාත්කාරයෙනි. ඒ තමන්ගේ අණ පිළිනොපැදීමට සමාව ගැනීමක් ලෙස සංකේතවත් කරන්නට ය. එයින් පෙනෙන්නේ බලය වැඳීම තුළ අතිශය ප්‍රබල සාධකයක් ලෙස පවතින බව ය.

දැනට වසර කීපයකට පෙර ශිෂ්‍යත්වය ඉහළින් සමත් වූ දරුවන් කීප දෙනෙකු අධ්‍යාපන ඇමතිවරයා විසින් සිය කාර්යාලයට කැඳවනු ලැබුවේ ඔවුන්ගේ ඉහළ සාමාර්ථය අගැයීමට තෑගි ප්‍රදානය කිරීමට ය. සෙසු සියලු දරුවන් ඇමති ඉදිරියේ දණ ගසා වැඳ තාග්‍ය ලබා ගත් නමුත් එක දරුවෙකු එසේ කිරීම ප්‍රතික්ෂේප කළේ ය. ඒ ගැන මහත් ආන්දෝලනයක් ඇතිවුනා මතක ය. එහි උණුසුම යන්නට මත්තෙන් විභාග කොමසාරිස් හැටියට පත් වීම් ලැබූ එක් මහතෙක් ඒ පත්වීම ලබා ගැනීමේ පැවති උත්සවයේ දී අප කලින් සඳහන් කළ ඇමති තුමා ඉදිරියේ ම දණගසා වැඳ පත්වීම ලබා ගත් බව වාර්ථා විය. දෙවැනි වැඳීමට හේතුව ඇමතිතුමා ඔහුගේ ගුරුවරයෙකු ලෙස ක්‍රියාකර තිබූ නිසා බව පසුව ආරංචි විය.

ආදර්ශ දෙකක්

විභාගය සමත් වී ඒ වෙනුවෙන් තෑගි ලද දරුවෙකු වැඳීම ප්‍රතික්ෂේප කරද්දී ඒ විභාගය ඇතුළු තවත් බොහෝ විභාග බාර ගන්නට ඉදිරිපත් වූ නිලධාරියෙකු තම පත්වීම් ලිපිය පිළිගනිද්දී වැඳ වැටීම දෛවයේ සරදමක් ම විය.

වැඳුම් ලැබිය යුතු කෙනෙකුට වැඳීමේ අයහපතක් නැත. ඒ තුළ අප වඩාත් නිහතමානී වන නිසා ය. වැඳිය යුත්තේ උතුම් ගුණයකට ය. තනතුරකට නොවේ. අපට තෑග්ගක් හෝ සහතිකයක් දෙන නිසා නොවේ. පත්වීමේ ලිපියක් දෙන නිසා නොවේ. වැඳුම එවැනි හැම කෙනෙකුටම පුදා එහි ප්‍රබලත්වය බිඳ හෙලීම ම අපරාධයකි.

මේ හැම එකකින් ම පෙනී යන්නේ වැඳීම අප හිතන තරම් අහිංසක ම නැති බව ය. ඒ ගැන විවිධ අර්ථ කථනයන් කළ හැකි බව ය. මේ විෂයෙහිලා අප පරිස්සම් විය යුතු බව ය. සුදුසු නම් මිස එය ආවාට ගියාට කළ යුතු නැති බව ය. එය තැන නොතැන නොබලා කළ යුතු නැති බව ය. එය නොකර සිටිමෙන් කරන අවැඩට වඩා අවැඩක් එය නුසුදුසු ලෙස කිරීමෙන් ඇති විය හැකි බව ය.

ආචාර කිරීම එකකි. වැඳිම තව එකකි. දෑත් එක්කොට ආයුබෝවන් යැයි අප කියන විට එසේ ආමන්ත්‍රණය කරනු ලබන්නා ද දෑත් එක්කොට අපට ප්‍රතිචාර දක්වන්නේ නිව්ටන්ගේ තුන්වෙනි නියමයට අනුව ක්‍රියාවට සමාන ප්‍රතික්‍රියාවක් දක්වමින් ය. වැඳීම එසේ නොවේ. නැමෙන්නේ එක් කෙනෙකි. අනෙකා ප්‍රතිචාර දක්වන්නේ එය පිළිගත්තා කියා ය. ප්‍රශ්නය ඇත්තේ එතැන ය.

මේ තුළ පරතරයක් නිර්මාණය වීම ය.

නිර්මාණය වන පරතරය

වැඳ වැටුනු පසු එසේ වන්දනා කළ පුද්ගලයාට එරෙහිව යන්නට බැරිව යයි. වැඳුම් ලැබූ තැනැත්තා වැන්ද තැනැත්තා වෙතින් යටහත් පහත් භාවය අපේක්ෂා කරයි. එවැනි සම්බන්ධයක දී විවෘත සංවාදයකට ඉඩ නැතිව යයි.

වැඳීම මෙසේ ප්‍රචලිත වෙන අතර තවත් දෙයක් ඒ හා සමාන්තරව ප්‍රචලිත වීය. ඒ අයියා අක්කා නංගී මල්ලී පුතා දුව ලෙස කරන ආමන්ත්‍රණයන් ය. එහි දී සිදුවන්නේ ද මීට සමාන දෙයකි.

සරසවියේ අප උගන්නා කාලයේ අපට වඩා වසර කීපයක් ජේෂ්ඨ අයටත් අපට වඩා වසර කීපයක් කනිෂ්ඨ අයටත් මචං කියා අමතන පුරුද්දක් අපට තිබුණි. පාසල තුළ පවා තත්වය බොහෝ දුරට එසේ විය.

එහෙත් දැන් මේ ආයතන දෙකේම ජේෂ්ඨයන් අමතනු ලබන්නේ අයියා හෝ අක්කා යන ගෞරව නාමයෙනි. එතකොට ඉතිරිවන අය ඉබේම මල්ලිලා හා නංගිලා වෙයි.

මේ ආමන්ත්‍රණ රටාව දැන් බොහෝ ආයතනවල ද දැක ගත හැකි ය.

මතුපිටට යටින් දිවෙන යථාව

බැලූ බැල්මට මේ අලුත් විදිහ යහපත් ය. යම් බැදීමක් වගකීමක් ඒ හරහා ඇතිවන නිසා ය. පවුලක තිබෙන සම්බන්ධය එයින් ඇගවෙන නිසා ය. එහෙත් ව්‍යවහාරයේදී මේ බැදීමට යටින් පුංචි පරතරයක් පවත්වා ගෙන යාමේ වුවමනාවක් ද යටහත් පහත් භාවයක අපේක්ෂාවක් ද දැකිය හැකි ය.

අයියාත් අක්කාත් මල්ලීට හා නංගීට වඩා බලවත් ය. වයසින් වැඩි ය. ගරු කටයුතු ය.

අයියලාත් අක්කාලාත් කියන පරිදි ඔවුන්ගේ ඔවදන්වලට අවනත වෙමින් වැඩ කිරීම මල්ලිලාගෙනුත් නංගිලාගෙනුත් අපේක්ෂිත ය. වැඩේ දෙල්වෙන්නේ මේ හැගීම ඔලුවට වැටුන විට ය.

නංගිලා මල්ලිලාගේ අඩුපාඩු තමන් විසින් හැදිය යුත්තේය යන වගකීමත් ඔලුවට ගත් විට සියල්ල ජේෂ්ඨත්වයේ පාලනයට යටත් ය.

අක්කාටත් අයියාටත් තැන ලබා දී ඔවුන් කියන්නක් කර ගෙන ඉන්නට පුරුදුවීම හැර වෙනයමක් නංගිලාටත් මල්ලිලාටත් ඉතිරි නොවේ.

මෙය හැමගේ දායකත්වයට එක සමාන ඉඩ හසරක් සහිත ආයතනික වටපිටාවක් ඇති කිරීමට ද, වඩා දක්ෂතා පෙන්වන අයට වඩා ඉදිරියට යන්නට හැකි වටපිටාවක් ඇති කිරීමට ද, එරෙහිව යයි.

ඒ සබඳතාවය ඒ නිසාම ආයතනය තවත් පැරණි නින්ද ගමක තත්වයට පිරිහෙලයි.

එරෙහි විය යුත්තේ ඇයි?

වැඳීම හා මේ සම්ප්‍රදායික ආමන්ත්‍රණවලට අප එරෙහි විය යුත්තේ ඒවා පැරණි නිසා නොවේ. ඒවා ඇතැම්හු විසින් මැණිකක් රකින නා රජවරු මෙන් රකින නිසා ම එයට එරෙහි වීම සඳහා ද නොවේ. උඩුගං බලා පිහිනා පොරවල් වීමට ද නොවේ. ඒවා විසින් ඇති කරන සමස්ත ප්‍රතිඵලය නරක නිසා ය.

මංගල සමරවීර ඇමතිතුමා නගන ප්‍රශ්නය මේ වඳින්නේ මා කවුරුදැයි හරියට දැන ගෙන ද කියා ය. එතුමා එයින් අනියමින් කියන්නේ ආවාට ගියාට හැම කෙනෙකුටම වැඳීමෙන් වැඳීමේ ගෞරවය පිරිනොහලන ලෙස ය. එය පිදිය යුත්තන්නට පමණක් පුදන දෙයක් ලෙස සුරකින ලෙස ය.

එතුමා පිදිය යුත්තන් නම් කරන්නට ද පසුබට නොවෙයි. “තමන්ගෙ ආගමේ ශාස්තෘවරුන්ට වඳින්න, පූජ්‍ය පක්ෂයට වඳින්න, මවට පියාට වඳින්න, ගුරුවරුන්ට වඳින්න. ඒ ඇති.“ මා නම් කැමති ඇමතිවරයාට වඩා තව පියවරක් ඉදිරියට තැබීමට ය. පූජ්‍ය පක්ෂයට වඳින්න. ඒ ඔවුන් සිවුරු දරන නිසා නම් නොවෙයි. ඔවුන් ද යහ මග යමින් අපව ද යහ මගට යවන්නට වෙහෙසෙන්නේ නම් පමණ ය. අපේ වැඳුම ජාතිවාදය වපුරන වෛරය පතුරුවන පූජක පක්ෂයට නම් නොවිය යුතු ය. මවට පියාට වඳින්න. ඒත් ඒ ඔවුන් ඒ මවුපිය භූමිකාව තමන්ට හැකි අයුරින් රඟපා තිබේ නම් පමණ ය. අපේ වැඳුම බී වෙරි වී හතර ගාතෙන් ගෙදර එන කුණුහරුප කියන බඩු පොඩි කරන තාත්තාට නම් නොවිය යුතු ය. වැඳුම් ලැබිය යුත්තේ තනතුරට නොවේ. එම තනතුර බබලවන උදවියට ය.

අප දන්නා සංස්කෘතියේ තිබෙන්නේ පුතෙකු විසින් පියෙකුට වැඳිය යුතු බව ය. එසේ වුව ද බුදු සිරිතේ වාර තුනක දී සුදෝවුන් රජතුමා සිදුහත් කුමරුට වඳින්නේ ය. අපේ සංස්කෘතිය තුළ එහෙම වැඳුමකට ඉඩක් නැත. ඒ වැඳුම තුළ පවත්නේ පුදපූජාව නොව බලය ඉදිරියේ දණ නැමීම වන බැවිනි. දේශපාලනඥයන්ටත් කාර්යාලවල බොස්ලාටත් වඳින අය කරන්නේ බලය ඉදිරියේ නැමීම ය. ඒ අනුන්ට නැති වරප්‍රසාද ගැනීමට ය.

වැඳිල්ලට තිත තබමු

වඳින එකේ ඊළග ප්‍රශ්නය මෙය බෝවීම ය. කැස්ස මෙන් බෝවීම ය. එකෙකු වැන්දොත් පෝලිමේ ඉන්නා සෙසු අයට ද වඳින්නට සිදු වීම ය. අවසානය වන්නේ එය දිගින් දිගට සිදු වීම ය. එය කැඩිය නොහැකි පුරුද්දක් බවට පෙරලීම ය. දැන් අපට සිදු ව ඇත්තේ එය ය.

මංගල සමරවීර ඇමතිතුමා කඩන්නට හදන්නේ ඒ කැත පුරුද්ද ය. අප ඔහු සමග මේ අවස්ථාවේ සිට ගත යුතු වන්නේ ඒ නිසා ය.

ඇමති තුමාගේ කතාව ප්‍රබල ය. එය අවසන් කරන්නේ ශක්තිමත් ඉල්ලීමකිනි. ගරු කටයුතු ඉල්ලීමකිනි. “ගරුකරන කෙනෙකුට ගරු කරන්න. කොන්ද කෙලින් තියාගෙන වැඩ කරන්න පුළුවන් සමාජයක් බිහි කරන්නයි අපට ඕනෙ.“

අප මංගල සමරවීර ඇමතිතුමා සමග සිට ගත යුත්තේ ඒ කොන්ද කෙලින් තියාගෙන වැඩ කරන්න පුළුවන් සමාජයක් ගොඩ නැගීමට ය.

Advertisements

One thought on “වැඳීම හා කොඳු නැවීම

  1. මංගල කියන චරිතයට ඒතරම් කැමැත්තක් නැතිවුණාට ඔහු ඒ කිව්ව කතාවටනම් මාත් ගරු කරනවා. අර ඔබ කිව්ව වගේ කතාව ” පූජ්‍ය පක්ෂයට වඳින්න. ඒ ඔවුන් සිවුරු දරන නිසා නම් නොවෙයි. ඔවුන් ද යහ මග යමින් අපව ද යහ මගට යවන්නට වෙහෙසෙන්නේ නම් පමණ ය. අපේ වැඳුම ජාතිවාදය වපුරන වෛරය පතුරුවන පූජක පක්ෂයට නම් නොවිය යුතු ය. මවට පියාට වඳින්න. ඒත් ඒ ඔවුන් ඒ මවුපිය භූමිකාව තමන්ට හැකි අයුරින් රඟපා තිබේ නම් පමණ ය. අපේ වැඳුම බී වෙරි වී හතර ගාතෙන් ගෙදර එන කුණුහරුප කියන බඩු පොඩි කරන තාත්තාට නම් නොවිය යුතු ය. ” වුණානම් තවත් අගය වැඩියි.

Leave a Reply

Fill in your details below or click an icon to log in:

WordPress.com Logo

You are commenting using your WordPress.com account. Log Out /  Change )

Google+ photo

You are commenting using your Google+ account. Log Out /  Change )

Twitter picture

You are commenting using your Twitter account. Log Out /  Change )

Facebook photo

You are commenting using your Facebook account. Log Out /  Change )

Connecting to %s