මියන්මාරය බැලීමි. ශ්‍රී ලංකාව දුටිමි.

WP_20180222_17_00_43_Pro

මියන්මාරය ලංකාවේ සහෝදරයෙකු යැයි කිව හැකි ය. දෙරටේ ම ප්‍රධාන ආගම බෞද්ධාගම ය. ඒ අතරිනුත් දෙරටම අදහන්නේ හීනයාන නැතිනම් ථෙරවාද බුදු දහම ය. ප්‍රශ්නය ඇත්තේ වැඩිමලා කවුද යන්න තීරණය කිරීමේ දී ය. ඒ තරමට ඇතැම් තැනක මියන්මාරය ද ඇතැම් තැනක ශ්‍රී ලංකාව ද ආගම සම්බන්ධයෙන් ද වෙනත් බොහෝ කරුණු සම්බන්ධයෙන් වරෙක ඉදිරියෙන් ද වරෙක පිටුපසින් ද සිටින නිසා ය. සියම් නිකාය හැරුණු විට අමරපුර හා රාමඤ්ඤ යන ඉතිරි නිකායන් දෙකම උපසම්පදාව ලබා ගත්තේ මියන්මාරයෙනි. එහෙම බැලුවහම අයියා මියන්මාරය ය. හතරවෙනි සංඝායනාව ලංකාවේ පවත්වා ත්‍රිපිටකය ග්‍රන්ථාරූඩ කෙරුණේ ශ්‍රී ලංකාවේ වුව ද පස්වෙනි සංඝායනාව පවත්වා ත්‍රිපිටකය ගලේ කෙටුවේ මියන්මාරයේ ය. සෙල් ලිපි 729 කින් යුක්තව ත්‍රිපිටකය එසේ ඔවුන් විසින් සටහන් කර තිබෙන්නේ කුතෝදොව් පැගෝදා භූමියේ ය. ඒ කටයුතු දෙක සන්සන්දනයේ දී අයිය මලෝ හඳුනාගත නොහැකි තරමට අප දෙරට කලවම් වී තිබේ.

අප දෙරටේම ඉරණම වැටී තිබුනේ එකම පාරක ය. ඒ සුද්දාගේ යටත් විජිතයක් හැටියට සියවසක් දෙකක් ජීවත් විමට සිදු වීමත් සමග ය. වෙනසකට ඇත්තේ සුද්දා පරදවා ටික කලකට ජපනුන්ට මියන්මාරය යටත් කර ගන්නට පුළුවන් වීමත් බෝම්බ දැම්මේ වුව ද අපේ රට යටත් කර ගැනීමට ජපනුන්නට නොහැකි වීමත් තුළ ය.

දෙරටටම නිදහස ලැබුණේ 1947-48 වකවානුවේ ය. ලංකාව දිගින් දිගට ප්‍රජාතන්ත්‍රවාදය තුළ රැඳුනු නමුත් මියන්මාරය 1965 සිට මේ දක්වා හමුදා පාලනයකට නතුව පැවතුනේ ය.

මේ සියල්ල සිහියට නැගුණේ මියන්මාරයේ අප කළ සංචාරයක් නිසා ය.

දාගැබ් දේශය

මියන්මාරය දාගැබ් වලින් පිරුණු රටකි. දාගැබ් හඳුන්වන්නේ පගෝදා යන නමිනි. මියන්මාරය යමකින් අතිශයින් ස්වයං පෝෂිත නම් නොබිය ව කිව හැක්කේ ඒ පගෝදා වලින් බව ය. ඒ නිකම් ම නිකම් සුදු පගෝදා වලින් නොවේ. රත්තරන් පෙරවූ පගෝදා වලිනි. යැන්ගොන් නුවර ලෝක පූජිත සෙදගොන් චෛත්‍ය පමණක් රත්තරන් ටොන් හැටකින් හැඩ වී ඇතැයි කියවේ. සෙදගොන් චෛත්‍ය යැයි කීවාට එතැන ඇත්තේ එක චෛත්‍යයක් නොවේ. චෛත්‍ය සිය දහස් ගණනකි. එමෙන් දෙතුන් ගුණයක් තරම් වන බුදු පිළිම වලින් ද එය ප්‍රභාවත් වී ඇත. ඒ බොහෝ බුදු පිළිමයක් ද රනින් ආලේප කර තිබේ. බැලූ බැලූ තැන ඇත්තේ දිලිසෙන රත්තරන් ය.

සුදු වතින් සැරසුණු පුරාණ පගෝදා වල රන් ආලේප කිරීම පසු කලෙක සිදු වූව කි. මේ රන් ආලේපය කරනු ලබන්නේ සැදැහැවතුන් විසින් රන් කුඩු සහිත කඩදාසියක් ඇතිරීම මගිනි. අපේ මග පෙන්වන්නා කීවේ සුදුපාට පගෝදාවලින් ඇති කළ ශාන්තිය මේ රන් ආලේපිත පගෝදා වලින් ඇති නොවන බව ය. පසු කලෙක රත්තරන් පූජාවලින් සැප සම්පත් අපේක්ෂා කළ මිනිසුන් විසින් මේ සිරිත පටන් ගෙන ඇති බව ය. ඔහු කියූ දෙය කොතරම් සත්‍යය දැයි අපට පෙනී ගියේ ඇතැම් බුදු පිළිම රන් ආලේපනය කිරීම මගින් කිසි හැඩයක් නැති රත්තරන් ගුලි බවට ඇතැම් තැනක පත් ව ඇති බව දුටු විට ය. ඒ සඳහා දිය හැකි එක් උදාහරණයක් නම් මහාමුනි පගෝදාව ආශ්‍රිත මහා මුනි බුදු පිළිමය ය. එය රන් ආලේපයෙන් ශෝචනීය ලෙස විකෘතව තිබේ.

බහුතරයකගේ ආගම බුද්ධාගම වීමට අමතරව ලංකාවේ හා මියන්මාරයේ අතර වෙනත් සමාන කම් ද බොහෝ ය. එක සමාන කමක් නම් බුදු දහමට වී ඇති මේ නස්පැත්තිය ය. බුදු පිළිම පමණක් නොව බොහෝ සිද්ධස්ථාන ද ජීවිතයට සැනසුම හා මගපෙන්වීම ලබා දෙන මධ්‍යස්ථාන නොවී සැප සම්පත් අපේක්ෂා කරන මෝඩ මිිනිසුන්ගේ පූජාසන බවට පත් ව තිබීම එහි ප්‍රතිඵලය ය. මෙලොව හා පරලොව සැප පතා පැමිණෙන ආත්මාර්ථකාමී මිනිසුන්ගේ තිත් පොල වල් බවට මේ සිද්ධස්ථාන පත් වී තිබේ.

සමාන කම් බොහෝ ය

තවත් සමානකමක් නම් බුදු පිළිම ද පන්සල් ද හිටිහැටියේ පහළ වී ඒවා සුවිසල් මහා ආරාමයන්  බවට ඉක්මණින් පත් වීම ය. ලෝකයේ දිගම හා දෙවැනියට දිග සැතපෙන බුුදු පිළිම දෙකම ඇත්තේ මියන්මාරයේ ය. බගාන් ප්‍රදේශයේ කුඩා වපසරියක පගෝදා හාර දහසකට අධික සංඛ්‍යාවක් ඉතා ළගින් ලග පිහිටීම ද පින්ඩයා ලෙන් විහාරය තුළ බුදු පිළිම පමණක් අට දාහක් ඉක්මවා තිබීම ද දිය හැකි උදාහරණ ය. ලංකාවේ උදාහරණ මා නුදුන්නාට ඔබ දන්නේ ය. වැදගත්ම සමානකම නම් මේවා සඳහා ලෝභ නැතිව වියදම් කිරීමට සූදානම් සැදැහැවතුන්ගෙන් අඩුවක් දෙරටට ම නැති වීම ය.

එකම සැනසුමකට ඇත්තේ දක්ෂ ව්‍යාපාරිකයන් විසින් මේ සියල්ල දියුණු සංචාරක ව්‍යාපාරයක අංග ලෙස භාවිතා කර ගෙන තමන්ට ධනයත් මියන්මාරයට විදේශ විනිමයත් සැපයීම ය. ඒ අතින් නම් මියන්මාරය ඉන්නේ අපට බොහෝ ඉදිරියෙන් ය.

තව සමානකමක් නම් ඇතැම් සිද්ධස්ථානයක ඇතැම් තැන් ලංකාවේ මෙන්ම කාන්තාවට ඇතුළු විය නොහැකි ලෙස තහංචි පනවා තිබීම ය. තුන්වෙනි සමාන කම නම් භික්ෂූණි ශාසනය විසුරුවා හැර තිබීම ය. කාන්තාවකට හැක්කේ සිල් මාතාවක් වීමට පමණ ය.

සිව්වෙනි සමාන කම නම් අපේ රටේ මෙන්ම ජන වර්ග අතර ආතතියක් පැවතීම ය. ඒ ආතතිය උත්සන්න කිරීමට නොමඳ දායකත්වයක් සපයන භික්ෂූන්ගෙන් අප රටට පමණක් නොව මියන්මාරයට ද අඩුවක් නොතිබීම ය. ඒ නිසාම දෝ වෙනම රාජ්‍යයක් ඉල්ලන විවිධ ජනවර්ග වලින් මියන්මාරය පොහොසත් ව තිබීම ය.

පස් වෙනි සමාන කම නම් අප මෙන්ම ඔවුන් ද රටේ නම වෙනස් කර තිබීම ය. මියන්මාරයට අප කීවේ බුරුමය කියා ය. එයට හේතුව බුරුමය යනු බර්මා යන ඉංග්‍රීසින් විසින් තමන් යටත් කරගත් මියන්මාරයට දුන් නම සිංහලට පෙරළු විට වර නැගෙන ආකාරය වීම ය. ඉංග්‍රීසින් විසින් එසේ මියන්මාරය බුරුමය ලෙස නම් කරන්නට හේතුව ලෙස සැළකෙන්නේ බුරුම ජාතිකයන් මියන්මාරයේ බහුතරය වීම ය.

1965 දී බලයට පැමිණි මියන්මාරයේ හමුදා පාලනයට සුද්දා දමා තිබූ නම වෙනස් කිරීමට වුවමනා විය. හමුදා පාලනය විසින් පැරණි නම යලි හඳුන්වා දෙන ගමන් කීවේ මියන්මාරයේ බුරුම ජාතිකයන් බහුතරය වුනාට වෙනත් වාර්ගික කණ්ඩායම් සිය ගණනක් ඉන්නා නිසා බුරුමය යන නම ඊට නොගැලපෙන බව ය. ඒ නිසා බුරුමය මියන්මාරය වුනේ ය. ඒ අපේ ඇතැම් ජාති හිතේෂීන් ලංකාව ශ්‍රීලංකාව කිරීමෙන් නොනැවතී සිංහලේ ලෙස නැවත නම් කරන්නට තතනන අල්ල පනල්ලේ ය. එහෙම බැලුවහම මියන්මාරයේ හමුදා පාලනය ලංකාවේ ජාතික ව්‍යාපාරයන්ට වඩා ඉදිරියෙන් සිටින්නේ ය. ඉදිරිය දකින්නේ ය.

ජාතිකවාදය ඇතැම් විට අන්ධ ය

නම වෙනස් කිරීම නරක දෙයක් නොවේ. එහෙත් එහි අනිටු විපාක ද තිබිණි. සිලෝන් ටී නම් සන්නාමය අපට ද බර්මා ටීක් – බුරුම තේක්ක – සන්නාමය මියන්මාරයට ද එක සේ වාසි ගෙන දෙන්නක් වූ නමුත් මේ නාම විපර්යාසය එ්වාට අනිටු විපාක ඇති කළේ ය.

අප හා මියන්මාරය පසුගාමීත්වය සම්බන්ධයෙන් එකිනෙකා හා තරගයක යෙදෙන්නේ ය. එක් තැනක දී අප ද තව තැනක දී මියන්මාරය ද ජය ගන්නා සෙයක් පෙනෙන්නේ ය. මියන්මාරය එසේ ජය ගත් එක් අවස්ථාවක් නම් සුද්දාට විරුද්ධ වන්නට ගොස් වාහන වමෙන් නොව දකුණෙන් යන මාර්ග නීති පද්ධතියක් හඳුන්වා දීමේ දී ය.

ඒ පරිවර්තනය බොහෝ ව්‍යාකූලත්වයන් ඇති කළ ද සුද්දාට විරුද්ධ වීමට එය කළ යුතු පරිත්‍යාගයක් ලෙස සළකනු ලැබී ය. දැන් දකුණෙන් එලවන වාහන යන්නේ ද දකුණෙන් ය. ඒ නිසා ඇතැම් බස් රථයක මගීන් බැසිය යුත්තේ පිටුපසින් වේගයෙන් එන රථ වාහන පේලියකට ය. සුද්දාට විරුද්ධ වෙන එක ප්‍රශ්නයක් නොවේ. ඒ සඳහා සිය ජනතාව අනතුරේ හෙලීම නම් වරදකි. පසු ගාමී පාලනයකට එවැන්නක් දැනෙන්නේ නැත. ජාතික වාදය ඇතැම් විට අන්ධ ය. ඒ අතින් නම් අප ඒ තරමට ම අන්ධ වී නැත.

මියන්මාරයේ භික්ෂූන් වහන්සේලා ගණනින් ලක්ෂ 6 කි. ඒ එය අපේ රටේ විසිදහසක් පමණ වන විට ය. මියන්මාරයේ ජනගහනය මිලියන 52 ක් වන විට භික්ෂුන් වහන්සේලා ලක්ෂ 6 ක් සිටිමෙන් කියවෙන්නේ ඒක පුද්ගල භික්ෂූ ගහනය ලංකාවේ මෙන් 12 ගුණයක් වෙන බව ය. එපමණින් හෝ සීමා කර ඇත්තේ ද දෙවරක් ඇතුළත සමත් විය යුතු විභාගයකට මුහුණ දීමට සළස්වා ඒ විභාගය අසමත් වෙන අය ශාසනයෙන් බැහැර කරවමින් ය. එසේ නොවන්නට මේ ගණන මීට වඩා ඉහළ යනු ඇත.

අපේ මග පෙන්වන්නා කීවේ විශාල භික්ෂූන් සංඛ්‍යාවක් සිටීමට එක් ප්‍රධාන හේතුවක් නම් දරිද්‍රතාවය ගම් වෙලා ගෙන තිබීම බව ය. දෙවැනි කාරණය ශාසනයට දරුවෙකු දීම දෙමාපියන්ට විශාල ලෙස පින් රැස් කරවන ක්‍රියාවක් ලෙස ලංකාවේ මෙන් ම මියන්මාර සමාජය විසින් ද සැළකීම ය. ඒ නිසා දෝ හය හතර නොදන්නා දරුවන් විශාල ගණනක් මහණ කමේ බර කරට ගෙන පින්ඩපාතයේ වඩිනු අපි දුටුවෙමු. අපේ මෙන් පන්සලට දන් ගෙනවුත් දෙන්නට මිනිසුන්ට වත් කමක් නැති කම නිසා දෝ සිය ආහාරය සඳහා පිණ්ඩපාතයේ වැඩීමට මියන්මාර භික්ෂුවට සිදු ව තිබේ.

හමුදා පාලනය විසින් ආගම හා ආගම් ස්ථාන දියුණු කිරීමට දරණ උත්සහය ද ආගමික පිබිදීමට අමතර උත්ප්‍රේරකයක් වන්නට ඇත. අප දුටු එක් පන්සලක තිරිවාන බුදු පිළිමයක් නිර්මාණය කරනු සඳහා අති විශාල තිරිවානා කුට්ටියක් ගෙන ඒමට නැවක් ද යොදා ගෙන අතිශය වියදමක් දැරීමට හමුදා පාලනය විසින් කටයුතු කර තිබූ බව අපට දැන ගන්නට ලැබිණි. ඒ අධ්‍යාපනයට පමණක් නොව සෞඛ්‍යයට ද අඩුවෙන්ම වියදම් කරන රටක් බවට මියන්මාරය පත්ව තිබිය දී ය. ඒක පුද්ගල දළ ජාතික නිශ්පාදනය අතින් ලෝකයේ රටවල් 181 ක් අතරින් 161 වෙනි තැනට මියන්මාරය පත් ව තිබිය දී ය.

වඩාත් ආගමික නැඹුරුවක් ඇති රටවල් අතර සිව්වෙනි ස්ථානය ශ්‍රී ලංකාවට හිමිවන විට මියන්මාරය 15 වැනි ස්ථානය ගෙන තිබේ. මතුපිටින් දකින කෙනෙකුට නම් මේ ස්ථාන දෙක මාරු විය යුතු යැයි හිතෙන්නේ ය. ඒ ආගම දියුණු කිරීම සඳහා මියන්මාරය කර ඇති ආයෝජනය සළකා බැලීමෙන් ය. එය රත්තරනින් මිල කිරීමෙන් ය. අප තවමත් සිටින්නේ බෝ ගසේ වැටට පමණක් රන් ආලේපනය කරන යුගයක ය. එහෙම බැලුවහම වඩාත් ආගමික රටවල් අතර අප සැබැවින් සිටිය යුත්තේ මියන්මාරයට පිටුපසින් ය.

ලංකාවට මේ සුදුසුකම ලබන්නට අමතර කාරණා නැත්තේ නොවේ. මියන්මාරයේ පෝය දවසේත් අරක්කු කඩ විවෘත ය. සිනමා ශාලා වීවෘත ය. එයින් පෙනෙන්නේ අප මෙන් ජනයා බලෙන් සිල්ගන්වන්නට ඔවුන් උත්සහ කර නැති බව ය. අප මියන්මාරය පරදවා ඉදිරියට පැමිණ ඇත්තේ ඒ කරුණු ද ආධාරයට ගෙන විය යුතු ය.

දරිද්‍ර ගම හා පොහොසත් නගරය

මියන්මාරයේ ගම් වල තවමත් බහුලව ඇත්තේ තාවකාලික නිවාස ගණයට යම්තම් ඇතුළු කළ හැකි නිවාස යැයි කිව නොහැකි නිවාස ය. ඒවා උණබට වලින් නිමවූ පැදුරක් වැනි දෙයකින් සැකසූ බිත්තිවලින් යුක්ත ය. ඉතා කුඩා ය. බොහෝ තැනක ඇත්තේ දොරක් පමණ ය. ඒ කියන්නේ ඒවා ජනෙල් වලින් තොර බව ය. පොළොවෙන් ඉහළට සිටින සේ ඒවා ඉදිකර ඇත්තේ ලී කණු මත ය. ඒ දිවා කාලයේ පැදුරක් එලා හෝ නැතිව නිවාසය යට මහ පොළොව මත නිදා ගැනීම සඳහා ය. එය නිවැසි බල්ලන්ට එළුවන්ට හා මිනිසුන්ට එකට නිදා ගන්නට ඉඩ සලස්වන සැළැස්මකි. ගමේ ඇත්තේ කුඩා ලොරි බස් බවට පෙරලා ගත් ටක් ටුක් යැයි හැඳින්වෙන ප්‍රවාහන මාදිලියකි. ඇතැම් ටක් ටුක් එකක ආසන ද නැත. ලොරි බස් බවට එසේ පෙරලෙන විට ට්‍රැක්ටර් ලොරි බවට පෙරලා ගෙන තිබුණු සැටියක් ද පෙනිනි. ඒවා අපට මතක් කළේ යුද්ධ කාලයේ යාපනයේ ජනයාගේ ප්‍රවාහන නවෝත්පාදනයන් ය. එහෙමට යුද්ධයකට යටත් නොවූ මේ ප්‍රදේශ ද පාලනය කළේ හමුදාව ය. මෑතක දී ඉවත් කරන තුරු වාහන ආනයනයට බරපතල තහංචි හමුදා පාලනය විසින් දමා තිබිණි.

වී ගොවිතැන වැනි සම්ප්‍රදායික භෝගවලින් වෙනස්ව ගොවිතැන් කරන ප්‍රදේශ හරහා ද අපේ ගමන් මග ඇතැම් තැනක වැටී තිබුනේ ය. ඒ බොහෝ තැනක තට්ටු දෙකේ විශාල ස්ථිර නිවාස ගොවීන්ගේ වාසස්ථාන වී තිබුණේ ය.

මියන්මාරයේ නගර අපේ නගරයන්ට වඩා බොහෝ සෙයින් දියුණු ය. මතුපිටින් ඒවායේ පෙනුම දියුණු යුරෝපීය රටක සේයාව පල කරන්නේ ය. මහජන ප්‍රවාහනයට අවසර ලැබී තිබුනේ අප රටේ සුඛෝපභෝගී යැයි සැළකෙන වායු සමීකරණ කළ සම්පූර්ණයෙන් වසා ඇති බස් රථ ය. ටක් ටුක් වලට නගර සීමාව තුළ අවසර නැත. නගරයේ සාප්පු වල ගිනි ගණන් වන බ්‍රෑන්ඩඩ් අයිටම් විකිණෙන්නේ ය.

අපට වඩා බොහෝ සෙයින් වැඩි පරතරයක් මෙසේ ගමත් නගරයත් අතර ද වී ගොවිතැනත් අතිරේඛ භෝග නිපදවන ප්‍රදේශයත් අතර දක්නට ලැබිණි.

මේ පරතරයට එක් හේතුවක් විය හැක්කේ මියන්මාරයේ අධ්‍යාපනය ඉතා පහළ මට්ටමක පැවතීම ය. අධ්‍යාපන අනිවාර්යය කර ඇත්තේ පස්වන වසර තෙක් පමණ ය. අධ්‍යාපනයට වෙන් කරන මුදල් ප්‍රමාණය අතින් මියන්මාරය ඉන්නේ රටවල් 182 කින් 178 වෙනි ස්ථානයේ තරම් පහළ ය. හමුදා පාලනයක් අධ්‍යාපනයට නොකැමති වීම හිතා ගත හැකි ය.

කුඩා ළමුන් බොහෝ දෙනෙක් රැකියා කරනු අපට දක්නට ලැබිණි. ඒ අප රටේ ද මීට දශක තුන හතරක දක්නට ලැබුණු දර්ශනයකි. ඒ අතින් ද ඔවුන් අපට වඩා පසු ගාමී ය.

අධ්‍යාපනය අතින් පහළ වුව ද ලෝකයේ වඩාත්ම ත්‍යාගශීලී ජාතීන් අතර ඉදිරියෙන් ම ඉන්නේ මියන්මාරය ය. ඔවුන් මෙසේ ඉදිරියෙන් ඉන්නේ ඇමරිකාව දෙවැනි තැනටත් ඕස්ට්‍රේලියාව තුන්වෙනි තැනටත් පත් කරමිනි. මේ ළගදී ඩේලි මිරර් පත්‍රය වාර්ථා කර තිබුනේ ශ්‍රී ලංකාවේ 2017 ගංවතුර හානියෙන් විපතට පත් අයට බෙදා දීමට හාල් මෙට්‍රික් ටොන් 300 ක් මියන්මාරය විසින් ලංකාවට පරිත්‍යාග කළ බව ය. ලංකාව ද දීම අතින් මියන්මාරයට ඈත නැත. ලංකාවට ඒ සම්බන්ධයෙන් ලෝකයේ හිමිවන්නේ පස් වෙනි තැන ය. මේ බෞද්ධාගම දෙසන දානයේ මහිමයට සම්බන්ධ එකක් වීම නිසා ද අප දෙරටට ම එකසේ ආඩම්බර විය හැකි කාරණයකි.

මං මාවත්

මහින්ද රාජපක්ෂ කෙනෙකු නැතිව ම නගර අතර මංමාවත් හොඳ තත්වයක තිබුනේ ය. බොහෝ තැනක ඒවා තවදුරටත් පළල් කරනු ද වැඩිදියුණු කරනු ද දක්නට ලැබුණේ ය. ගෝඨාභය රාජපක්ෂ කෙනෙක් නැතිව ම නගර පිරිසිදු ව තිබුණේ ය. ඇවිදින මං තීරු සහිත විසල් උද්‍යාන යැන්ගොන් නුවර තිබුණේ ය. ආර් ප්‍රේමදාස කෙනෙක් නැතිව ම මංමාවත් දෙපස හා මැද ගස් වවා තිබුණේ ය. ඒවා බොහෝමයකට අපේ රටේ මෙන් අයිිතිකරුවන් සිටියේ නැත. දේශපාලකයන්ගේ බිල් බෝඩ් කිසිවක් අපට දැක ගන්නට ලැබුණේ නැත. අවුන් සාන් සුකී පමණක් එක වෙළඳ සැලක් තුළ තිබූ ඡයාරූපයක තනියම නොව තව කීප දෙනෙකු සමග දක්නට ලැබුනේ ය.

පාරවල් සම්බන්ධ තත්වය එසේ වුව ද රේල් පාර සම්බන්ධයෙන් අප දෙරටටම ඇත්තේ එකම කතාන්දරයකි. ඒ සුද්දා හැදූ රේල්පාරට අඟලක් වත් එකතු නොකළ කතාව ය. එහෙම ම කියන එකත් වැරදි ය. අප බෙලිඅත්ත දක්වා එය දැනට දික් කරමින් ඉන්නේ ය. ඒ ඕපනායක දුම්රිය මාර්ගයේ සෑහෙන කොටසක් වසා දැමීමෙන් පසු වීම වෙනම කාරණයකි.

අගනගරය වූ යැන්ගොන් පැත්තක තිබිය දී නෙපිදෝ නමින් නව නගරයක් කැළැවක ඉදිකර තිබුණේ ය. එහි මංමාවත් හම්බන්තොට පාරවල් තරමට ම පළල ය. අප ගිය එක් පාරක මං තීරු 16 ක් තිබුණේ ය. අපේ මග පෙන්වන්නා කීවේ ඇතැම් තැනක මං තීරු 20 ක් සහිත පාරවල් ඇති බව ය. එසේ විශාල ප්‍රමාණයක් මං තීරු තිබුනේ වුව ද දැක ගත හැකි වූයේ අතරින් පතර ධාවනය වූ මෝටර් රථ හා වෙනත් වාහන කිහිපයක් පමණ ය.

(ලොව ඇති පළල් ම පාරේ ඇත්තේ මං තීරු 26 කි. එය කැතී නිදහස් මාර්ගය යි. එසේ වන්නේ ද තනි පාරක් හැටියට සැළකීමෙන් නොවේ. එයට එක් වන අතුරුපාරවල මං තීරු ද එකතු කර බැලුවොතින් ය. ප්‍රධාන මාර්ගයේ ඇත්තේ මං තීරු 12 ක් පමණ ය. එහෙම බැලුවහම මියන්මාරයේ නෙපිදෝ නගරයේ පාරවල් ලෝක වාර්ථා තබා තිබේ).

හොල්මන් නගරය හා අප දෙරටේ අනාගතය

අපේ මගපෙන්වන්නා කීවේ මිනිසුන් මේ නෙපිදෝ නගරය හඳුන්වන්නේ හොල්මන් නගරය කියා බව ය. වර්ග කිමී 4800 ක වපසරියක පැතිර ඇති නගරය, ඇමරිකාවේ නිව්යොර්ක් නගරය මෙන් හය ගුණයක් විශාල ය.

රජයේ කාර්යාල වලට අමතරව එහි ඇත්තේ හෝටල් හා කඩ සාප්පු පමණ ය. ඇත්තටම මිනිසුන් එහි හිඟ ය. හමුදා පාලනයේ තවත් එක් අපූරු සිහිවටනයක් ලෙස එය ඉදිව තිබුණේ ය. අපේ හම්බන්තොට පුරවරය එහි දී මේ නගරයට පැරදී තිබුණේ ය. හම්බන්තොට තවමත් ඉදිකර අවසන් නොමැති නගරයකි. මෙය එසේ නොවේ. ඉදිකිරීම් අවසන් ය. නැත්තේ ඒවා භුක්ති විඳීමට ඉදිරිපත් වන මිනිසුන් ය. රජයේ රැකියා කරන බොහෝ දෙනා ද සති අන්තයේ සිය ගම් බිම් බලා යන නිසා සති අන්තයේ දී නගරය හද්ද පාළු ය.

මියන්මාරයේ හමුදා පාලනය තවමත් මුළුමණින් අවසන් නැත. මැතිවරණයක් පැවැත්වූයේ වුව ද තවමත් හමුදාවේ අවසරය නැතිව බොහෝ දේ කළ නොහැකි ය. අපේ “හමුදා“ පාලනය තාවකාලික ව නිම විය. එහෙත් එය නැවත නැගිටින ලකුණු වලින් යුක්ත ය. මේ තරගයේ දී ජය ගනු ඇත්තේ මියන්මාරය ද ශ්‍රී ලංකාව ද යන්න තවම විවාදිත ය.

ලංකාවේ වැඩි දෙනෙකු දැඩි පාලකයෙකු හා ආඥාදායකයෙකු ඉල්ලන විට මියන්මාරයේ වැඩි දෙනෙකු ඒ පාලනයෙන් හෙම්බත් වී ප්‍රජාතන්ත්‍රවාදය ඉල්ලමින් සිට්න්නෝ ය.

අප දෙරටේ ගමන් මග හරියට ලණුවක කෙඳිවල ගමන් මගට ආසන්න ය. එක තැනක දී මතුවන කෙන්දක් ඊළග තැන දී යට යමින් රටා මවන්නේ යම් සේ ද අප දෙරට ද එවැනි රටා මවමින් සමාන ගමනක යෙදෙන්නේ ය.

ඇතැම් විට අප දෙරටම කර ඇත්තේ එක ම පූරුවේ කරුමයක් වීම මේ පොදු ඉරණමට හේතුව විය හැකි ය. දැන් අප විසින් කළ යුත්තේ මේ පවින් මිදීම සඳහා කළ යුතු ශාන්ති කර්මය කුමක් දැයි සෙවීම ය. ඇති තරමට දෙරටම දන්දෙන නිසාත් සිල් ගන්නා නිසාත් ඒ දෙකෙන් නම් පිහිටක් තවදුරටත් පැතීමේ තේරුමක් නැත. කළ යුත්තේ විකල්ප සෙවීම ය.

Advertisements

4 thoughts on “මියන්මාරය බැලීමි. ශ්‍රී ලංකාව දුටිමි.

  1. ඉතාම අගනා ලිපියක්.

    ඇතැම් විට අප දෙරටම කර ඇත්තේ එක ම පූරුවේ කරුමයක් වීම මේ පොදු ඉරණමට හේතුව විය හැකි ය. දැන් අප විසින් කළ යුත්තේ මේ පවින් මිදීම සඳහා කළ යුතු ශාන්ති කර්මය කුමක් දැයි සෙවීම ය. ඇති තරමට දෙරටම දන්දෙන නිසාත් සිල් ගන්නා නිසාත් ඒ දෙකෙන් නම් පිහිටක් තවදුරටත් පැතීමේ තේරුමක් නැත. කළ යුත්තේ විකල්ප සෙවීම ය.
    අගනා ෙයදුමක්.

Leave a Reply

Fill in your details below or click an icon to log in:

WordPress.com Logo

You are commenting using your WordPress.com account. Log Out /  Change )

Google+ photo

You are commenting using your Google+ account. Log Out /  Change )

Twitter picture

You are commenting using your Twitter account. Log Out /  Change )

Facebook photo

You are commenting using your Facebook account. Log Out /  Change )

w

Connecting to %s