පීචං මිනිසුන්

සමහර දෙනෙකු සෙසු අයට ගෞරව කිරීමට දන්නේ නැත. වෙන කෙනෙකු වෙනුවෙන් ඉඩ සළසන්නට නැමෙන්නට ඔවුන්ට බැරි ය. පාරක යතොත් ඒ යන්නේ පාරේ අයිතිකාරයා තමන් බව අඟවමින් ය. රථයක යන්නේ නම් නලාව හඩවමින් සියල්ලන්ට අයින් වන ලෙස සන් කරමින් ය. අනෙකාගේ මං තීරුවට දැනුම් දීමක් පවා නොකර බලාහාත්කාරයෙන් ඇතුළු වෙමින් ය. බස් රථයක වාඩි වුනොත් පුළුවන් තරම් ආසනයේ වපසරියක් පැතිරීමට වග බලා ගනිමින් ය. ඒ තුළ ඉදිරියට යන්නේ සෙසු උන් තල්ලු කර දමමින් ය. පෝලිම් කඩන්නේ තොපි කවුද යැයි අගවමින් ය.

පාසලක පස් පාගලා නැතැයි සිතුවත් මේ බොහෝ අය විභාග පාස් කර ඇති අය ය. පන්සලකට පල්ලියකට කෝවිලකට අඩිය තබා නැතැයි සිතෙතත් මේ සැවොම හොඳම බැතිමතුන් ය. අඩුවශයෙන් පිරිත් නූල් දුසිමක් වත් අත් වල බැඳ ඇති, නළලේ නිතර අලු ගා ගන්නා, කුරුස එල්ලා ගෙන සැම විටම ඒවා සිප ගනිමින් තමන්ට ආශිර්වාද ඉල්ලා සිටින බැතිමතුන් ය.

මේ හැසිරීම දෙස බලන විට කොහේදෝ වැරැද්දක් වී ඇතැයි සිතෙන්නේ ය. අතිමහත් බහුතරය මෙසේ නොවෙතැයි හිත හදා ගන්නවා විනා වැරැද්ද නිවැරදි කරගන්නා ක්‍රමයක් සිතට නොනැගෙන්නේ ය.

ඔහොම කොට කොට පලයන්. කෙහෙල් ගහක් අහුවෙනකම්. එසේ කියමින් හිත හදා ගන්නට බොහෝ දෙනෙකු පෙළඹී සිටින්නේ පැටලිලා අර්බුද ඇති කරගෙන ජීවිතය කොට කරගන්නට අකමැති නිසා ය.

එසේ වුව ද තත්වය ඊටත් වඩා බරපතල බව බොහෝ දෙනෙකුට පෙනෙන්නේ නැත.

මිටි තැන් දැක පුප්පන්නෝ

විශේෂයෙන් තමන්ට වඩා දුර්වල මිනිසුන්ට ගෞරව කිරීමට නම් අති මහත් බහුතරයක් ම කොහොමටත් දන්නේ නැත. ඒ කියන්නේ සාමාන්‍යයෙන් සෙසු මිනිසුන්ට ඉඩ දෙන අය පවා මිටි තැන් දැක පුප්පන බව ය. ඒ උස් තැන් දැක හැකිලෙන ගමන් ය.

මේවා ඇතැම් විට ඉතා සියුම්ව සැගවී ගෙන ද ඇතැම් විට එලිපිට සිය නිරුවත සැමට ප්‍රදර්ශනය කරමින් ද කෙරෙන්නේ ය. වෙන විදියකින් ඔවුන් කියන්නේ පුංචි එකා පුංචි එකා විදිහට සිටිය යුතු බව ය. හැකිලී සිටිය යුතු බව ය. උන් හකුළුවනු පිණිස ලොකු එකා කරන්නේ තමන් පිප්පීම ය. ඝෝර නාඩු කිරීම ය. නැති පොරත්වයක් ආරූඪ කර ගැනීම ය.

පොඩි දරුවන්ට ගරු සරුවක් මේ උදවියගේ නැත. උන්ට ඔලොක්කු කර ඔච්චම් කර මේ ලොකු මිනිසුන් විනෝදය ලබන්නෝ ය.

මේ ඔලොක්කුවට ඔච්චමට අසුවන්නේ පොඩි දරුවන් පමණක් නොවේ. ඇතැම් විට එහි ගොදුර වනු ඇත්තේ ගැහැණිය ය. එසේ සිදුවන්නේ තමන් ගැහැණියකගේ බඩෙන් නොව වෙනත් තැනකින් පහළ වුනා යයි සිතන පිරිමින් අතිනි.

සමහර විට ගොදුරට හසු වන්නේ අබාධිතයන් ය. ශාරීරිකව හෝ මානසිකව යම් ආබාධයක් ඇති තැනත්තන් ය. නැතිනම් මහළු මිනිසුන් සහ ගැහැණුන් ය. ඒ තමන්ට කවදාවත් එවැනි ඇබැද්දියක් වෙන්නේ නැතැයි සිතන නැඩ පුරුෂයන් අතින් ය. නැතිනම් යකඩ ගැහැණුන් අතින් ය. සදාකාලිකව තිරිහන් වී ඉඳීමට නියමිත පරම්පරාවක් අතින් ය.

තවත් අවස්ථාවල ඉලක්කය සමලිංගික නැඹුරුතාවයක් ඇති මිනිසුන් හා ගැහැණුන් ය. ඒ විෂම ලිංගික බව ශ්‍රේෂ්ඨ යැයි සළකන විෂම ලිංගික මිනිසුන් හා ගැහැණුන් අතින් ය. ඇතැම් අවස්ථාවල ඒ පීඩනය එල්ල වනුයේ සංක්‍රාන්තික ලිංගික අනන්‍යතාවයක් ඇති මිනිසුන්ට ය. ගැහැණුන්ට ය. ඒ මේ ලෝකයේ සිටිය යුත්තේ තමන් පමණක් යැයි සිතන නොවෙනස් ලිංගික අනන්‍යතාවයකට උරුම කියන අය අතින් ය.

ඇතැම් විට ගොදුර වන්නේ අන්‍ය ආගමිකයින් ය. ඒ තමන්ගේ ආගම තරම් ලොකු අටමගලයක් ලෝකේම නැතැයි හිතා ඉන්නා ආගමිකයන් අතින් ය. මෙයිනුත් වැඩිම හිංසනයට ලක් වන්නේ සුළුතරයක් මිනිසුන් ඉන්නා ආගම් අදහන්නන්ට ය. ඒ මේ බුදුන්ගේ දේශය යයි කියමින් නැති අයිතිවාසිකමක් කියන බෞද්ධයන් අතින් ය.

ඊළග ගොදුර නිරාගමිකයන් ය. ඒ උන් නම් අන් ආගම් අදහන හැම කෙනෙකුටමත් වඩා නරුමයන් යැයි කියන ආගමිකයන් අතින් ය.

තව වතාවක දී අසුවන්නේ “සුළු“ ජාතිකයන් ය. ඒ නාමකරණය තුළ ම ඔවුන්ගේ තැන සළකුණු කර තිබීමම අමතර හේතුවක් හැටියට ගෙන ය. එයින් අදහස් වන්නේ බහුතර ජාතියට අයත් නොවන්නා වූ අන් ජාතිකයන් ය. ඔවුන් පරයින් ලෙස සැළකෙන්නේ තමන් භූමිපුත්‍රයන් යැයි සිතන බහුතර සිංහල ජාතියට අයත් මිනිසුන් අතින් ය.

තවත් විටෙක මේ තරවටුව පීඩනයට අසුවන්නේ කුල හීන යැයි සම්මත කර ගෙන ඇති මිනිසුන්ට ය. ඒ තමන්ගේ කුලය මහා ඉහළ යැයි පාරම්බාන කුලීනයන් අතින් ය.

හැම වැඩිහියෙක්ම දරුවන්ට ඔලොක්කු කරන්නේ නැත. හැම පිරිමියෙක්ම ගැහැණියෙක් තමන්ට වඩා අඩු යැයි සිතන්නේ නැත. අනිත් කාරණා ගත්තත් තත්වය එසේ ම ය. එහෙත් බොහෝ දෙනෙකු මේ සියල්ල ඉවසා දරා ගෙන මුණිවත රැකීම නිසා ම මේ අගතිගාමී කොටස්වල සහායකයන් බවට අනියමින් පත් ව සිටිති.

ආයතනය තුළ උස් මිටි තැන්

සමාජය තුළ මේ  සිදු වන හිංසනය ආයතනය තුළ මේ අන්දමට ම සිදු වෙනු දකින්නට පුළුවන. ඒ ආයතනය තුළ මීට අමතරව තවත් හිංසනයන් ගණනක් ද ක්‍රියාත්මක වෙද්දී ය.

එයින් එක් අරියාදුවක් සිදු වන්නේ ආයතනය තුළ බලය නැති අයට ය. බලය අඩු අයට ය. ඒ බලය නිසා තමන්ට කැමති දෙයක් කළ හැකි යයි විශ්වාස කරන බලපුළුවන්කාර නායකයන් අතින් ය.

අනෙත් අරියාදුව ආයතනයෙන් සේවය ලබා ගන්නට පැමිණෙන ගනුදෙනුකාර භවතුන්ට ය. ඒ එහි සේවය කරන කප්පරක් මිනිසුන් අතිනි. මුර කපොල්ලේ සිටින මුරකරුවාගේ සිට කාර්යාල කාර්ය සහායක හරහා ඉහළම ලොක්කා දක්වා ම ඉන්නා මිනිසුන් අතිනි. ලාභය පදනම්ව කර ගෙන ව්‍යාපාරික ආයතන තුළ මේ තත්වය එතරම් නරක නැතත් මුළුමණින්ම පහවී ඇතැයි අපේක්ෂා නොකළ යුතු ය. මේවා වඩාත් ප්‍රචලිතව දැක ගත හැක්කේ බලය හොබවන පොලීසිය, උසාවිය, ග්‍රාමසේවා කාර්යාලය වැනි ආයතන වල ය. විශේෂයෙන් ම මේවා සිදු වන්නේ අහිංසක මිනිසුන්ට හා ගැහැණුන්ට එරෙහිව ය.

ඒ ගණනට නැතත් පාසල තුළ ද ඊට තරමක් අඩුවෙන් විශ්වවිද්‍යාල තුළ ද මේ දේ ම සිදු වේ. පාසලේ ගුරුවරුන්ගේ විදුහල්පතිගේ පීඩනයට අමතරව ශිෂ්‍ය නායකයන්ගේ ගෑස් බැලීමට ද ඔවුන්ගේ ඔලොක්කු විඳීමට ද සෙසු දරුවන්ට සිදු වන අතර සරසවියේ ද ආචාර්ය මණ්ඩලයට අමතරව වඩා ජේෂ්ඨ ශිෂ්‍යයින්ගේ හා සරසවියේ දේශපාලන කරන ව්‍යාපාරයන්හි ශිෂ්‍ය නායකකාරකාදීන්ගේ ආඥාවන්ට යටත් වීමට ද සෙසු ශිෂ්‍යයින්ට සිදු වේ.

අපේ නිවෙස් පවා මේවායින් නිදහස් නැත. අයියලා විසින් මල්ලිලා නංගිලා ද තාත්තලා විසින් දරුවන් ද ස්වාමිපුරුෂයා විසින් බිරිඳ ද (කලාතුරකින් තැනක ගැහැණිය බලවන්ත නම් එහි ප්‍රතිපක්ෂය ද) මේ හිංසනයට ඔලොක්කුවට ලක් කෙරේ.

එහෙම බැලුවහම පෙනෙන්නේ බලය තියෙන්නේ කොහෙද ඒ ඕනෑම තැනකින් මේ පිප්පීම බලාපොරොත්තු විය යුතු බව ය.

බලයේ සොබාව

බලයේ ප්‍රභවයන් වෙනස් ය. ඇතැම් තැනක එය බහුතරය නිසා ය. තවත් තැනක එය පාරම්පරික උරුමයක් ලෙස සළකාගෙන ය. තවත් තැනක එය දරණ තානාන්තරයක් නිසා ය. පළඳින ඇඳුමක්, තරුවක් හෝ ඔටුන්නක් නිසා ය. ප්‍රභවය කුමක් වුව ද සැවොම කරන්නේ එක ම දෙයකි. ලැබුණු හා ලබා ගත් බලය අමු අමුවේ භාවිතා කර තවකෙකු හෙලීම ය. පෙලීම ය.

ඇතැම්හු මේවා කරන්නේ තමන්ට නැති පොරත්වයක් ලබා ගැනීමට ය. වීරයෙකු වීමට ය. තවත් සමහරු මෙසේ හැසිරෙන්නේ තමන්ගේ තේජස සෙසු අයට පෙන්වන්නට ය. බොරු ෂෝ එකට ය. තවත් අය තමන්ගේ හොරකමක් වසා ගැනීමට ය. අවධානය වෙන පැත්තකට යොමු කිරීමට ය. ගැලවිමේ මගක් හැටියට ය. තවත් සමහරු මතු ආරක්ෂාවට ය.

ඒ කුමන හේතුවක් නිසා කළ ද මේ එකක් වත් අහිංසක නැත.

බලය ඇති මුත් එසේ නොකරන මහත්මා ගති ඇති මිනිසුන්ට ද ඒ පිප්පීම් වලට එරෙහිව කතා කරන සෙසු මිනිසුන්ට ද සිදු වන්නේ අවමානයට ලක් වන්නට ය. ඔවුන්ව හැඳින්වෙන්නේ නිවටයන් හැටියට ය. පොන්නයන් හැටියට ය. ඒ අප කී පරිදි බලය අතට ගෙන ජවුසං නටන අර කී කිසියම් ආකාරයකට බලවත් වූ මිනිසුන්ගේ මුවෙන් ය.

මැර චීවරධාරීන් විසින් අන්‍යාගමිකයන්ට එරෙහිව කරනු ලබන මෙවැනි අපකීර්තිමත් රංගනයක් පිළිබඳව කිසිවෙක් විවේචනය කරතොත් අපේක්ෂා කළ යුත්තේ ගල් මුගුරු ය. කුණු බිත්තර ය. මුව නොසෑහෙන සේ වෑහෙන කුණුහරුප ය. ජාතකය පවා ප්‍රශ්න කෙරෙන කතා ය.

අන් ජාතිකයන්ගේ අයිතිවාසිකම් රැකිය යුතු යැයි කියන විට ඇසෙන්නේ දේශද්‍රෝහියෙකු බවට ජාති ද්‍රෝහියෙකු බවට කරන චෝදනා ය. එන්ජීඕ කාරයෙකු ඩොලර් කාක්කෙකු බවට කරන චෝදනා ය. ඇතැම් විට වෙඩි තබා මරණ බවට කරන තර්ජනයන් ය. මළ මිනියවත් දණ හිසෙන් ඉහළට ඔසවා ගෙන යෑමට ඉඩ නොදෙන බවට කරන බිය වැද්දීම් ය. ඒවා කතා කරන අජීවී ආයතන පවා බෝම්බ ගසා විනාශ කරන බවට කරන ඝෝරනාඩු ය.

හෙලීම හා පෙලීම සමාජගත කිරීම

එයින් කියන්නේ මේ තත්වය ඉවසා දරා ගෙන සෙසු මිනිසුන් සිටිය යුතු බව ය. ඒ තත්වයේ වෙනසක් වෙනුවෙන් කතා කිරීම ද ඒ තත්වයේ වෙනසක් කිරිම සඳහා ඉදිරිපත් වීම ද අතිශය අවදානම් සහිත ක්‍රියාවක් විය හැකි බවට මතයක් සමාජගත කිරීමට මේ බලය තිබෙන මිනිසුන් විසින් වුවමනාවෙන් කටයුතු කරමින් සිටින බව ය. මේ නිසා ම මෙම ක්‍රියාමාර්ග ඉදිරියේ මුණිවත රකින්නට මනිසුන් හිත හදාගෙන සිටින බව ය.

එසේ වුව ද අප තේරුම් ගත යුත්තේ එසේ මුණිවත රකින හැම ම, එය කරන්නේ සාධාරණ බිය නිසා වුව ද, මේ කටයුත්තට අනියමින් දායක වෙමින් සිටින බව ය.

වෙනස හා හිංසනය සාධාරණීකරණය කරමින් සමාජ ගත කිරීමට වුවමනා නිසා ම මේ වැඩි දෙනෙකු තමන් කරන වෙනස්කම් හා ඇති කරන පීඩනයන් හොර රහසේ කිරීමට පවා පරිස්සම් වන්නේ නැත. ඒ තර්ජනයන් ලස්සණ වචන තුළ සගවන්නට වත් ඔවුන්ට වුවමනා නැත. ඉතාම අමු අමුවේ ඇතැම් විට පරුෂ වචන ද යොදා ගනිමින් ඔවුහු ඒ තර්ජනයන්හි නිරත වෙති. ඇත්තටම කියතොත් ඔවුන් වඩාත් කැමති ඒ දේ ප්‍රසිද්ධියේ දෙනෝ දාහක් ඉදිරියේ කිරීමට ය. හැකි ඉහළම විදිහට පීඩනය එල්ල කරමින් කිරීමට ය. ගලගොඩ අත්තේ ඥානසාරගේ සිට කමල් ගුණරත්න දක්වා අයගේ හැසිරීමෙන් පෙන්වන්නේ මේ වුවමනාව ය. චන්දය නැතිවේය යන බියෙන් මේවා වෙනුවෙන් එලිපිට පෙනී නොසිටින දේශපාලනඥයින් පවා මේ උදවියට සැගවී සහය දෙන්නේ ද එසේ සමාජගත කිරීම ඔවුන්ගේ ද වුවමනාව නිසා ය.

එහෙම බැලුවහම අන් මිනිහෙකුට ගෞරව කිරීමට නොදන්නා මිනිසුන්ගේ සිට වුවමනාවෙන් ම අන් මිනිසුන් පාගා දැමීමට ඉදිරිපත් වන මිනිසුන් දක්වා අතිශය පළල් ලෙස විහිදී ගිය පරාසයක මිනිසුන්ගේ නොපනත් කම් වලින් මේ සමාජය පිරී ඉතිරී ඇති බව පෙනී යන්නේ ය. සිය නිහඩතාවය මගින් ඉතිරි මිනිසුන්ගෙන් සෑහෙන පිරිසක් ද මේ නිහීන හැසිරීම අනියමින් අනුමත කරමින් මේ පෙළට හිට ගෙන පරාසය තව තවත් දිගු කර ඇති බව දැනෙන්නේ ය.

ආදීනව හා උත්තර

මේ රටේ මත්පැන් පානය ඉහළ යෑමට, සිය දිවි හානි කිරීම් වැඩි වීමට, මානසික ආබාධයන් පැතිර යෑමට මේ තත්වය ද බල පා තිබේ. බොහෝ පුවත්පත්වල වැඩියෙන්ම  ඉඩ ගෙන ඇති ස්ත්‍රී දූෂණ, ළමා අපචාර, මිනීමැරුම්, දික්කසාද, පවුල් ආරවුල් හා ගැටුම් ද මේ පෙලීම ද හෙලීම ද හේතු කොට ගෙන ඇති වන ඒවා ය. එකිනෙකාට ගරු කිරීමට අසමත් වීම හේතුකොට ගෙන ඇති වන ඒවා ය.

හැම වසර අටකට දහයකට වරක් රට තුළ පැන නැගී ජීවිත බිලිගන්නා ජන සංහාරයන් පිටුපස ද ඇත්තේ මේ හේතුව ම ය.

වසරකට පොලීසියට ලැබෙන සුළු පැමිණිලි සංඛ්‍යාව ලක්ෂ 11 ඉක්මවන්නේ මේ නිසා ය.

එපමණක් නොවේ. රටේ ව්‍යාපාර පසුබැසීමට ඒවායේ ඵලදායීතාවය අඩු වීමට මේ තත්වය හේතු සාධක වී තිබේ. රටක් හැටියට ඉදිරියට නොයෑමට ද මේ තත්වය හේතු සාධක වී තිබේ. ඒ අවස්ථා දෙකේ දී ම පසුබෑමට එක් ප්‍රධාන හේතුවක් වී ඇත්තේ මේ පෙලීම හා හෙලීම හේතුවෙන් ඇති වන අනවශ්‍ය ගැටුම් සහ හිත් නොහොඳකම් ය.

මේ තත්වයේ වෙනසක් කිරීමට අප හිතන විදිහ උඩු යටිකුරු කළ යුතු ය. අපේ හර පද්ධතිය තුළ විශාල වෙනසක් සිදු විය යුතු ය.

දැන් අප ගෞරව කරන්නේ වැඩිහිටියන්ට ය. ජේෂ්ඨයන්ට ය. ගුරුවරුන්ට ය. දෙමාපියන්ට ය. පූජකයන්ට ය. ඉහළ කළමනාකරුවන්ට ය. මේ ගෞරවය දෙපැත්තටම සිදු වන එකක් බවට අප විසින් වග බලා ගත යුතු ය. පුංචි දරුවන්ට වැඩිහිටියන් ද කණිෂ්ඨයන්ට ජේෂ්ඨයින් ද සිසුන්ට ගුරුවරුද දරුවන්ට දෙමාපියන් ද අනුගාමිකයන්ට පූජකයන් ද ගෞරව කළ යුතු ය.

විවිධත්වයට වෙනස්කම් වලට ගෞරව කිරීමට අප උගත යුතු ය. අප තරමට ම අපට වඩා වෙනස් උදවියට ද මේ මහ පොළොවේ අයිතිය ඇතැයි පසක් කළ යුතු ය.

මිනිසෙකුට ගරු කළ යුත්තේ ඔහුගේ වයස, තරාතිරම, ඇඳුම පැළඳුම හෝ පසුබිම සළකා නොව ඔහුගේ ගතිගුණ හා හැකියාවන් සළකා බව අප තේරුම් ගත යුතු ය. හැම විටම පහසුවෙන් මග හැරෙන සුළුතරය ගැන විශේෂ වගකීමක් බහුතරය තුළ තිබිය යුතු ය.

අධිමානය පළකරමින් අනුන් පෙළන්නේ, ඇතුළත හිස්, තමන් පිළිබඳ හීනමානයෙන් පෙළෙන මිනිසුන් ය. එලියට පොරත්වයක් ප්‍රදර්ශනය කිරීමට සිදු වන්නේ ඇතුළත ඇති හිස් බව නිසා ය. ඇතුළතින් අභිමානවත් මිනිස්සු පිටතින් ප්‍රදර්ශනය කරන්නේ නිහතමානය ය. තමා දැනටමත් විශාල නිසා පිම්බී විශාලත්වය පෙන්නන්නට ආසාවක් ඔවුන්ට ඇති නොවේ. අප සෑදිය යුත්තේ ඇතුළතින් අභිමානවත් පිරිපුන් මිනිසුන්ව ය. එවන් මිනිසුන් සෙසු මිනිසුන්ට ද ගෞරවයෙන් සළකනු ඇත.

එකිනෙකා කෙරේ ගෞරවය පළවන විට එකිනෙකා පිළිබඳ ඇති සැකය, බිය හා අවිශ්වාසය ඉවත්ව යනු ඇත. ගැටුම් වලට තුඩු දෙන අඳුරු වළා පහව ගොස් සහෝදරත්වයේ සාමයේ එලිය උදා වනු ඇත.

Leave a Reply

Fill in your details below or click an icon to log in:

WordPress.com Logo

You are commenting using your WordPress.com account. Log Out /  Change )

Google photo

You are commenting using your Google account. Log Out /  Change )

Twitter picture

You are commenting using your Twitter account. Log Out /  Change )

Facebook photo

You are commenting using your Facebook account. Log Out /  Change )

Connecting to %s