ඔබෙ යෙහෙළිය – ඇය ගැහැණිය

මේ මොණිකා රුවන් පතිරණ කිවිඳියගේ පොතක නම ය. ඇත්තටම ඇය – ගැහැණිය – යෙහෙළියක් ලෙස අප විසින් සළකන්නේ ද? මේ ප්‍රශ්නය ගැන අසන්නට සිතුනේ ඊයේ පෙරේදා සැමරූ උඳුවප් පෝය නිමිති කර ගෙන මතුවුනු සිතුවිලි පරම්පරාවක් නිසා ය.

උඳුවප් පොහොය ශ්‍රී ලංකා වාසීන්ට වැදගත් වන්නේ සංඝමිත්තා තෙරණිය විසින් ශ්‍රී මහා බෝධියේ ශාඛාවක් ලංකාවට වැඩම කළේ ද එවැනි පොහොය දිනක නිසා ය. සිතුවිලි පරම්පරාව හටගත්තේ ඒ බෝ මළුවට පය තැබීමටවත් ගැහැණුන්ට මේ ධර්මද්වීපය තුළ අවසර නැති නිසා ය.

වඩම්මන්නට හොඳ නම් මළුවට පිවිසීම හොඳ නැති වන්නේ කෙසේ ද? ඒ ගැහැණිය යෙහෙලියක් ලෙස සළකන්නට ඇති අකමැත්ත ය.

දළදා මැදුරේ ඇතැම් තැනක් ද තහනම් ය

දළදා වහන්සේ ලංකාවට ගෙනාවේ හේමමාලී කුමරිය ඇගේ කෙස් කළඹේ සඟවා ගෙන ය. ගැහැණියකට දළදාව සිය සිරුරේ රඳවා ගේන්නට හැකි ය. නමුත් දළදා මැදුරේ ඇතැම් තැනකට අඩිය තබන්නට ඇයට අවසර නැත. ඒ ඇය ගැහැණියක් නිසා ය.

නුවර දළදා මාලිගාවේ බස්නායක නිලමේ පදවියට තෝරා ගැනීම සඳහා චන්ද විමසීමක් තිබේ. ඒ සඳහා චන්දය දීමට ප්‍රදේශ කීපයක ප්‍රාදේශීය ලේකම් වරුන්ට හැකි ය. ඒ ඔවුන් පිරිමි වුවහොත් පමණ ය. එහෙම රටක ඇය යෙහෙලියක් ලෙස සළකනු ලබනවා යැයි කිව නොහැකි ය.

ආරංචියේ හැටියට මහනුවර දිසාපති වීමට කාන්තාවකට නොහැකි ය. ඒ ද දළදා මැදුර නිසා යැයි කියවේ.

මෙහෙණි සස්නට ද අවසර නැත

ලංකාවේ මෙහෙණි සස්නක් පිහිටුවනවාට පිරිමි හාමුදුරුවරු විරුද්ධ ය. ඕනෑ නම් දස සිල් විය හැකි ය. ඉන් ඉහළට යා නොහැකි වැට කඩොල්ලක් හදා තිබේ. ඒ බුදුන් දවස ද මෙහෙණි සස්නක් පිහිටුවන්න පමා වී හෝ අවසර ලබා දී තිබුණු පසුබිමක ය. ඒ සියල්ල වන පොත් කළ ස්වාමීන් වහන්සේලා ඉන්නා රටක ය.

ආගමික අඩම්තේට්ටම් පහසුවෙන් අවසන් වන්නේ නැත. එක් බෞද්ධ භික්ෂුවක් මේ මෑතක දී කීවේ ගැහැණියක් ලෙස උපත්පත්තිය ලබන්නේ පෙර ආත්මයේ කරන ලද පාප කර්මයන් නිසා බව ය. ඒ භික්ෂුවට අනුව ඒ පාප කර්මය වෙන එකක් නොව පරදාර සේවනයේ යෙදීම ය. ඒ කියන්නේ තුන්වෙනි ශික්ෂා පදය කඩ කිරීම ය. එය එහිමියන්ගේ අර්ථ කථනයක් ද ආගමික පොත පතේ සඳහන් දෙයක් දැයි අපි නොදනිමු. එහෙත් එයින් ඇඟවෙන කාරණය අතිශයින් අවමන් සහගත ය.

එයින් සිදු වන එක් නපුරක් නම් අපේ අම්මලා ද සොහොයුරියන් ද බිරියන් ද දූවරුන් ද පෙර ආත්මයක පරදාර සේවනයේ යෙදුනේ යැයි විශ්වාස කරන්නට අපට සිදු වීම ය. ඒ තුළ ම ඔවුන් පිළිබඳ අඩු තක්සේරුවක් හෑල්ලුවක් ඇති වීම ය. ඔවුන් පිළිබඳව ගෞරවයක් තිබුනේ නම් එය දියව යෑම ය. දෙවැනි නපුර, තවදුරටත් ස්ත්‍රීන් දෙවැනි මට්ටමක පහළ මට්ටමක පවත්වා ගෙන යෑමට ඉන් ඉඩ ලැබීම ය. එසේ පවත්වා ගෙන යෑම සාධාරණීකරණය වීම ය.

ගැහැණිය ගැන ඇති මනස් ගාත

ගැහැණුන් සම්බන්ධ කර ගෙන ගොතා ඇති සමාජ ගත ව ඇති කියමන් අතිශය දරුණු ය. සාවද්‍ය ය. ඉන් එකක් නම් ගැහැණියගේ නුවණ ඇත්තේ හැඳි මිටේ දිග ය. එයින් කියන්නට හදන කාරණා ගණනාවක් තිබේ. එකක් එය කුඩා බව ය. සීමිත බව ය. අනික එය කුස්සියේ වපසරියෙන් ඔබ්බට පැතිරෙන්නේ නැති බව ය. අනෙක් ප්‍රකාශනය ඊටත් අන්ත ය. ඒ ගැහැණු කවුරුද වරදෙ නොබැඳෙන යන්න ය. එයින් ද කියවෙන කරුණු රාශියකි. එකක් ඔවුන්ට තමන් ගැන පාලනයක් නැති බව ය. ඔවුන් දුර්වල බව ය. දෙවැන්න ඔවුන් තුළ පාපය නපුර එක් රැස් වී ඇති බව ය.

අපේ අත්දැකීම නම් ඉතා දක්ෂ බුද්ධිමත් ගැහැණුන් සේ ම ඉතාම අනුවණ පිරිමින් ද ඇති තරම් ඉන්නා බව ය. අනෙත් අතට අත් පුඩි ගසන්නේ එක් අතකින් නොවන නිසා හැම වැරදේ බැඳෙන ගැහැණියකටම තව එවන් පිරිමියෙකු ද ඉන්නා බව ය. එසේ තිබිය දී මෙවැනි ප්‍රකාශ සමාජ ගත ව ඇත්තේ ඒ හරහා ගැහැණිය පාලනය කිරීමට ය.

ඇය විසින් අනුගමනය කළ යුතු වත් පිළිවතේ ද බොහෝ ය. ඇය දසන් දක්වා සිනා නොවිය යුතු ය. ඇය මුවින් නොබැන සිටිය යුතු ය. අමනකම් තක්කඩිකම් හා හිරිහැර ඇතුළු බොහෝ දේ දරා ගත යුතු ය. එය කෙසේ කළ යුතු දැයි අපට පෙන්වා සිටින්නේ ජාතික පොතේ කතු තුමා ය. ඒ මහෞෂධ පණ්ඩිතයන් හරහා උම්මග්ග ජාතක කතාවේ ය.

ඉක්බිත්තෙන් එක් දවසක් උන් විමසන සේක්. “සොඳුර අමරා දේවිනි, සාල් මනාවක් පමණ ඇරැ ගෙනැ ඉන් මට කැඳැත් බතුත් අවුළුත් පිසව’යි වදාළ සේකැ. අමරා දේවිත්, ‘එක සාල් මනාවෙන් මෙ තෙක් දෑ කෙසේ පිසම් දැ’යි නොකියා, “යහපතැ”යි වදාළ බස ගිවිසැ, ඒ සාල් මනාව පැසැ, මුල් සාලින් බත් ද කඩා සාලින් කැඳ ද සුන් සාලින් කැව්ම් ද පිසැ, ඊට සුදුසු වු අවුළුත් පිසැ මහ බෝසතාණන් වහන්සේට අවුළු සහිත කැඳ දුන්හ. කැඳ කබලක් මුඛයට ගත් පමණෙකින් මැ සියලු රස නහර වැල් පිනා සිටැ ගත්තේ යැ. පණ්ඩිතයන් වහන්සේ උන් විමසන පිණිසැ, “‍සොදුර,තොප පිසමන් නො දන්නා කලැ කුමක් පිණිසැ මා ගේ සාල් නා පූදැ’යි කියා කෙළ හා සමඟ මුඛයට ගත් කැඳ කබල කාරා බිමට දමා පි සේකැ. අමරා දේවිත් නො කිපි මැ, “කැඳැ යහබත් නොවී නම් කැව්ම් කැවැ මැනවැ,ස්වාමිනි’ කියා කැවුම් අතට දුන් හ. කැවුම් මුඛයෙහි තිබූ පමණෙකින් මැ රස නහර වැල් පිනා ගියේ යැ. එයිත් එසේ මැ කාරා දමා පි සේකැ ඊටත් නො කි පි මැ, “එසේ වී නම් බත් අනුභව කරව’යි කියා බත් අතැ තුබූ හ. එයිත් ආලෝපයක් මුඛයෙහි තබන්නා මැ සිියලු රස නහර වැල් පිනා ගියේ යැ.බෝධි සත්ත්වයන් වහන්සේ , “තොප පිසමන් නො දන්නා කලැ, මා දුක සේ සොයා ගත් දෙය කුමට නැසූ දැ’යි කිපි කෙනෙකුන් මෙන් තුන් වගය මැ එක් කොටැ අඹරා පියා ,අමරා දේවින් ඉසැ පනේ ඇඟ මුළුල්ලෙහි ගල්වා දොර හව්වෙහි ඉන්නට වදාල සේකැ. අමරා දේවිත් ඊට මඳකුත් නො කිපී, “යහපතැ, ස්වාමිනි “ යි දොර හව්වෙහි හුන්නා හ.

ඒ අපේ ආදර්ශමත් ගැහැණිය ය. මේ සියල්ලෙන් පෙනෙන්නේ ගැහැණිය යටපත් කොට තබන්නට දෙවැනි තැන තබන්නට අප විසින් හැම දෙයක් ම කර ඇති බව ය.

මවට ගරු කොට ගැහැණියට පිටුපෑම

මේ කරුණු ඉදිරිපත් කරන කෙනෙකුට අනිවාර්යයෙන්ම මුහුණ දීමට සිදු වන කරුණු පහදා දීමක් තිබේ. ඒ අපේ රටේ තරම් වෙනත් කිසිම රටක මවට ගරු නොකරන බව ය. මේ නිගමනයට පැමිණියේ කෙසේ ද යන්න ගැන වෙනම විවාදයක් අපට තිබේ. එහෙත් මේ ඉදිරිපත් කරන කාරණය මග හැර යා නොහැකි ය. අනිත් රටවලට සාපේක්ෂව කෙසේ වෙතත් අම්මා කෙනෙකුට විශාල ගෞරවයක් අපේ රට තුළ ද තිබෙන බව ඇත්ත ය. එයින් මේ කියන ගැටළුව විසඳෙන්නේ ද?

අම්මා බුදු වේවා යැයි පච්ච කොටා ගෙන සිටින අය පවා ගැහැණියට කරන මේ අකටයුතු කම් ගැන කතා කරන්නේ නැත. අම්මා ගෞරව ලැබිය යුතු කෙනෙකි. කාන්තාව එසේ නැත. ඒ කියන්නේ ඇය අම්මා යන රූපය තුළ පමණක් ගෞරව ලබන වෙනත් රූප කායන් තුළ අඩුවෙන් සැළකෙන කෙනෙකු බව ය. ඒ පරස්පරය අප විසින් ප්‍රශ්නයක් කර නොගන්නා බව ය. අම්මලාට පමණක් නොව දෝණියන්දලාට හා සොහොයුරින්ට ද ලැබෙන සැළකුම් ගැහැණුන් ලෙස ඔවුන් ලබන්නේ නැත.

ඇයට ගෞරවය ලැබිය හැක්කේ ඇය ගෙදර තුළ කූඩු වී සිටින තාක් ය. සියලු ගෞරව ඒ තුළ ය. ඉන් පිටත එහි ප්‍රතිපක්ෂය ය. ඒ අතර වාචිකව පමණක් නොව ශාරීරිකව ද කෙරෙන ලිංගික අඩම්තේට්ටම් තිබේ. මහ මග ද පොදු ප්‍රවාහනයේ ද මේවා දැක ගත හැකි ය (සංචාරය සඳහා අප රටට පැමිණි ජර්මන් කාන්තාවන් කීප දෙනෙකුම කීවේ මහ මග සිදුවන හිරිහැර කිරීම් අතින් ලංකාව වෙන බොහෝමයක් රටවල් අභිබවන බවයි). ඒ අප කලින් කිවු අසාධාරණ කම් වලට අමතර වශයෙනි.

එක අතකින් අත්පුඩි ගැසීම

ඒ සියලු අඩම්තේට්ටම් ද සිදු වූයේ ඇගේම වරදින් බව කියන්නට පේවී සිටින සමාජයක ඇයට ජීවත් වීමට සිදු ව තිබේ. ඒ සමාජයට අනුව ඇය අඩම්තේට්ටම් ලබන්නේ ඇය අඳින ඇඳුම් පැළඳුම් හා ඇගේ පාලනයෙන් තොර හැසිරීම් රටාව නිසා ය. අඩම්තේට්ටම් කරන වුන්ගේ වරදක් නැත. තිබුනත් අවසාන විශ්ලේෂණයේ දි වැරදි කාරයා වන්නේ තමන් වෙතට මේ අඩම්තේට්ටම් කැඳවා ගත් ගැහැණිය ය.

අප රටේ ගණිකාවන්ට සළකන්නේ තුච්ඡ ලෙස ය. ගණිකාවකට “ගල්“ ගහන්නට ඉක්මන් වන අය ඔවුන්ගේ සේවය පතන පිරිමින් ගැන එහෙම හිතන්නේ නැත. ගැහැණිය ඔවුන් සේවය සළසන අතර නින්දා අපහාස ද විඳිය යුතු ය.

පිරිමියකුගේ දූෂණයට ලක්ව ඇගේ කුස තුළ ඇගේ අකමැත්තෙන් වැඩෙන කළලයක් ගැන ඇයට කළ  හැකි දෙයක් නැත. දූෂණය වීමට අමතරව ඉන් ලබන දයාදයන් ද ඇය විසින් එසේ දරා ගත යුතු බවට සමාජය විසින් තීරණය කර තිබේ.

බරපතළ වැඩ ඇතිව හිර කිරීම

ඇය විසින් ගෙදර දොරේ වැඩ කටයුතු නොඅඩුව අනලස්ව කළ යුතු ය. ඒ සඳහා කෙටි ක්‍රම සෙවීමට ඇයට අයිතියක් නැත. මිරිස් මෝලෙ කොටා හරි නැත. ගලේ ඇඹරිය යුතු ය. රස එන්නේ එවිට ය. ගෑස් ලිපේ උයා හරි නැත. දර ලිපක දුම් පිඹ පිඹ ඉවිය යුතු ය. පදම එන්නේ එහෙම කළාහම ය. නොන් ස්ටික් භාජන වල නොව මැටි හැලි වලං වල ඉවිය යුතු ය. සෞඛ්‍ය සම්පන්න එවිට ය.

ඒ සියලු දුක් ගැහැට විඳ ගෙන උයා පිහා මුලින් ගෙදර හැමට පිදිය යුතු ය. ඉතිරි වුනොත් පමණක් ඇයටත් යමක් කෑ හැකි ය. මීට අමතරව තව අපූරු දෙයක් ද මේ කෑම බෙදීමේ සිදු වෙයි. ඒ මේ කෑම පෝලිමේ ගැහැණු දරුවන්ට ඉදිරියෙන් පිරිමි දරුවන්ට හිටවන බව ය.

මේ සියල්ල ඇය කළ යුත්තේ දරුවන් පෝලිමක් හදන ගමන් ය. එකෙක් ජාතිය රැක ගැනීමට හමුදාවට දෙන්නට ය. අනෙකා ආගම රැක ගන්නට ශාසනයට පූජා කරන්නට ය. ඉතිරි අය ජාතියේ ඔලු ගෙඩි ගණන ඉහළ යවා ගෙන වෙන වාර්ගිකයන් අභිබවන්නට ජාතියට දායාද කරනු පිණිස ය. ඒ තර්කනයට ම අනුව කුඩා පවුල රත්තරන් වීම මේ කල්පයේ සිදු වූ මහා විපත්තියකි. එයට කිරි දීමෙන් රූපය වැහැරී යනු ඇතැයි බියපත් ජාතියේ අම්මණ්ඩිලා එනම් මේ රටේ ගැහැණුන් වැඩියෙන් වග කිව යුතු ය. දස මාසයක් කුසේ දරා ගෙන හැදුවා මදිවාට මේ වගේ නොසන්ඩාල කතා ද අසා සිටිය යුතු ය.

ඒ අතරේ පවුලට ගෙයක් හදා දීමට මැද පෙරදිග සියළු දුක්ගැහැට මැඳ කඹුරන්නට ද ඔවුන් පිටත් විය යුතු ය. පවුලේ වැඩකටයුතු උදෙසා ගාමන්ට් ෆැක්ටරිවලට සිය තරුණ දිවිය ඔවුන් විසින් කැප කළ යුතු ය. පවුල නඩත්තු කරනු සඳහා බර කූඩා හිසේ බැඳගෙන තේ දළු ද නෙලිය යුුතු ය. ඒ සියල්ල කරමින් රටට අවශ්‍ය විදේශ විනිමය උපදවා දිය යුතු ය. රිසි රිසි දේ ආනයනය කරමින් නුවරු සුර සැප විඳින්නේ ඇගේ පරිශ්‍රමයෙන් ලද විදෙස් විනිමය භාවිතා කරමින් ය. එ් වුනාට ඇය එහෙමකට වටින්නේ නැත. කොට අදින්නට විනා පෙරහැරේ යන්නට යොදා ගත යුතු තරම් වටින්නේ නැත.

මේ වටපිටාම මැද වුව ද තෝරාගත් සුරූපිනියන් කීප දෙනෙකුට ඉහළ යා හැකි ය. ඒ ද පිරිමින්ගේ මන දොළ පිනවනු පිණිස ය.

දියුණු රටක නිර්ණායක අතරට

රටක් දියුණු යැයි කීමට ගත හැකි එක් නිර්ණායකයක් නම් ඒ රට තුළ කාන්තාවට හිමි තැන ය. කාන්තාවක් අගමැති කිරීමෙන් හෝ ජනාධිපති කිරීමෙන් පමණක් එය ලගා කර ගත නොහැකි ය. රජයේ වෙනත් ඉහළ තානාන්තර ගණනාවකට පත් වීමෙන් වත් එය ලගා කර ගත නොහැකි ය. අප එසේ කියන්නේ තනතුරු ලැබීමෙන් සියල්ල සුන්දරව අවසන් නොවන නිසා ය.

මේ තනතුරු වල වැඩ කිරීමේ දී ඔවුන් අත්විඳින සුවිශේෂ දුෂ්කරතා රැසක් තිබේ. එකක් ඔවුන් අතින් සිදු වන වැරදි ඒ ඒ පුද්ගලයාගේ ගිණුමට නොව පොදු කාන්තා ගිණුමකට බැර වීම ය. ඒ තුළ මේ තනතුරු දැරුව ද ඔවුන්ගෙන් කාර්යය නිසි පරිදි ඉටුවන්නේ නැති බවට පොදු මතයක් සමාජ ගත කිරීම ය. එය ඔවුන්ට ඔරොත්තු නොදෙන්නේ යැයි කියා සිටීම ය. එවැනි මතවාදයන් දමා ගැසිය හැකි ආයුධයක් ලෙස භාවිතා වීම ය. දෙවැන්න, හැඳි මිටේ නුවණේ කතාවේ පටන් කාන්තාව ගැන තිබෙන සියළු බමුණු මත යොදා ගෙන එවැන්නෙකුට පහර දීමට කඳවුරු බැඳ ගැනීම ය. තෙවැන්න, ඔවුන් අපහසුතාවයට පත් වන පරිදි හැසිරීම ය. වචන භාවිතා කිරීම ය. ඇතැම් අවස්ථා වල මේ හිංසනය, උඩින් හා පහළින් එක විට පැමිණීම ය. සිව්වැන්න, කාන්තාවකට දෙවැනි වීමට සිදු වීමේ යටත් නිලධාරීන්ගේ හීනමානයට ගොදුරු වීම ය.

රටක් සැබෑ ලෙස දියුණු යැයි ශ්‍රේණි ගත කිරීම සඳහා කාන්තාවට ඇති තැන යොදාගන්නේ නම් ඒ සඳහා හැම ක්ෂේත්‍රයකම ඇගේ තැන තහවුරු වී තිබිය යුතු ය යන්න මිම්ම ලෙස ගත යුතු ය. පිරිමියෙකුට යන්නට අවසර ඇති ඕනෑම තැනකට පිවිසීමට ඇයට අයිතිය තිබීම මිම්ම ලෙස ගත යුතු ය. එවන් රටක ඇයට ඉදිරියට යෑමට ඇති සියලු බාධක ඉවත් විය යුතු ය. ඇය සෑම අතකින් ම සමානයෙකු ලෙස සළකන සමාජයක් ඇති විය යුතු ය. ඇයගේ නිලබලය පිරිමියෙකුගේ නිලබලය තරමට ම පිළිගන්නා සමාජයක් ඇති විය යුතු ය. ගෘහස්ථ හිංසනයෙන් තොර නිවහනක් ඇති විය යුතු ය. ගෙදර සීමාව තුළ පමණක් නොව මහ මගදී ද ගෞරවයෙන් සැළකුම් ලබන වටපිටාවක් ඇති විය යුතු ය.

ඇය ගැන ලියා ඇති ගීත නම් අපමණ ය. මහ පොළොව මත ඇගේ තැන ඇයට නොදෙන තාක්, අඩුවක් නැතිව නොදෙන තාක්, ඒ බයිලා වලින් පලක් නැත.

Leave a Reply

Fill in your details below or click an icon to log in:

WordPress.com Logo

You are commenting using your WordPress.com account. Log Out /  Change )

Google photo

You are commenting using your Google account. Log Out /  Change )

Twitter picture

You are commenting using your Twitter account. Log Out /  Change )

Facebook photo

You are commenting using your Facebook account. Log Out /  Change )

Connecting to %s