ඇදෙන මගුල් සහ ඉලාස්ටික් බණ

මගුල් ගෙවල් වලට දිනපතා අයිටම් එක එක එකතු වෙන්නේ ය. ඉස්සර තිබුනේ මගුල ඡයාරූප පමණකි. ඇල්බම් එකක් ගෙන ඒ ඡයාරූප දා ගැනීම අපේ කටයුත්තක් විය. දැන් බාර ගන්නේ කෙලින්ම ඇල්බම් ය. ප්‍රී ෂූටිං ද එයට එකතුව තිබේ. එය සිදුවන්නේ ස්ක්‍රිප්ට් එකකට අනුව ය. ස්ක්‍රිප්ට් එක කැමරා කාරයාගේ ය. ඉස්සර මගුල් ගෙදර මෙහෙයවූයේ අෂ්ඨක කියන තැනැත්තා සහ වැඩිහිටියන් ය. දැන් කැමරා මන් ය. වැඩිහිටියන් විසි වෙලා ය. මගුල් නැටුම් ද අලුත් වෙසක් ගෙන තිබේ. පෙරහැරේ යන්නේ එක් නැටුම් කණ්ඩායමකි. අතරමග නටන්නට තවත් නැටුම් දක්වන්නෝ සිටිති. ඒ නැටුමට දැන් මනාල යුවල ද ඔවුන්ගේ පරිවාර සෙනග ද එක් ව තිබේ. ඒ නැටුම් පුහුණු කරන්නෝ ද මේ පෙරහැරට ම එක් ව සිටිති. මේ සඳහා පුහුණුව ද මාස ගණනක සිට සිදු කළ යුතු ය.

එක එක එකතු වෙනවා විනා අඩුවෙන්නේ නැත. මෝස්තර වල හැටි ස්වභාවය එසේ ය. හැම එකකටම වෙළඳ වටිනාකමක් ඇත. සියල්ල බිස්නස් එකකි. එලියේ කියන අදහස පාරිභෝගිකයාට උපරිම සේවය සැලසීම ය. ඇතුළත ඇති අදහස සියල්ල ලාභයකට පෙරලා ගැනීම ය.

වැඩේ නරක නැත. මේ යන විදිහට ගියහොත් දෙකින් එකක් වෙනවා ඇත. බඳින බොහෝ අය එක්කෝ හිගන්නන් වෙනවා ඇත. නැතිනම් මගුලක් ගන්නේ නැතිව හොරෙන් පැනලා යන්නට හිත හදා ගන්නවා ඇත.

මේ සියල්ල හාමුදුරුවන්ගේ බණට ද සිදු වෙමින් තිබේ.

ඉස්සර බණ ආරම්භ කිරීමට පෙර කියන පාලි ගාථා කීපයකට පමණක් සීමා වූ ප්‍රාරම්භක පාලිය  දැන් පාලියට අමතරව සිංහල පරිවර්තනයකින් ද යුක්ත ය. එයට අමතර සිංහල පමණක් නිර්මාණ ද ඊට එකතු ව තිබේ. බෝධිවන්දනා ගාථා ශ්‍රේණිය එයින් වඩාත් කැපී පෙනෙයි. හාමුදුරුවන් වඩින විට උපාසික උපාසිකාවෝ ආරම්භ කරන ගාථා පාලියකින් ඇරඹෙන මේ මුළු කටයුත්ත නිමා වන විට පැය භාගයක් පමණ අවසන් ව තිබේ. පැයේ බණ දැන් පැය දෙක වී තිබෙන්නේ මේ විකාර නිසා ය.

බණ ගෙදරට පැමිණෙන උදවියට ඉස්සර ලැබුනේ විස්කොතුවක් කේක් කැබැල්ලක් හා තේ එකකි. දැන් ආහාර වේලකින් මෙහා මිනිසුන් සෑහීමකට පත්වන්නේ නැත. එපමණක් නම් මදෑ. වෙනදා මිනිසුන් යමක් ගෙනාවේ ගෙදර කට්ටිය විසින් සපයන තේ පැන් සංග්‍රහයට ඔවුනට කෘත ගූණ වශයෙනි. දැන් ඒ ගෙනෙන සියල්ල හාමුදුරුවන්ට ය. ඉතින් එවැනි වටපිටාවක පාරිභෝගිකයන්ට වඩා හොඳ සේවයක් සැළසිය යුතු යැයි හාමුදුරුවන්ට සිතුනේ නම් එහි ද වැරැද්දක් නැත.

සමහර හාමුදුරුවරුන් බණ කියන්නේ තමන්ගේ ශබ්ද විකාශණ පද්ධතියක් භාවිතා කරන්නේ නම් පමණකි. ඒ සඳහා වැය වන ගාස්තු ආරාධනය කරන තැනැත්තා විසින් ගෙවිය යුතු ය.

මගුල් ගෙදර කටයුතු තරමට බණ දේශනාවේ කටයුතු ද මෙසේ ඇදෙමින් තිබෙන්නේ මිනිසුන්ට වෙනදා ඇති තරම් විවේක ඇති නිසා නොවේ. වෙනදා මහමග පැයක් අරගල කර ගෙදර පැමිණෙන මිනිසුන්ට දැන් පැය දෙකක් ඒ සඳහා වැය කළ යුතුව තිබෙන කලෙක එවන් විවේකයක් පහල වී ඇතැයි සිතිය නොහැකි ය.

මට හිතෙන්නේ මේ ඇදිල්ලට තවත් අමතර හේතුවක් වන්නේ සංසාරය දුක බව ඒත්තු ගැන්වීමට බව ය. සසර ගැන කළකිරෙන්නේ නැතිනම් එසේ කළකිරෙන බවට අප විසින් වග බලා ගත යුතු ය. මේ කරන්නේ ඒ කාරණය නොවිය හැකි ද?

ඕනෑ ම දෙයක් වැඩිපුර ගත් විට විස වේ. මේ අප පාර කපන්නේ ඒ දෙසට ය. මගුල ද බණ ද විස වී අවසානයේ විසි වී යන තැනට ය.

Leave a Reply

Fill in your details below or click an icon to log in:

WordPress.com Logo

You are commenting using your WordPress.com account. Log Out /  Change )

Google photo

You are commenting using your Google account. Log Out /  Change )

Twitter picture

You are commenting using your Twitter account. Log Out /  Change )

Facebook photo

You are commenting using your Facebook account. Log Out /  Change )

Connecting to %s