සයිටම් අර්බුදය තුළ නොදකින පැතිකඩ

ලංකාවේ මිනිසුන් කේවල් කිරීම හරහා සම්මුතියකට පැමිණිම සම්බන්ධයෙන් කොතරම් නොතරම් දැයි තේරුම් ගැනීමට හැකි එක් හොඳ උදාහරණයක් නම් සයිටම් ප්‍රශ්නය ය. ඒ සම්බන්ධයෙන් ආණ්ඩුව පියවර ගණනාවකින් පසු බැස අවසානයේ එය අහෝසි කරන බවට ප්‍රකාශ කර ඇතත් තාමත් උත්තර නැති ප්‍රශ්න ගණනාවක් ඉතිරි ව තිබේ. තව වටයකින් මේ ප්‍රශ්නය නැවත මතුවන්නට පෙර මෙය විමසිය යුත්තේ ඒ නිසා ය.

මෙය ද ඇතුළත් ව ඕනෑ ම කේවල් කිරීමක් අවසන් විය හැකි ආකාර කීපයක් තිබේ. ඉන් පළමුවැන්න එක් පාර්ශවයක් ජය ගෙන අනෙත් පාර්ශවය පරාජය වීමෙන් කෙළවර වීම ය. අනෙක පාර්ශව දෙකම පැරදීමෙන් විනාශ වීමෙන් අවසන් වීම ය. තෙවැන්න පාර්ශව දෙකම කිසියම් ජයක් ද කිසියම් පරාජයක් ද ලැබ අවසන් වීම ය. සිව්වැන්න පාර්ශව දෙකම ජය ලැබ අවසන් වීම ය.

අපේ කාලකන්නි කමේ මහත කොතරම් ද යන්න  අපේ වදන් වැලේ පරාජය යනුවෙන් ඇති වචනය තුළ ඇති අර්ථයෙන් ම පෙනේ. පරාජය යනු පර-ජය, එනම් අනෙකාගේ ජය ය. ඉදින් ඒ අනුව එක් කෙනෙකුට දිනිය හැක්කේ අනෙකා පරාජය කිරීමෙන් පමණකි. ඒ නිසා ම පාර්ශව දෙකම විනාශ වී යන තුරු අප කරන්නේ මාරාන්තික සටනකි. ඒ කියන්නේ මරා ගෙන මැරෙන සටනකි.

ඇත්තටම කියනවා නම් අප බොහෝ දෙනෙකුට අනෙකා විනාශ වන්නේ නම් ඒ උදෙසා තමන් බිලි වන්නට සිදු වුව ද කමක් නැත. ඒ නිසා බොහෝ විට දිනන්නේ තමන්ගේ පැත්තට වන දහසක් පාඩු දිගින් දිගට දරා සිටීමට හැකි අය ය.

පාර්ශවකරුවන්

සයිටම් ප්‍රශ්නයට පාර්ශවකරුවන් බොහෝ ය. එයින් ප්‍රධාන වන්නේ වෛද්‍ය සිසුන් හා ආණ්ඩුව ය. වෛද්‍ය සිසුන් පිටුපස සෙසු සරසවි සිසුන් ද රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය ද තිබේ. සරසවි සිසුන් පිටුපස ජනතා විමුක්ති පෙරමුණ ද පෙරටු ගාමීහු ද සිටිති. රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය පිටුපස වෛද්‍යවරුන් වැඩි වීමෙන් තමන්ට තර්ජනයක් වෙතැයි සිතන වෛද්‍ය වරු ද මේ අර්බුදය ඇසුරෙන් පාලන බලය ලබා ගැනීමට පාර කපා ගත හැකි යයි සිතන ඒකාබද්ධ විපක්ෂය ද සිටිති. ඊට අමතරව මේ අරගලය නිදහස් අධ්‍යාපනය වෙනුවෙන් යැයි සිතා ඊට සහය දක්වන ජනතාවක් ද සිටිති.

ආණ්ඩුව පිටුපස සයිටම් ආයතනය ද පුද්ගලික වෛද්‍ය විද්‍යාල බිහිකිරීමට කැමති ව්‍යාපාරික ප්‍රජාව ද සිටිති. ඊට අමතරව මේ රටේ උසස් අධ්‍යාපනයෙන් බැහැර කරනු ලැබ සිටින ඒ සඳහා සුදුසුකම් සපුරා ඇති තරුණ තරුණියන්හට මුදල් ගෙවා හෝ අවස්ථාවක් ලබා දිය යුතු යැයි සිතන ජනතාව ද සිටිති. එපමණක් නොවේ මේ කරන අරගලය පටු වුවමනාවන් වෙනුවෙන් කරනු ලබන අරගලයක් යැයි සිතන ඒ නිසා ම එය වැරදි යැයි දකින ජනතාවක් ද සිටිති.

වෛද්‍ය සිසු පාර්ශවයේ වුවමනාවන් හා සාංකා

වෛද්‍ය සිසුන්ගේ වුවමනාවන් විමසන විට පෙනෙන්නේ පහත දැක්වෙන දේ ය.

  1. වෛද්‍යවරුන් වැඩි වීම නිසා තමන්ගේ වෘත්තීය ඉල්ලුම අඩුවේය යන බිය
  2. පුද්ගලික විශ්ව විද්‍යාල නිසා නිදහස් අධ්‍යාපනය අර්බුදයකට යනු ඇතැයි ද ඒ නිසා දුප්පත් සිසුන්ගේ නිදහස් අධ්‍යාපන අයිතිය නැතිවනු ඇතැයි යන බිය
  3. සයිටම් ආයතනයේ ප්‍රමිතිය දුර්වල වීම හරහා වෛද්‍යවරුන්ගේ ප්‍රමිතිය බාල වෙනු ඇතැයි යන බිය

මේ අතුරින් සමහර ඒවාට එහෙමට පදනමක් නැත. උදාහරණයක් ලෙස තමන්ගේ වෘත්තීය ඉල්ලුම අඩුවේය යන බිය ගෙන බලමු.

ජනගහණයේ දහසකට ඉන්නා වෛද්‍යවරුන් ගණන අනුව ලංකාව සිටින්නේ 127 වෙනි තැන ය. ඒ කියන්නේ රටවල් 126 ක අපට වඩා වෛද්‍යවරුන් ඉන්නා බව ය. වෛද්‍ය ක්ෂේත්‍රයේ විවිධ විශේෂඥතාවයන් අලුතින් බිහිවෙමින් තිබේ. ඒ නිසා ද බොහෝ රටවල ජනයා-වෛද්‍ය අනුපාතය තවදුරටත් වැඩි වනු ඇත. ඒ තත්වය යටතේ ප්‍රමාණවත් ලෙස වෛද්‍යවරුන් බිහි නොවෙතොත් අප රට තවදුරටත් පහළ දර්ශකයකට තල්ලු වනු ඇත.

පශ්චාත් උපාධිය හදාරන්නට වෙනත් රටවලට යන අය නැවත ලංකාවට එන්නේ නැතැයි යන මැසිවිල්ල ද ප්‍රබල ය. එයින් කියන්නේ අප වෛද්‍යවරුන් නිපද වූව ද ඔවුන් බොහෝ දෙනෙකු රට හැර යන බව ය. සයිටම් වෛද්‍ය පීඨයෙන් පිට වෙන අය විශේෂයෙන් රට යෑමට ඇති ඉඩ වැඩි ය. ඒ නිසා ද ඔවුන් තර්ජනයක් වීමේ හැකියාව අඩු ය. ලෝකයේ බොහෝ රටවල ජනගහණය වයසට යමින් තිබෙන අතර වෛද්‍ය විද්‍යාවේ දියුණුව නිසා ම එය වඩ වඩාත් වැඩියෙන් සිදු වනු ඇත. ඊට සමානුපාතිකව ලෝකයේ ම වෛද්‍ය වරුන්ට ඇති ඉල්ලුම වැඩි වනු මිසක අඩුවන ලකුණු නැත. ඒ නිසා ලංකාවේ වැඩි වන ජනගහණයට මෙන් ම වෙන රටවල වැඩිවන ජනගහණයට ද සරිලන වෛද්‍යවරුන් බිහිකිරීමට අපට කටයුතු කළ හැකි ය.

එහෙත් අපට ඇත්තේ දූපත් මානසිකත්වයකි. ඒ කියන්නේ හිතන බොහෝ දෙනෙකුගේ ලෝකය කරදිය වළල්ලෙන් මෙහාට සීමා වෙන බව ය. ඒ නිසා මෙය පුහු බියක් යැයි කීවාට බොහෝ දෙනෙකුට තේරෙන්නේ නැත. බය අපේ ජාතික ලක්ෂණයක් බවට මේ වන විට පත් වී ඇත. තියෙන තත්වයේ ඕනෑම වෙනසකට අප බිය ය.

නිදහස් අධ්‍යාපනය පිළිබඳ බිය

දෙවැන්නට ද ඇත්තේ අර්ධ පදනමකි. දැනටමත් වෛද්‍ය විද්‍යාව හැර අන් සියල්ල ලංකාව තුළ දී මුදල් ගෙවා ලබා ගත හැකි ය. වෛද්‍ය උපාධිය ද දැනටමත් ලංකාවෙන් පිට දී මුදල් ගෙවා ලබා ගත හැකි ය.

අනෙත් අතට ලංකාවේ ප්‍රාථමික අධ්‍යාපනය පවා නිදහස් නැත. ශිෂ්‍යත්ව විභාගය හරහා කීර්තිමත් පාසලකට ළමයෙකු ඇතුළත් කර ගැනීම සඳහා තරගයේ දී ජය ගත හැක්කේ මුදල් තියෙන අයට ය. ඒ දරුවන්ට හා අම්මලාට ලැබෙන ශිෂ්‍යත්ව ටියුෂන් හරහා ය. ද්විතීයක අධ්‍යාපනය කොහොමටත් එහෙම ය. පාසලින් පමණක් උගෙන සරසවි යන අය දැන් හොයා ගැනීමට නැත.

උසස් අධ්‍යාපන ප්‍රස්තා දැන් හරි හරියට පුද්ගලික අංශයෙන් සැපයේ. ඒ නිසා ඒ ගැන ද කියන්නට ඇත්තේ එය කොහොමටත් දැනටමත් නිදහස් නැති බව ය.

එහෙත් සයිටම් වැනි පුද්ගලික විශ්ව විද්‍යාල නිසා මේ තර්කයට අදාළ එක දෙයක් සිදු වීමේ ඉඩ තිබේ. ඒ සයිටම් වල ප්‍රමිතිය ඉහළ ගියොත් ය. ඒ තුළ රජයේ විශ්ව විද්‍යාල උපාධිය දෙවන මට්ටමකට වැටෙතොත් ය. එහෙත් සටන් පාඨය ඇත්තේ එහි ප්‍රමිතිය ප්‍රමාණවත් නොවන බව මිසක එය ප්‍රමිතියෙන් ඉහළ බව කියා නොවේ. එය ද පුහු බියකි. අප දන්නා පරිදි පුද්ගලික බැංකුවල ආගමනයෙන් රජයේ බැංකු වැසුනේ නැත. සිදු වුනේ ඒවා වඩා කාර්යක්ෂම වීම හා ඒවායින් ද වඩා හොඳ සේවයක් ජනයාට ලැබීම පමණ ය.

එහෙම බැලුවහම දෙවැනි බිය සම්බන්ධයෙන් ඉතිරි වෙන එක ම කරුණ නම් සල්ලි නැති දුප්පත් දරුවන්ට මේ අධ්‍යාපනය විවෘත නැති බව ය. ඒ තුළ යම් අසාධාරණයක් විය හැකි බව ය. දැනටමත් වෙන ක්ෂේත්‍රවල මේ තත්වය තිබෙන වටපිටාවක වෛද්‍ය ක්ෂේත්‍රය තුළ පමණක් මේ සාධාරණත්වය තිබිය යුත්තේ ඇයි ද යන්න ප්‍රශ්නයකි.

ඊටත් අමතරව මේ සඳහා රජය ද මැදිහත් වී ගත හැකි එක් පියවරක් තිබේ. ඒ වෛද්‍ය අධ්‍යාපනය ලබා ගැනීමට කැමැත්තෙන් සිටින ඊට සුදුසුකම් සපුරා සිටින සිසුන්ට ණය මුදලක් ප්‍රදානය කිරීම ය. ඒ ණය මුදල රැකියාවක් කරන කාලයේ විදි දෙකකින් ගෙවීමට ද කටයුතු සම්පාදනය කළ හැකි ය. එකක් තමන් ලබන වැටුපෙන් ප්‍රතිශතයක් ලෙස ය. අනෙක දුෂ්කර පළාත්වල සේවය කිරීමෙන් කරන කපා හැරීමක් ලෙස ය. එසේ කිරීම හරහා දුප්පත් සිසුන්ට ද මෙහි අධ්‍යාපනය ලැබිය හැකි ලෙස කටයුතු සම්පාදනය කළ හැකි ය. මෙය ආණ්ඩුව තවමත් මැදිහත් නොවුණු එහෙත් ආණ්ඩුවට මැදිහත් වන්නට හැකි කටයුත්තකි.

ප්‍රමිතිය පිළිබඳ ගැටළුව

අවසාන බිය යුක්ති යුක්ත ය. ප්‍රමිතියෙන් අඩු අය වෛද්‍ය වෘත්තියට ඇතුළත් කර ගැනීම නිසා අර්බුදයක් ඇති වුව හොත් එය වෛද්‍ය වෘත්තිකයන් හැමට ද සමස්ථ සෞඛ්‍ය ක්ෂේත්‍රයට ම බල පාන්නේ ය. මේ ප්‍රමිතිය අදාළ වෛද්‍ය ක්ෂේත්‍රයට පමණ ද?

වෛද්‍ය විද්‍යාව පූජනීය වන්නේ එය වෙනත් සෙප්පඩ විජ්ජා මෙන් නොව හැබෑ ම විද්‍යාවක් යන මතය මේ තර්ක කරන්නන් සතුව තිබේ. ඔවුන්ට අනුව එය මිනිසෙකුගේ ජීවිතය හා මරණය අතර ගනුදෙනුවකි. එහෙත් සෑම විද්‍යාවක්ම වැරදියට යෙදුවොත් ඒවායින් ද මිනිසුන් මරණයට පත් වේ. ගොඩනැගිල්ලක් කඩා වැටුනොත් මියෙන අත්පා අහිමිවන මිනිසුන් බොහෝ ය.

ශ්‍රී ලංකා වෛද්‍ය සභාවට මේ ප්‍රමිතිය සම්බන්ධයෙන් කටයුතු කළ හැකි ය. දැනටමත් විදේශවල පිළිගත් විශ්වවිද්‍යාලවල ශාස්ත්‍රය හදාරා එන වෛද්‍යවරුන් ද වෛද්‍ය සභාව විසින් පවත්වනු ලබන විභාගයකට වාඩි වී තම ප්‍රමිතිය ඔප්පු කළ යුතු ය. මීට අමතරව සායන කටයුතු වල ඇතැයි කියන අඩුපාඩු ද යම් රෝහලකට අනුයුක්ත කොට ලබා දීමෙන් සම්පූර්ණ කළ හැකි කාරණා ය.

එහෙම බැලුවහම වෛද්‍ය සිසුන්ගේ වුවමනාවන් හා අපේක්ෂා ඉටුවන අයුරින් මේ ගැටළුව විසඳීමේ ඉඩකඩ තිබෙන්නේ ය. එහෙත් නොවන්නේ ද එය ම ය.

අප අමතක කරන අනෙත් කාරණය නම් වෛද්‍ය ප්‍රමිතිය වෛද්‍ය අධ්‍යාපනයේ ප්‍රමිතිය ඇති කිරීමෙන් පමණක් සාක්ෂාත් කර ගත නොහැකි බව ය. ඒ සඳහා අඩු ප්‍රමිතයකින් යුත් වෛද්‍යවරුන්ගේ ලියා පදිංචිය අවලංගු කිරීමත් ඇතැම් විට ඔවුන් නැවතත් පුහුණු කිරීමට යොමු කිරීමත් අවශ්‍ය ය.

සමහරු ප්‍රශ්න විසඳෙනවාට කැමති නැත. හිඟන්නන් තුවාල වේලෙනවාට කැමති නැතිවා වාගේ ය. ප්‍රශ්නයක් තිබුනු පමණට ඔවුන්ට ආතල් ය. ඔවුන් උඩ එනවා ය. ඔවුන්ට පිළිගැනීමක් ලැබෙනවා ය. ඇතැම් විට ප්‍රශ්න විසඳන්නට අමාරු මේ නිසා ය.

ආණ්ඩුව පැත්තෙන් ආණ්ඩුව පියවර කීපයක් පසු පසට ගෙන තිබේ. එහෙත් ප්‍රතිපක්ෂය මේ එක ද හැසිරීමකටවත් සාධනීය ප්‍රතිචාර දක්වා නැත.

නිදහස් අධ්‍යාපනය වෙනුවෙන් දිවි දීම

ඔවුන් දිගින් දිගට කියන්නේ තමන් නිදහස් අධ්‍යාපනය වෙනුවෙන් ජීවිතය පුද කිරීමට පවා සූදානම් බව ය. ඔවුන් කියන නිදහස් අධ්‍යාපනයක් මේ රටේ නැත. උසස් අධ්‍යාපනය සම්බන්ධයෙන් නම් එය කොහෙත්ම නැත. එය වෛද්‍ය උසස් අධ්‍යාපනය සම්බන්ධයෙන් පවා දැනටත් නැත. විදෙස් රටවල උගෙන පැමිණ වෛද්‍ය සේවයට ඇතුළත් වීමේ ඉඩ තිබෙන නිසා ය. එයින් පෙනෙන්නේ ඔවුන් දිවි දෙන්නට හදන්නේ සැබෑවට නැති නිදහස් උසස් අධ්‍යාපනයක් වෙනුවෙන් බව ය.

එයින් පෙනෙන්නේ මේ දිවි දෙන්නට යන්නේ ඒ සඳහා නම් නොවන බව ය. ඇතැම්හු දිවි දෙන්නට යන්නේ තමන්ගේ ඒකාධිකාරය දිගටම තියා ගන්නට ය. ඒ වෛද්‍යවරුන් ගණනින් අඩු වු විට වටිනාකම වැඩි කර ගත හැකි නිසා ය. තවත් ඇතැම්හු දිවි දෙන්නට යන්නේ දේශපාලන වුවමනා වෙනුවෙන් ය. තමන්ගේ පිළේ දේශපාලනය ශක්තිමත් කර ගැනීමට ය. ඇතැම් අයට මේ දෙකම වුවමනා ය. ඒ නිසා ම මේ කවුරු කවුරුවත් දෙපාර්ශවයේ ම ජය ඇති විසඳුමක් වෙනුවෙන්, තෙවැනි විසඳුමක්, වෙනුවෙන් පෙනී සිටින්නේ නැත. ඒ නිසා පුද්ගලික වෛද්‍ය අධ්‍යාපනය අවසන් කළ යුතු ය යන අවසන් අස්ථානයට මෙහා කිසි දු විසඳුමක් ඔවුන් පිළිගන්නේ නැත.

ඔවුන්ගේ මේ හඩට සුජාත භාවය ලැබෙන තව එක් කරුණක් තිබේ. ඒ දුප්පත් සිසුන්ට මේ නිසා අසාධාරණයක් වෙන බව ය. ඒ සම්බන්ධයෙන් ආණ්ඩුව විසින් තවදුරටත් කළ යුතු වැඩක් තිබේ. ඒ නම් අප කලින් සඳහන් කළ පරිදි අවශ්‍ය සිසුන්ට වෛද්‍ය අධ්‍යාපනය මිලදී ගැනීම සඳහා ණය මුදලක් ප්‍රදානය කිරීම ය. ඔවුන් ණය උගුලකට අසු වීම වැළැක්වීම සඳහා දුෂ්කර පළාත්වල සේවය කිරීම හරහා එය මුදලින් නොවන ක්‍රමයකින් ද ගෙවීමට ඉඩක් ලබා දීම ය. එයින් සයිටම් ප්‍රශ්නයට පමණක් නොව දුෂ්කර පළාත් වල වෛද්‍යවරුන්ගේ හිගයට ද පිළියම් සොයා ගත හැකි ය.

ජනතාවගේ බදු මුදල් වලින් නිදහස් වෛද්‍ය අධ්‍යාපනය ලබා මේ රටේ සැළකිය යුතු කාලයක් සේවය නොකර විදෙස් ගත වන වෛද්‍යවරුන්ගෙන් ද ඒ සඳහා රජය කළ මුදල පියවා ගැනීමට කටයුතු කිරීම හරහා වෛද්‍ය අධ්‍යාපනය පුළුල් කිරීමට හා ණය දීමට අවශ්‍ය මුදල් රජයට සොයා ගැනීමට ද හැකි ය. එසේ කරන්නේ නම් මහජනයා ඉදිරියේ තම සුජාතභාවය පවත්වා ගෙන යෑමට මේ මස් රාත්තලම ඉල්ලා සිටින පාර්ශවයන්ට ඉඩ නොලැබෙන්නේ ය.

රටේ ඉදිරිමග හා අධ්‍යාපනය

රටට ඇති විශාලම සම්පත මානව සම්පත ය. ඒ සම්පත සංවර්ධනය කිරිමට හැකි සෑම දෙයක් ම කිරීම රජයේ වගකීම ය. රජයේ ම මුදලින් එය කිරීමට නොහැකි නම් ඒ සඳහා විය පැහැදම් කිරීමට කැමති අයට එසේ කිරීමට ඇති නිදහස සහතික කිරීම ද රජයේ වගකීමකි. ඒ නිසා ම මස් රාත්තලම ඉල්ලන අය ඉදිරියේ දණ ගැසීමට රජය කටයුතු නොකළ යුතු ය.

ලංකාව දැනට වැඩිමනත් ලෙස පිටරට යවන්නේ ගෘහ සේවිකාවන් රියැදුරන් හා යන්ත්‍ර ක්‍රියාකරුවන් ය. ඒ මැද පෙරදිගට ය. රජය කළ යුත්තේ හෙදියන් වෛද්‍යවරුන් හා ඉංජිනේරුවන් පුහුණු කර රට රස්සාවලට යැවීම ය. ඒ හරහා යන අයට ද රටට ද වැඩි ආදායමක් ලබා ගැනීමට ඉඩ පාදා ගැනීම ය.

එපමණක් නොවේ. රටේ සෞඛ්‍ය සේවා හා අධ්‍යාපන සේවා වර්ධනය කොට ඒවා ලබා ගැනීමට විදෙස් වලින් එන පිරිස වැඩි කර රටට එන අදායම වැඩි කර ගැනීම ය. ඒ හරහා සංචාරක කර්මාන්තය ද දියුණු කිරීම ය. දැනට ඉන්දියාවට සිංගප්පූරුවට යන අපේ රටේ රෝගීන් මේ රට තුළ ම රඳවා ගැනීම හරහා විනිමය ඉතිරි කර ගැනීම ය. අපේ රටේ දක්ෂ උගත් තරුණ තරුණියන්ට රැකියා ලබා දීම ය. ඒ හරහා රට පනින්නට ඔවුන් තුළ ඇති උමතුව අවම කර ලීම ය.

ඒ හැම දෙයම රජයකට විශේෂයෙන් අකාර්යක්ෂම හා දුෂිත රාජ්‍ය යන්ත්‍රයකට තනිවම පහසුවෙන් කළ නොහැකි ය. පුද්ගලික ආයෝජන මෙන් ම විදෙස් ආයෝජන ඒ සඳහා ලබා ගත යුතු ය. මේ අරගල කරුවන්ට එහෙම දැක්මක් නැත. ඔවුන් දන්නේ අතීතයේ තමන්ට තිබුණු තැන රැක ගන්නේ කෙසේ ද යන්න පිළිබඳව බැලීමට පමණ ය. ඒ නිසා ම මේ සම්බන්ධයෙන් වඩා පළල් සමාජ සංවාදයක් ගෙන යා යුතු ය. මේ අරගල කරුවන්ගෙන් කොටසක් සැම ම දිනන විසඳුමක් වෙනුවෙන් දිනා ගත යුතු ය.

මේ සම්බන්ධයෙන් මහජන මතය කුමක් ද යන්න පිළිබඳව මෙතෙක් සමීක්ෂණයක් කර නැත. ඒ සඳහා ස්වාධීන ආයතනයකට ඉදිරිපත් විය හැකි ය. එවැන්නක් නැති නිසා සමාජ මතය ලෙස ප්‍රකාශ වන්නේ වැඩිපුර සද්දය ඇති මත ය. ඒ නිසා මේ ගැන නිවැරදි අස්ථානයක් තුළ දිගින් දිගටම රැඳෙන්නට ආණ්ඩුව ද බිය ය.

මේ ප්‍රශ්නයෙන් ඉක්මණින් ගොඩ ආ යුතු ය. ඒ සඳහා කළ යුතු සමාජ සංවාදය සඳහා විද්වතුන් නොබිය ඉදිරියට ආ යුතු ය. එය ජනතාව ඉදිරිගාමී ජනතාවක් බවට පත් කිරීමට ද අනාගත ප්‍රශ්න වලදී නිවැරදිව සිතන්නට ඔවුන් යොමු කිරීමට ද උදව් වෙනු ඇත.

http://www.dinamina.lk/2017/11/14/%E0%B7%80%E0%B7%92%E0%B7%81%E0%B7%9A%E0%B7%82%E0%B7%8F%E0%B6%82%E0%B6%9C/44300/%E0%B7%83%E0%B6%BA%E0%B7%92%E0%B6%A7%E0%B6%B8%E0%B7%8A-%E0%B6%85%E0%B6%BB%E0%B7%8A%E0%B6%B6%E0%B7%94%E0%B6%AF%E0%B6%BA%E0%B7%9A-%E0%B6%B1%E0%B7%9C%E0%B6%AF%E0%B6%9A%E0%B7%92%E0%B6%B1-%E0%B6%B4%E0%B7%90%E0%B6%AD%E0%B7%92%E0%B6%9A%E0%B6%A9

 

Advertisements