අපේ සිහින ව්‍යවස්ථාව

Court-NEW

මහා බ්‍රිතාන්‍ය සතුව ලිඛිත ව්‍යවස්ථාවක් නැතැයි කිය වේ. ඒත් ඒ රට එතරම් අලකලංචියක් නැතිව පාලනය කෙරේ. එහෙව් කඩදාසියකට යට නොවී සිටි ඔවුන් මෙහෙන් යන විට නම් කඩදාසියක ලියා ව්‍යවස්ථාවක් අපට දී ගොස් තිබිණි. ඒ සමහර විට අපේ හැටි දන්නා නිසා විය හැකි ය. එහි සුළු ජාතිකයන් වෙනුවෙන් 29 වගන්තිය නමින් ඔවුන්ගේ අයිතීන් ආරක්ෂා කිරීමට වගන්තියක් ද ඇතුළු කිරීමට ඔවුන් වග බලා ගත්තේ ටිකක් නොව ගොඩක් අප ගැන දන්නා නිසා විය හැකි ය.

ඒ වගන්තියෙන් පමණක් දෙමළ ජාතික අපේක්ෂාවන් ඉටු වූයේ නැත. තමන්ගේ පළාත්වල පාලනය තමන්ට කර ගෙන යා හැකි ක්‍රමයක් ඔවුහු බලාපොරොත්තු වූහ.

සිංහල පමණක් රාජ්‍ය භාෂාව කිරීමෙන් තමන් කළ පාපයට වන්දියට අමතරව බණ්ඩාරනායක මහතා පෙඩරල් ක්‍රමයක් යෝජනා කළේ ඒ අභිලාෂය ද මුදුන්පත් කරණු සඳහා ය. සංඝයා වහන්සේලාගේ විරෝධය හමුවේ ඔහු එය අකුලා ගත්තේ ය.

ඊට පසු ඩඩ්ලි සේනානායක මහතාට ද සමාන මැදිහත් කිරීමක් කිරීමට වුවමනා ව තිබුනේ ය. විරුද්ධ පක්ෂ එකතු වී ඩඩ්ලිගේ බඩේ වඩේ කියමින් ඒකට ද තිතක් තිබ්බෝ ය.

කෙසේ හෝ අවසානයේ අපි සුද්දාගේ ව්‍යවස්ථාව විසිකර අපේ ම ව්‍යවස්ථාවක් හදා ගත්තෙමු. එසේ කරද්දී දෙමළ ජාතික අපේක්ෂා පිළිබඳව තුට්ටුවක වත් සැළකීමක් නොදක්වන ලදී.

එසේ කොට තව වසර 5 ක් යන්නට මත්තෙන් ඒකත් විසිකර තවත් එකක් හැදුවෙමු. ඊට පසු වකවානුවේ අප දිගින් දිගට කළේ එයට සංශෝධන ගෙන ඒම ය.

මේ ව්‍යවස්ථාව තරම් මෙතරම් කෙටි කලක් තුළ දී සංශෝධනයට ලක් වූ තවත් ව්‍යවස්ථාවක් ලෝකයේ කිසියම් රටක තිබේ දැයි යන්න සැක සහිත ය. ඒ තුනෙන් දෙක නැත්නම්, ඒක හදා ගන්නට ක්‍රම සහ විධි ව්‍යාවස්ථාවෙන් සම්පාදනය කර ඇති නිසා ය. ඒ ව්‍යවස්ථාවේම කප්පරක් ඇමති පට්ටම් නිර්මාණය කර ගත හැකි නිසා ය. 19 ව්‍යවස්ථා සංශෝධනයෙන් ඒ සම්බන්ධයෙන් පනවන ලද සීමා එහි ම සඳහන් ජාතික ආණ්ඩුවක් සම්බන්ධයෙන් ව්‍යාතිරේඛය යටතේ නිශ්ප්‍රභා වන නිසා තවමත් අප ඉන්නේ ඒ සම්බන්ධයෙන් 19 ට පෙර තත්වයේ ය.

දෙමළ ජනතාව අවිගත්තේ මේ ව්‍යවස්ථාව තුළ ඔවුන් දෙවැනි පන්තියේ පුරවැසියන් ව තිබීම නිසා යැයි කියනු ලැබේ. සෑම දෙයක් ම කොළඹින් තීරණය කෙරෙන තත්වයක් යටතේ ඔවුන්ගේ වුවමනා එපා කම් හා පළාතේ සංවර්ධනය සඳහා මධ්‍යම ආණ්ඩුවේ අනුකම්පාව ලැබෙන තෙක් ඉන්නට වීම ඔවුන් රිස්සුවේ නැත. ඔවුන් වෙත දුන් පොරොන්දු දකුණේ විරෝධයන් හමුවේ රටේ නායකයින් විසින් අකුළා ගනු ලැබූ නිසා බන්දේසියක දමා කිසිවක් තමන්ට නොලැබෙන බව ඔවුන් විසින් වටහා ගෙන තිබුණේ ය.

ඉතින් යුද්ධය දිගට ඇදී ගෙන යන විට මේ ඉල්ලිම් සම්බන්ධයෙන් යමක් කළ යුතු බවක් පෙනෙන්නට විය. යමක් කරන ලෙස ජාත්‍යන්තර බලපෑම් ද ඇති විය.

ඒ අවබෝධය දැනුණු දකුණ නිකම් සිටියේ නැත. ඒ ඉල්ලීම පිළිගනිමින් ව්‍යවස්ථාව වෙනස් කළ යුත්තේ කෙසේ දැයි විමසීමට සර්වපාක්ෂික සමුළු ගණනාවක් ආණ්ඩු ගණනාවක් විසින් ම පත් කරන්නේ ඒ නිසා ය.

ඒ එකක්වත් ඉවර වුනේ නැත. ඒවා ඇදී ඇදී ගියේ ය. අතරින් පතර ඉවරයක් දුටු ඒවා පවා ක්‍රියාත්මක කෙරුණේ ද නැත. උතුරට දුන්නොත් දකුණ තරහා වෙනවා ය. ඒ නිසා කළේ දෙනවා වගේ පෙන්වමින් කල් ගන්නා අතර මුකුත් නොදීමට වග බලා ගැනීම ය.

අන්තිමේ ඉන්දියාවෙන් අපට පරිප්පු සමග නව ව්‍යවස්ථාවක් ලැබුනේ ය. ඒ ව්‍යවස්ථාව යටතේ පළාත් පාලන සභා පිහිටුවන ලදී. අන්තිමට උතුරට හැරෙන්නට අනිත් හැම තැනකම පළාත් සභා ලැබුණු නමුත් ඉල්ලා අරගල කළ උතුරට තව බොහෝ කලක් යන තුරු ලැබුණේ ආණ්ඩු කාරයෙකි.

රට කුඩා වුව ද මට්ටම් තුනක දේශපාලන ව්‍යුහයක් දැන් අප සතු ය. ඒක එහෙම වුනාට බොහෝමයක් තීන්දු ගන්නේ මධ්‍යම ආණ්ඩුවෙනි. ඉතිරි ආයතන තිබෙන්නේ බදු මුදලින් නඩත්තු කරනු සඳහා ය. නැතිනම් මේ ගහන කප්පරක් බදු වලට කරන්නට දෙයක් නැති නිසා ය. දේශපාලනඥයින්ගේ ඊලග පරම්පරාවට ඒ කියන්නේ දරු මුණුබුරුන්ට දේශපාලනය ඉගෙන ගැනීමට ප්‍රාථමික පාසලක් හැටියට පාවිච්චි කිරීම සඳහා ය.

සියලු කුණු බේරුවල් බොක්කට වගේ රටේ සියලු ප්‍රශ්නවලට හේතුව ව්‍යවස්ථාව යයි සැලකූ කාලයක් ද විය. ඒ අතරිනුත් ප්‍රධාන තැනට පැමිණයේ විධායක ජනපති ක්‍රමය ය. එය අහෝසි කිරීම සඳහා බලය ඉල්ලා පැමිණ බලය ලබා ගත් අය තුන්දෙනෙකි. පළමුවැන්නා ඒ සම්බන්ධයෙන් කිසිවක් නොකළේ ය. දෙවැන්නා අහෝසි කරනු වෙනුවට තවත් බලතල එකතු කර ගත්තේ ය. තුන්වැන්නා පමණක් එහි බලතල අඩු කිරීමට යම් පමණකට  ක්‍රියාත්මක කළේ ය. ඉතිරිය කරන හැටි මේ වන විට ජනතාව බලාගෙන සිටිති.

යුද්ධය ඇති වූයේ බලය නොබෙදී තිබීම නිසා බව අපට කීවේ ව්‍යවස්ථා විශේෂඥයෙකු වූ ජී ඇල් පීරීස් මහාචාර්ය තුමා ය. එතුමා එක් කලක් ඒ වෙනුවෙන් වෙහෙසවනු ද අපි දුටුවෙමු. චන්ද්‍රිකාගේ පාලන සමයේ ව්‍යවස්ථාවක් ගෙන ඒමට ද එතුමා කටයුතු කළ බව අපට මතක ය. දැන් නම් එතුමා මේ ගැන කියන්නේ කුමක් දැයි දැන ගන්නට නැත. එතුමා නැතිවම තවත් වටයකින් නව ව්‍යවස්ථාවක් පිළිබඳ කතා බහ කෙරෙමින් තිබෙන්නේ ය.

ජනතා අදහස් විමසමින් දිග මාවතක ගමන් කරන මේ ගමන ද කොහින් කෙළවර වේ දැයි කිව නොහැකි ය. ඒකට එක් හේතුවක් ආණ්ඩුවක් ගෙන එන ඕනෑම හොඳ දෙයකට පවා විරුද්ධ වන විරුද්ධ පක්ෂයක් අප රටේ සැමදාමත් තිබූ නිසා ය.

අප සිහින දකින ව්‍යවස්ථාව තුළ බලතල බොහෝමයක් පළාත්වලට බෙදා තිබේ. පළාතේ බහුතරය භාවිතා වන භාෂාවෙන් ඒ පළාත් සභාව තුළ කටයුතු කෙරෙන අතර ඉතිරි භාෂා ද යොදාගෙන ගනුදෙනු කිරීමට ප්‍රතිපාදන ඇති කර තිබේ.

ව්‍යවස්ථාව ගැන මෑතක සිදු වන සංවාදයන් වල ඉදිරියට එන එක් ප්‍රධාන කාරණයක් වන්නේ බුද්ධාගමට ප්‍රමුඛස්ථානය ව්‍යවස්ථාවෙන් දිය යුතු ද යන්න ය.

බුදුහිමියන් සිය පිය රජු වූ ශුද්ධොදන රජු ගෙන් වත් තම ආගම වෙනුවෙන් නොඉල්ලූ ප්‍රමුඛස්ථානයක් අපේ හිමිවරු ව්‍යවස්ථා සම්පාදකයින්ගෙන් ඉල්ලා සිටිනු පසුගිය දිනවල දකින්නට ලැබුනේ ය.

ලෝකයේ ඇතැම් රටවල් රජය ආගමෙන් වෙන් කර ඇත්තේ ය. එයට හේතු ගණනාවකි. ඉන් පළමුවැන්න ආගමික නීතිය ඇතැම් අවස්ථාවල රටේ නීතියට පටහැනි විය හැකි නිසා ය. බුද්ධාගමේ සතුන් මරන්නට අනුබල දෙන්නේ නැත. එහෙත් රජයේ ධීවර දෙපාර්තමේන්තුව නියැලෙන්නේ ඒ කටයුත්තේ ය. ධීවර අමාත්‍යංශයේ නිලධාරීන් පන්සිල් ගෙන මසුන් මරන්නන්ට පහසුකම් සපයන විට අවුලට යන්නේ බුද්ධාගම ද රජය ද ඒ නිලධාරීන් ද මේ විගඩම බලා සිටිනා හය හතර නොතේරෙන දරුවන් ද යන්න ගැටළුවකි. සතුන් මැරිම වැරදි වුව ද මසුන් මැරීමට එරෙහි නීති පනවන්නට ද රජයට බැරි ය. දෙවැන්න ආගම ලෝකෝත්තර දෙයක් ද රජය ලෞකික දෙයක් ද ලෙස සැළකෙන නිසා ය. තෙවැන්න යම් ආගමකට විශේෂයක් කිරීමෙන් ඒ අනුගාමිකයින් ට සතුටක් ලැබුණ ද ඒ ආගම නොඅදහන සෙසු ජනයාට එයින් සංවේගයක් දැන වෙන නිසා ය. සිව්වැන්න සැමට සමාන ලෙස සැළකිය යුතු ය යන ව්‍යවස්ථාවේ මූලික ම අයිතිවාසිකමක් ඒ මගින් අහෝසි වන නිසා ය.

අප දකින සිහින ව්‍යවස්ථාව තුළ කිසිම ආගමකට සුවිශේෂී සැළකිල්ලක් නැත. ආගම රජයේ කටයුතු වලින් වෙන් කර තිබේ. රජයේ උත්සවවල කිසිදු ආගමික කටයුත්තක් සිදු නොකළ යුතු බවට ප්‍රතිපාදන පනවා තිබේ.

තමන් කැමති ආගමක් ඇදහීමට ද එය අත් හැරීමට ද කැමති ආගමක් වැළඳ ගැනීමට ද නිර්ආගමිකව ජීවත්වීමට ද නීතියෙන් ඉඩ කඩ සළසා තිබේ. ආගමික කටයුතු සංවිධානය කිරීමේ දී ජන ජීවිතයට හිරිහැරයක් නොවන පරිදි කටයුතු කළ යුතු බවට ද අප කියන සිහින ව්‍යවස්ථාව තුළ ප්‍රතිපාදන සකසා තිබේ. ආගමේ නාමයෙන් මිනිසුන් පීඩනයට පත් කිරීමට එරෙහි ප්‍රතිපාදන ද ඒ තුළ තිබේ.

ව්‍යවස්ථාව මගින් ජනයා අපේක්ෂා කරන තවත් එක් ප්‍රධාන කාරණයක් වෙයි. ඒ අමාත්‍යංශ ගණන හා ඇමතිවරුන් ගණන සීමා කිරීම ය. ඔවුන්ට ලබා ගත හැකි වරප්‍රසාද සම්බන්ධයෙන් සීමාවන් පැනවීම ය. හැන්ද ඇති කල බෙදා ගැනීමට නොපෙළඹෙන්නේ කවුද? එවැන්නකට ඉඩ ව්‍යාවස්ථාවෙන් අවුරා දැමීම ඒ නිසා ම කළ යුතු ය. නැත්නම් සිදු වන්නේ අතිවිශාල ඇමතිවරුන් සංඛ්‍යාවක් ද ඔවුන්ට දිනෙන් දින එක්වන වරප්‍රසාද සමූහයක ද බර කරට ගැනීමට ජනතාවට සිදු වීම ය. ඒ නිසා අප සිහින දකින ව්‍යවස්ථාව මගින් මේවාට සීමා පනවා තිබේ.

දැනට පනතක් හැටියට ඇති තොරතුරු දැන ගැනීමේ අයිතිය ව්‍යවස්ථා ප්‍රතිපාදනයක් ලෙස අතුළු කිරීම මගින් තොරතුරු දැන ගැනීමට ඇති අයිතිය තහවුරු කර තිබේ.

ජනතා නියෝජිතයන් සම්බන්ධයෙන් අධ්‍යාපන සුදුසුකම් ප්‍රකාශයට පත් කිරීමක් ද සිදු කළ යුතු බව ජනතා අපේක්ෂාව ය. ඒ යම් අධ්‍යාපනයක් නොලැබූ කෙනෙකුට රටේ ප්‍රතිපත්ති හෝ නීතිය සම්බන්ධයෙන් තීරණ ගැනීමට ඉඩ දීම භයානක නිසා ය. උගත් අය ඊට වෙනස් ලෙස හැසිරෙතැයි සහතිකයක් ඇති නිසා නම් නොවේ. ඉතිහාසය නම් කියන්නේ උගත් නූගත් බේදයක් නැතිවම මේ ජනතා නියෝජිතයන් අතිශයින් අවස්ථාවාදී කියා ය. කෙසේ වුව ද යම් සහනයක් පතා අවම සුදුසුකම ලෙස අපොස උපෙ විභාගයවත් සමත් ව සිටීම සුදුසු කමක් හැටියට අපේ ව්‍යවස්ථා සිහිනය තුළ තිබෙන්නේ ය.

සල්ලි ලැබෙනවා නම් වරප්‍රසාද ලැබෙනවා මේ දේශපාලනඥයන් පනින්නට ද ලෑස්ති ය. රිලව් වගේ ය. ඒ පැනීම සඳහා මුදල් ද තව බොහෝ දේ ද අත යට මාරුවෙන බව සමහරු කියති. ඒ නැතත් පැන්නාම වරප්‍රසාද වත් දිය යුතු ය. ව්‍යවස්ථාවකින් මේ පැනිලි නවත්වන්නට හැකි වෙතැයි ජනතාව අපේක්ෂා රඳවා ගෙන සිටිති. ඒ කියන්නේ පනින්නේ නම් ආසනය අහිමි වෙන බවට ප්‍රතිපාදන සැකසිය යුතු බව ය. අපේ සිහින ව්‍යවස්ථාව තුළ එවැනි ප්‍රතිපාදන ඇත.

හිඟා කෑම ව්‍යවස්ථාවෙන් තහනම් කර තිබේ. තමන්ගේ ජිවිතය ගෙන යෑමට සුදුසු ආදායම් මාර්ගයක් නොමැති අය රජයෙන් රැක බලා ගැනේ. ඒ ආදායම් මාර්ගයක් රජය ද මැදිහත් වී ඇති කර දෙන තෙක් ය. ඒ සඳහා ද ප්‍රතිපාදන ව්‍යවස්ථාවට ඇතුළත් කර ඇත.

අධ්‍යාපනය හා සෞඛය පිළිබඳ මූලික වගකීම රජය විසින් දැරිය යුතු බවටත් දළ දේශීය නිශ්පාදනයෙන් නිශ්චිත අගයක් මේ සඳහා වෙන් කිරීමටත් ව්‍යවස්ථාව තුළම ප්‍රතිපාදන සැකසිය යුතු බව ද අපේක්ෂා කෙරේ.

උසස් අධ්‍යාපනය සඳහා රජය වැය කරන මුදල රජයේ ආයතනයක උසස් අධ්‍යාපනය හදාරන්නේ නම් එසේ ලබන පුද්ගලයා නමින් යම් ගිණුමක සටහන් වෙන අතර යම් හෙයකින් එසේ බදු මුදලින් අධ්‍යාපනය ලද කෙනෙකු රට හැර යනවා නම් ඒ මුදල ගෙවීමට කටයුතු කළ යුතු බවට ද මේ කියන සිහින ව්‍යවස්ථාවේ ප්‍රතිපාදන සකසා තිබේ. රට තුළ සේවය කරන කාලය අනුව ද විශේෂයෙන් දුෂ්කර පළාත්වල සේවය කරන කාලය අනුව ද මුදල් නැවත ගෙවීමකින් තොරව ඒ ගිණුමේ ණය පියවිය හැකි ය (මහාචාර්ය රොහාන් සමරජීව මහතාගේ සංකල්පයට අනුව ගොඩ නගන ලදී). මේ ක්‍රමවේදය ව්‍යවස්ථාවට ඇතුළත් කිරීම මගින් ජනතාවගේ බදු මුදල්වල ආයෝජනයන් ජනතාවටම ලබා ගත හැකි ලෙස සහතිකයක් ජනතාවට ලබා දී ඇත.

අපේ සිහින ව්‍යවස්ථාව තුළ විෂම ලිංගිකයන්ට මෙන් ම සමලිංගිකයන්ට ද සංක්‍රාන්ති ලිංගිකයන්ට ද සිය අනන්‍යතාවය ඇතිව ජීවත් වීමේ ප්‍රතිපාදන සළසා ඇත. ඔවුන් අතර විවාහ ඇති කර ගැනීමට ද ඉඩක් ඒ ප්‍රතිපාදන තුළ ඇත. ඒ මේ සෑම ප්‍රවණතාවයක් ම ස්වභාවික බවට වෛද්‍ය පර්යේෂකයන් විසින් සනාථ කර ඇති නියමයන්ට අනුව යමිනි.

ළමා විය ඉක්මවූ කෙනෙකුට ආදරය කිරීමට ද එකිනෙකාට ආදරය කරන දෙදෙනෙකුට ප්‍රසිද්ධියේ සිප වැළඳගැනීමට ද අයිතිය ලබා දී තිබේ. එවැන්නන්ට බාධා හිරිහැර කරන අය දණ්ඩනයට යටත් කළ යුතු බවට ප්‍රතිපාදන ව්‍යවස්ථාවට ඇතුළු කර තිබේ. ආදරය කිරීම සඳහා කප්පම් ගෙවීමට සිදු වීමෙන් මිනිසුන් මින් පසු නිදහස් වෙනු ඇතැයි අපේක්ෂිත ය.

පනින්නට ඉඩ ව්‍යවස්ථාවෙන් ම අහුරා ඇති නිසා මේ සිහින ව්‍යවස්ථාව සම්මත වීමෙන් පසු සංශෝධනයන්ට ලක් නොවී දිගු කලක් පවතිනු ඇතැයි යන අමතර සිහිනයක් ද අපි අවසාන වශයෙන් දකිමු.

Advertisements

Leave a Reply

Fill in your details below or click an icon to log in:

WordPress.com Logo

You are commenting using your WordPress.com account. Log Out / Change )

Twitter picture

You are commenting using your Twitter account. Log Out / Change )

Facebook photo

You are commenting using your Facebook account. Log Out / Change )

Google+ photo

You are commenting using your Google+ account. Log Out / Change )

Connecting to %s