අපේ සිහින නිශ්පාදනය

(මේ ලිපිය මුල් වරට පළවුනේ 2017 ජූලි 25 දින දිනමිණ පත්‍රයේ දීපන කොළමේ ය.)

gear wheels

එය රූපවාහිනී වැඩ සටහනකි. විද්වතුන්ගේ සාකච්ඡාවකි. සවුදි අරාබියාවේ සේවය කරන ලාංකිකයෙකු දුරකථනයෙන් සිය අදහස් දක්වමින් කියා සිටියේ ශ්‍රී ලංකාව යනු තමන්ට අවශ්‍ය හැම දෙයක්ම පිටරටින් ගෙන්වා ගන්නා රටක් කියා ය. අඩුම තරමේ බයිසිකලයක් වත් හදා ගන්නේ නැති රටක් බව ය. මේ විද්වත් සභාවේ සිටි හැම කෙනෙකුම මේ මතය අගය කරමින් කියා සිටියේ ලංකාවේ මිනිසුන්ට අවශ්‍ය දේ ලංකාවේ නිපදවීමට පියවර ගත යුතු බව ය.

මෙය බරපතලව සැළකිය යුතු වන්නේ කරුණු දෙකක් නිසා ය. පළමුවැන්න මේ මතය ගෙනෙන්නේ රට තොට ලෝකයේ ඇවිද දැන උගත් කෙනෙකි. අරාබිකරයේ සේවය කරන කෙනෙකි. දෙවැන්න මේ මතය උඩ දමමින් ඊට පලිප්පු දැම්මේ රටේ ඉන්නා විද්වතුන් පිරිසකි.

ඊට පසු දිනයක ආසියානු සංවිධානයේ මහා ලේකම්ගේ කතාවකට සවන් දීමට මට ඉඩ ලැබුනේ ය. ඔහු අවධාරණය කර සිටියේ ආසියානු සංවිධානයට අයත් රටවල දියුණුවට පදනම වැටුනේ අපනයනය සඳහා යොමු වීම හරහා බව ය. ඔහු තවදුරටත් කියා සිටියේ දේශීය වෙළඳපොලට භාණ්ඩ නිශ්පාදනය කිරීමට වඩා විදේශීය වෙළඳ පොළට භාණ්ඩ නිපදවීම අභියෝගාත්මක බව ය. නියමිත නිමාවකින් ගුණාත්මක භාවයකින් යුතු වීමට අමතරව නියම කරන ලද කාලය ඇතුළත නිපදවීමට සිදු වීම ද එසේම වඩාත් තරගකාරී මිලකට නිපදවීමට සිදු වීම ද ඊට හේතුව ය. ඒ අභියෝග වලට මුහුණ දෙන ආයතන වඩාත් කාර්යක්ෂමව හා ඵලදායීව වැඩ කිරීමට උගන්නා බව ද ඔහු කීවේ ය. ඔහු නොකීවත් එවන් ආයතනයකට දේශීය වෙළඳ පොළ ජය ගැනීමට ඇති ඉඩ පවා ඉමහත් ය.

ඉතින් රටේ අවශ්‍යතා සපුරාලන්නට නොහැකි වීම ගැන අප ලත වෙන විට දියුණු වෙන රටවල් කරන්නේ ලෝකයේ අවශ්‍යතා සපුරාලන්නට උත්සුක වීම ය. දෙවැනි ලෝක මහා යුද්ධයේ අළු ගසා නැගිටින විට ජපාන ජනතාවට බොහෝ දේ අහිමිව තිබුනේ ය. ලුණු හා බත් පමණක් අනුභව කළ කාලයක් ද තිබූ බව ජපානයට ගිය මට ඔවුන්ගේ මුවින් ම පැවසූ කීප දෙනෙකු මුණ ගැසුනු බව මතක ය. ඒත් ඒ සමයේ ඔවුහු ලෝකයට බෝනික්කන් නිපදවීමේ නිරත වූහ. ජපන් රටේ උපත ලැබූ බෝනික්කන් ලංකාවට ආවේ ඒ සමයේ ය.

ඒ ජපන් කතාව අද ඊයේ කතාවක් නොවේ. එක් දහස් නමසිය පනස් ගණන් වල කතාවකි. දෙදහස් දහ හතේ ජීවත්වෙමින් අපි තවමත් හිතමින් ඉන්නේ ලංකාවට අවශ්‍ය දේ තනන්න ය.

මේ කතාව ඊයේ පෙරේදා වෛද්‍ය අධ්‍යාපනය සම්බන්ධයෙන් පැවති සාකච්ඡාවක දී වෛද්‍ය අධ්‍යාපනය සම්බන්ධ මහාචාර්යවරයෙකු ද පුන පුනා කීවේ ය. ලංකාවේ දැනට වෛද්‍ය වරුන්ගේ හිගයක් තිබුණ ද අනාගතයේ අතිරික්තයක් ඇතිවනු ඇතැයි ඔහු කීවේ ය. ඒ නිසා වෛද්‍ය අධ්‍යාපනය පුළුල් කිරීම පරිස්සමෙන් කළ යුතු යැයි ඔහු කිවේ ය. රටට කොතරම් අවශ්‍ය දැයි බලා ඒ ප්‍රමාණය පමණක් ඇති කළ යුතු යැයි ඔහු කීවේ ය.

ඔහුගේ විශේෂඥ මොළයට නොවැටහුනු කාරණය නම් රට තුල වෛද්‍ය අතිරික්තයක් තිබේ නම් අද අප පිටරට යවන ගෘහ සේවිකාවන් වෙනුවට වෛද්‍යවරුන් යැවිය හැකි බව ය. ලෝකයේ වැඩිහිටි ජනගහණය වැඩිවෙමින් පවතින නිසා සෞඛ්‍ය ක්ෂේත්‍රයේ වෘත්තිකයන්ට ඉහළ ඉල්ලුමක් අනාගතයේ දී ලැබෙනු ඇති නිසා ම සෞඛ්‍ය ක්ෂේත්‍රයට අවශ්‍ය වෘත්තිකයන් රටේ ඉල්ලුමට වඩා වැඩියෙන් ඇති කළ යුතු බව හා ඉන් රටට වාසියක් ලබා ගත හැකි බව ය. රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය අකුල් හෙලන්නේ වෛද්‍ය අධ්‍යාපනය පුළුල් කිරීම සම්බන්ධයෙන් පමණක් නොවේ. සෞඛ්‍ය ක්ෂේත්‍රයේ කිසි දු අධ්‍යාපනයක් පුළුල් කිරීමට ද එරෙහිව ය. ඒ වෛද්‍යවරුන්ට හා සෞඛ්‍ය ක්ෂේත්‍රයේ වෙනත් වෘත්තිකයන් අතර ඇති සීතල යුද්ධය නිසා ය. වෛද්‍ය සංගමයක් එවැනි පටු අරගලයක් තුළ කොටු වීම ගැන එක අතකට අපට පුදුම විය නොහැකි ය. වෘත්තීය සමිති කොහොමටත් තමන්ගේ අරමුණු ගැන මිසක පළල් අරමුණු ගැන නොබලන නිසා ය. එහෙත් වෛද්‍ය අධ්‍යාපනය සම්බන්ධ විශේෂඥයෙකු රටේ අවශ්‍යතාවය ඉක්මවන අතිරික්තයක් ඇති වෙතැයි බියෙන් වෛද්‍ය අධ්‍යාපනයට සීමා පනවන විට ඔහු ද වැටෙන්නේ අප අර කලින් කී විද්වතුන්ගේ ගණනට ය.

මෙසේ විවිධ විද්වතුන්ට මේ කොදෙව්වෙන් එහා පළල් ලෝකය දෙස බලන්නට නොහැකි ව ඇත්තේ මන් ද? කාලයක් තිස්සේ මේ රටට අවශ්‍ය දේ දේශීයව නිපදවිය යුතු ය යන මතවාදය ශක්තිමත් ලෙස ගෙන ගිය නිසා ය. ඒ මතවාදය කිසි දු ජයග්‍රහණයක් මහ පොළොව මත නොලැබුව ද මිනිස් සන්තානය තුළ පැලපදියම්ව ඇති නිසා ය.

 

මෙවැනි කතාවලට යම් පසුබිමක් හැත්තෑව දශකයේ තිබුනු බව සැබෑ ය. ශ්‍රී ලංකාව රටක් හැටියට මේ රටට අවශ්‍ය දේ රට තුළ නිපදවීමේ අවශ්‍යතාවය ප්‍රතිපත්තියක් ලෙස පිළිගෙන කටයුුතු කළ බව ද සැබෑ ය. එහෙත් ඒ අත්හදා බැලීම සාර්ථක වූයේ නැත. ලංකාවේ පමණක් නොව ලෝකයේ බොහෝ රටවල ද ඒ ප්‍රතිපත්තිය අර්බුදයකට ගියේ ය. සමාජවාදී රාජ්‍ය පද්ධතිය බිඳ වැටීමට ද එය හේතුවක් විය. ලංකාව ද විවෘත ආර්ථිකය වැළඳ ගත්තේ ඉන් පසු ය.

1977 සිදු වූ ඒ පරිවර්ථනයෙන් දශක හතරකට පසුව ද තවමත් ඒ පැරණි මතවාදය ඉදිරියට එන විට අපේ මනස යන්නේ කෙතරම් හෙමින් යන ගමනක් ද යන්න පැහැදිලි ය.

ආර්ථික විවෘත කිරීම එකවර කරන්නේ නැතිව අනුක්‍රමයෙන් කළ යුතු ව තිබූ බවට සමාජ මතයක් තිබුන ද විවෘත කිරීම නොකළ යුතුව තිබුනේ යැයි කියන්නට ඉදිරිපත් වන අය අද වන විට අඩු ය. ලෝකයේ සිදුවන දේ නොදන්නා මිනිසුන් විසින් බරාඳයක සිදු වන සතුටු සාමිචියක දී කීවොත් මිසක විවෘත ආර්ථිකය නැති කළ යුතු යැයි වගකීමකින් කියන අය සොයා ගැනීම අද වන විට අමාරු ය. උතුරු කොරියාව වැනි රටක් දෙකක් හැරුණු විට මේ වන විට එවැනි ආර්ථික ප්‍රතිපත්ති අනුගමනය කරන රටවල් ද ලෝකයේ නැත.

පසු කලෙක පත් වූ ආණ්ඩු ද විවෘත ආර්ථිකය විවේචනය කළ දේශපාලන බලවේගයන්ගෙන් සමන්විත වුන ද විවෘත ආර්ථිකයට මානුෂික මුහුණුවරක් දෙනු මිසක එය වෙනස් කරන බව කීවේ නැත. එවැනි තත්වයක් යටතේ දේශීය අවශ්‍යතා සඳහා නිපදවිය යුතු යැයි යන මතය නැවත නැවතත් මතුවන්නේ කෙසේ ද? සිය රට දේ සිරි සැපදේ යන උදාන වාක්‍ය නිරන්තරයෙන් අසා ඇති අපේ පසුගාමී මනසට අමතරව ඒ පසුපස ඇත්තේ ගැඹුරට නොයන මතුපිට සරල තර්කය ය. පිටරටට සල්ලි යවන්නේ කුමකට ද? එවැනි සරල තර්කයක් ගෙනෙන මනසට පිටරටින් සල්ලි ගෙන්වා ගැනීමට අපට හැකියාවක් ඇතැයි යන්න නොවැටහීම ය.

අප අද ජීවත්වන්නේ එකිනෙකා මත රඳන ලෝකයක ය. අපට වඩාත් හොඳින් කළ හැක්කේ කුමක් ද අප විසින් එය කළ යුතු යැයි සිතිය යුතු ලෝකයක ය. ඒ දෙය විකුණා අපට අවශ්‍ය දේ ඒ දෙය වඩාත් හොඳින් නිපදවිය හැකි තැනකින් ඒ ලැබෙන මුදල් භාවිතා කොට මිලට ගත යුතු යැයි පසක් කළ අන්තර් පැවැත්මක් ඇති ලෝකයක ය. තමන්ට අවශ්‍ය දේ තමන් නිපදවා ගත් යුගය තිබුනේ බොහෝ ඈත ය.

ලෝකය බොහෝ ලොකු එකකි. ලෝකයට අවශ්‍ය යමක් වෙන කාටවත් වඩා හොඳින් අපට නිපදවිය හැකි නම් අපට හිමිවන්නේ අතිවිශාල වෙළඳ පොලකි. ඒ වෙනුවට අපට අවශ්‍ය දේ නිපදවා ගන්නා විට අපට ලැබෙන්නේ ඉතාම පටු සීමා සහිත වෙළඳ පොළකි. ලොකු වෙළඳ පොලකට නිපදවිය හැකි නම් අපට විශාල තොග නිශ්පාදනය කළ හැකි ය. එවිට අපේ නිශ්පාදන වියදම අඩුවන බැවින් වඩාත් අඩු මිලකට ද විකිණිය හැකි ය. ආර්ථික විද්‍යාවේ මේ සංකල්පය හඳුන්වනුයේ economy of scale යනුවෙනි. අපේ රටට අවශ්‍ය දේ අප නිපදවා ගන්නවා යන සංකල්පය තුළ අප කරන්නේ අපටම සීමා මායිමක් දමා ගැනීම ය.

ලෝකයට අවශ්‍ය අපට කළ හැකි සුවිශේෂී දේ මොනවා ද?

අපේ රටේ දේශගුණය හා පස නිසා වැවිය හැකි සුවිශේෂී භෝග ඒ ගණයට අයත් වේ. එක් කලෙක සිලෝන් ටී ලෙස ජනප්‍රිය වූ ලංකාවේ තේ එවැන්නකි. පිටරටවල කසල තේ සමග සම්බන්ධ කර විකිණීමෙන් අප අහිමි කර ගත්තේ අප සතු වූ ඒ සුවිශේෂීත්වය ය. තේ වලට අමතරව ලංකාවේ කුරුඳු ද ලෝකයේ ඉහළම මිලක් ලබා ගත හැකි භෝගයකි. තවත් එවැනි භෝග වර්ග තිබේ දැයි අපට බැලිය හැකි ය. එවැනි භෝග වඩාත් ගුණාත්මක මට්ටමෙන් නිපදවිය හැකි ද යන්න අප විසින් සොයා බැලිය යුතු ය.

ලංකාවට ආවේණික මැණික් වර්ග ද ඛණිජ ද්‍රව්‍යය ද එවැනි සුවිශේෂී දේ අතර වෙයි. මැණික් යැයි කියා ගෙවුඩ විකුණා අලකලංචිවලට ලක්වූ මැණික් වෙළඳ පොළද තේ මෙන්ම අප අහිමිකරගනිමින් පවතින තවත් එකකි.

කර්මාන්ත ක්ෂේත්‍රය තුළ අප ලෝක දැවැන්තයෙකුව සිටින්නේ ගුවන් යානාවලට ටයර් නිපදවන කර්මාන්තයේ ය. ඊට අමතරව ඇගලුම් කර්මාන්තයේ ද අපේ නම තවමත් ඉහළින් පවතී. ජී ඇස් පී අහිමි වූ පසු ද අපේ ඇගලුම් වෙළඳපොළ එහැම පිටින්ම කඩා නොවැටුනේ ඒ නිසා ය.

සංවර්ධනය වෙමින් පවතින රටවලට සාපේක්ෂව අපේ මානව සම්පත් දර්ශකය තවමත් තියෙන්නේ ඉහළිනි. එහි තේරුම අප සතුව සාපේක්ෂකව දියුණු හා වඩාත් දියුණු කළ හැකි විභවයක් සහිත මානව සම්පතක් තිබෙන බව ය. ඒ සුවිශේෂීත්වය ද අපට භාවිතා කළ හැකි ය. ඒ මානව සම්පත කෙළින් ම විකිණීම හෝ ඒ සම්පත හරහා නිපදවන භාණ්ඩ හෝ සේවාවන් විකිණිම මගිනි. අප කලින් ද කී පරිදි අප දැන් කරන්නේ අපේ කාන්තාවන් ගෘහ සේවිකාවන් හැටියට විකිණීම ය. ඒ වෙනුවට හෙදියන් සුවසේවකයින් වෛද්‍යවරුන් විකිණීමට අපට පුළුවන. අනිත් අතට ඒ අය භාවිතයෙන් අඩුමිලකට සේවාවන් සැපයීමේ මධ්‍යස්ථානයක් ලෙස රටම සංවිධානය කිරීමට පුළුවන.

අප රටේ සෞම්‍ය දේශගුණයක් තිබේ. එය ද සුවිශේෂයකි. ඒ සුවිශේෂී ගුණය ඉහත ඡේදයයේ අප සඳහන් කළ ගුණය සමග එක් කිරීම මගින් වෙන රටවල වියපත් අයට සෞඛ්‍ය සේවයක් සපයන අතරේ විශ්‍රාම සුවයෙන් කාලයක් මෙහි ගත කළ හැකි පහසුකම් නිර්මාණය කිරීමට අපට හැකි ය. එය අප රටේ පවතින කෙටි දුරක් තුළ පරිසාරික විවිධත්වයක් තිබිමේ සංචාරක ව්‍යාපාරයට යොදා ගත හැකි සුවිශේෂී ගුණය ද එක් කොට භාවිතා කළ හැකි ය.

සංචාරක ව්‍යාපාරය දියුණු කිරීමට අපට ඇති ආවේණික සුදුසුකම් රාශියකි. පරිසාරික හා ජීව විවිධත්වයට අමතරව ස්වභාවික වෙරළ හා රට වටේ ඇති තල්මසුන් හා මෝරුන් ගැවසෙන මුහුද ද අපේ ඉපැරණි ශිෂ්ඨාචාරයක නටබුන් ද තව බොහෝ දේ ද තිබෙයි. එසේ වුව ද මේ වෙරළ පිරිසිදුව තබා ගැනීමට අප එන්න එන්නම අපොහොසත් වන බව පෙනෙන්නට තිබේ. අපේ නගර ද හිටිහැටියේ කුණු කසල වලින් පිරෙනු පෙනේ. එවැනි වටපිටාවක ආකර්ෂණය වන්නේ සංචාරකයින් නොවේ. මැස්සන් හා ඉහඳ පනුවන් ය.

සංචාරක ව්‍යාපාරයට කණ කොකා හැඩවෙන තව හේතුවක් නම් මිනිසුන්ගේ ඔලු තුළ ඇති කුණු කන්දල් ය. ඒවා මහ පොළොව මත ඇති කුණු කන්දල් වලට ද වඩා භයානක ය. සංචාරකයන් යනු මුදල් ගසා කෑ හැකි විභවයක් ලෙස දැකීම එයින් එකකි. විදේශීය කාන්තාවන් පහසුවෙන් ලිංගික ගොදුරු බවට පත් කර ගත හැකි යයි සිතීම තවත් එකකි. මෑතක දී අපේ රටේ ත්‍රීවීලර් රියැදුරන් ගැන ඇමරිකානු තනාපති කාර්යාලය චරිත සහතිකයක් දෙමින් කියා තිබුනේ විදේශීය කාන්තාවන් තනිවම ත්‍රීවීලර් වල ගමන් කිරීමේ දී ලිංගික හිංසනයන්ට ලක් වීමේ ඉඩ තිබෙන බව ය. මුදල් හෝ ලිංගික සුවය මෙසේ දිගින් දිගට උදුරා ගත හැකිය යන ආකල්පය අප පාරම්බාන ඉහළ මානව සම්පත් දර්ශකය සමග ද ගැලපෙන්නේ නැත. එක් පැත්තකින් අපේ සුවිශේෂීතාවයන් නිසි ලෙස උපයෝගී කරගන්නා අතරේ අප තුළ ඇති මෙවැනි දුර්වලකම් බැහැර කිරීමට ද සමාන උත්සහයක් දැරිය යුතු ව තිබේ.

ඉහළ  මානව සම්පත් දර්ශකයක් තිබීමේ සුවිශේෂිත්වය පාදක කර ගෙන අප රට තුළ ඉදිරියට යන නවතම කර්මාන්තය මෘදුකාංග නිශ්පාදනය යි. ලෝකයේ සුවිශේෂී ආයතනයන්ට පවා මෘදුකාංග නිපදවමින් සේවය සැලසීමට අපේ තරුණ කර්මාන්තයකට හැකි වී තිබීම ම අප යා යුතු මග පිළිබඳ විශාල ඉගියක් අපට ලබා දෙයි. අපේ සිහින නිශ්පාදන පරාසය තුළ අන්තර්ගත වන්නේ අපට අවශ්‍ය දේ නොවේ. අපට වඩාත් හොඳින් නිපදවිය හැකි ලෝකයේ වඩාත් ඉල්ලුමක් ඇති එවැනි දේ ය. ඒ සඳහා ජනතාව ලක ලෑස්ති කිරීම රට මෙහෙයවන අය සිය වගකීම සේ සළකා කටයුතු කරනු අප දකින සිහිනය තුළ අමතර වශයෙන් තිබෙන්නේ ය.

ඒ සිහිනය තුළ ඇත්තේ සිය රට දේ සිරි සැපදේ යන්න නොවේ. වඩා හොඳ දේ සැබැවින්ම සැප දේ යන්න ය. වඩා හොඳ දේ නිපදවිය හැකි සීමාව තුළ රැඳි ඉතිරිවා අපට වඩා හොඳින් නිපදවන තැනකින් ගත්තාට පසුතැවිලි විය යුතු නැත යන ආකල්පය ඒ නිසා ම රට තුළ ඇතිවනු ඇතැයි බලාපොරොත්තුවක් මේ සිහිනය තුළ තිබේ. අප එකිනෙකා මත රැඳෙන ලෝකයක සමාන සගයින් ලෙස සෙසු ලෝකය දෙස බලන මිනිසුන්ගෙන් පිරි රටකින් ද මේ සිහිනය සෑදී තිබේ.

ඒ නිසා ම රටක් හැටියට විවිධ ක්ෂේත්‍රයන් තුළ සන්නාමයන් බිහිකර ගැනීමට අවශ්‍ය උපාය මාර්ගයන් ඇති කර ගැනීමේ සිහිනයක් ද අපට තිබේ. ඒ උදෙසා ලංකාව යනු ලේබල් බෞද්ධයින්ගේ නොව සෙසු මිනිසුන් පිළිබඳ ගෞරවයෙන් යුතු හා මෛත්‍රීයෙන් යුතු සැබෑ බෞද්ධ ආචාර ධර්මයන්ගෙන් යුතු මිනිසුන්ගේ රටක් හැටියට සන්නාමයක් දිනා ගත යුතුව තිබේ. ඒ නිසා ම විශ්වාසයෙන් යුුතුව ගනුදෙනු කළ හැකි රටක් බවට ඉහළ ගුණාත්මක සේවයක් හා නිශ්පාදන සපයන රටක් බවට සන්නාමයක් රට පිළිබඳව ඇති වෙතැයි ද අපේක්ෂිත ය. ඒ හේතුවෙන් ම අපේ භාණ්ඩ හා සේවාවන් වල සුවිශේෂී අමතර වටිනාකමක් ද එක් වෙනු ඇතැයි ද අපේක්ෂිත ය.

Advertisements

Leave a Reply

Fill in your details below or click an icon to log in:

WordPress.com Logo

You are commenting using your WordPress.com account. Log Out / Change )

Twitter picture

You are commenting using your Twitter account. Log Out / Change )

Facebook photo

You are commenting using your Facebook account. Log Out / Change )

Google+ photo

You are commenting using your Google+ account. Log Out / Change )

Connecting to %s