අපේ සිහින නගරය

cattle in streets

සමහරු නම් කියන්නේ ලංකාවේ නගර කියා ජාතියක් නැතැයි කියා ය. ඒ අර්ථකථනයට අනුව තියෙන්නේ ටිකක් එක විදිහකට සකස් වූ ගම් ය.

හරක් පට්ටි පිටින් අයාලයේ යන, හිටි හැටියේ උන් මහ පාරවල් පවා හරස් කරමින් පැදකුණු කරන, තැනකට නගරයක් කියා කීම අමාරු බව එක් අතකින් ඇත්ත ය. ඒත් ඒ ඉතින් අපේ නගරයේ හැටි ය. ඇත්තටම අපට බලන්නට තියෙන්නේ මෙහි හොඳ පැත්ත ය. ඒ කියන්නේ පයට පෑගෙන්නේ නැති නම් ගොම එකතු කර පොහොර ලෙස භාවිතා කිරීමේ අමතර වාසියක් තියෙනවා යන කාරණය හරක් ගැන අඳෝනා නගන අප විසින් බරපතල වාසියක් හැටියට ගත යුතු බව ය.

අයිතිකාරයින් නැති අයාලයේ යන බල්ලන්ගෙන් නම් නගර වල අඩුවක් ඇත්තේ ම නැත. ඒ අතරින් මිනිසුන් හපා කන බල්ලෝ ද හපා නොකෑවත් බුරන බල්ලෝ ද සිටිති. උන් එකෙක් දෙන්නෙක් හපා කෑවාට එන්නත් කරවා ගැනීමට සායන තියෙන නිසා එහෙමට ආබාධයක් ද නැත. ජල භීතිකාව තරම් ම උත්සන්න විය හැකි බලු භීතිකාවට උපේක්ෂාවෙන් ජීවත් වීමට හැකි ලෙස ජනයා මේ නගර විසින් පුහුණු කෙරේ. ඒ නිසා ම මේ බලු රැල නඩත්තු කරන, උන්ට කෑම ගෙනත් දැමීම දෛනික ජීවිතයේ පුරුද්දක් කරගත්, දයාබර උපාසක උපාසිකාවෝ ද මේ නගර අරා සිටිති. කෑම හැරෙන්නට උන්ට ලැබෙන වෙන දෙයක් නැතත් අපේ රටේ බල්ලෙකුට ඒ හැටි දෙයක් අවශ්‍ය වන්නේ ද නැති නිසා එහි ද ගාණක් නැත.

අලි මදිවට හරක් කීවේ ඉස්සර ය. දැන් කියන්න වෙන්නේ බල්ලන් හරකුන් මදිවාට වඳුරන් ද ඉන්නා බවකි. උන් උළු කැටයක් ඉතිරි කරන්නේ නැත. ගහක ඵලයක් තියන්නේ නැත. එහෙම බැලුවහම වනසතුන් බැලීමට කැළයට යාමට අපේ රටේ නගර වැසියන්ට සිදු වන්නේ නැත. ඒ අතින් ද අප වාසනාවන්ත ය.

මේ නගරවල මේ කප්පරක් සත්තු අතර මිනිස්සු ද වෙසෙති. සත්තුන්ට තියෙන හරසර දයාව නැතිව ම උහුහු එහි ජීවත් වෙති.

නගරයේ ඇති කාණුවල නොවැටී සතුන්ගේ දයාව ද ලැබ වාහනයක නොහැපී ගමන් කරන්නට තරම් බොහෝ දෙනෙක් පින් කර ඇති නිසා කාණු වසා නොදැමේ. සතුන් ආම්බාන් නොකෙරේ. වාහන, ඒ ගැන නම් වෙනම කතා කළ යුතු ය.

පොලීසියට දඩ ගැසීම සඳහා පමණක් පාර කෙලින් තියෙන තනි ඉර හෝ දෙඉර තියෙන තැන්වල අල්ලා ගැනීමට කටයුතු යොදා ඇති නිසා වාහන සම්බන්ධයෙන් පාලනයක් නැතැයි ම කිව නොහැකි ය. විනය රකින රියැදුරෙකුට පාරේ වාහනය පැදවීම අතිශයින් අමාරු කරමින් බඹ දහයෙන් දහයට පදිකයන්ට මාරු වීමට කහ ඉරි (දැන් නම් සමහර තැන්වල සුදු ඉරි) ඇතත් බොහෝ රියැදුරන් ඒවා තඹයකට ගණන් ගන්නේ නැත. ඒ නිසා ම වැඩිම රිය අනතුරු සිදු වන්නේ මේ පදික මාරු වලදී වීම ද පුදුමයකට කරුණක් නොවේ.

ආර්ථික විද්‍යාවේ පොදු භාණ්ඩයක් හඳුන්වාදීමට උදාහරණයට බොහෝ විට ගන්නේ වීදී ලාම්පු ය. වීදී ලාම්පුවක් සැපයීමෙන් ආදායමක් ඉපදවීම අමාරු ය. ඒ නිසා පෞද්ගලික අංශය එවැනි දේට ආයෝජනය කරන්නේ නැත. විදි ලාම්පු රජයෙන් හෝ නගර සභාව වැනි ආයතනයකින් සැපයෙන්නේ ඒ නිසා ය. අපේ දේශපාලන අග නගරය වන ශ්‍රී ජයවර්ධන පුර කෝට්ටේ වත් ප්‍රධාන මංමාවත් වල තවම වීදි ලාම්පු හරි හමන් විදිහට නැත. ඒ පුද්ගලික කඩ සාප්පු මිසක් හරිහමන් නගර සභාවක් නැති නිසා ය. පාරවල්වල දිවෙන වාහන හා තිබෙන කඩ සාප්පු වල ලාම්පු නිසා ඒවා අවශ්‍ය නැතැයි සිතුවා වෙන්නට ද පුළුවන. සමහර අතුරු පාර වල මේ ලාම්පු කනු ඇතත් බොහෝ තැන්වල ඒවායේ දැල්වෙන බල්බ නැත. ධනාත්මකව බලා අප කළ යුත්තේ දැල්වෙන බල්බ නැති කම ගැන දුක්වනවා වෙනුවට අඩු වශයෙන් ලාම්පු කනු තිබීම ගැන සතුටු වීම ය.

නගරයේ පාරවල් තියෙන්නේ නගර සභික මහත්තුරුන්ට කොන්ත්‍රාත් කරන්නට ය. ඒ නිසාම දෝ ඒවා හදන්නේ කැඩෙන්න බලාගෙන ය. එසේ පාරක් අබලන් වුනාම කරන්නේ එය හැදීම නොවේ. බස් ධාවනය නැවැත්වීම ය. එහෙම බැලුවහම දඩ දෙකකි. ගහෙන් වැටුන මිනිහාට ගොනා අනින උපහරණය ගමට ය. පාර කැඩුනහම බස් එකත් සෙත්තපෝච්චි වන උදාහරණය නගරයට ය.

ගෙවල් වල එකතු වන කුණු තියෙන්නේ නගර සභා සේවකයන්ට හිතුනහම ගෙනියන්න ය. ඔවුන්ට හිතුන දාට හොඳ ය. නැත්නම් නුවරු අනාථ ය. එහෙම අනාථ වෙන මිනිසුන් කරන්නේ තමන්ගේ කුණු වෙනත් තැනක ගොඩ ගැසීම ය. ඒ තැන අවට අය, ඒ කටයුත්ත නිසා අතරමං වන අය, කරන්නේ පළමුව බෝඩ් ගැහීම ය. කුණු දමන අය බල්ලන් ලෙස සැලකෙන බව ද දැම්මොත් දඩුවම ලෙස අහවල් එක ලැබෙන බව ද ඒවායින් කියවෙතත් ඒවා මිනිසුන් ගණන් ගන්නේ නැත. ගනන් ගත්තත් කරන්නට දෙයක් ද මිනිසුන්ට නැත. එහෙම අර්බුදයකට ගිය කුණු ප්‍රශ්න වලට මිනිසුන් විසඳුම් සොයන්නේ බුදු පිළිම ගෙනත් සිටවීමෙනි. නැතිනම් සුරුවමක් ඉදිකිරීමෙනි. එහෙම බැලුවහම අවසානයේ කුණු ප්‍රශ්න විසඳන්න සිදුවන්නේත් බුදුන්ට ය. නැතිනම් ජේසුස්ට ය.

නගර ආශ්‍රිතව කාක්කන් විසින් පැල කරන ලද, මිනිසුන් විසින් වන්දනා මාන කරන, බෝගස් තිබේ. ඒවා කපා දමන්නට කවුරුවත් ඉදිරිපත් නොවේ. බැරිවෙලාවත් ඉදිරිපත් වුවහොත් ඒවා ආරක්ෂා කරන්නට, එසේ ඉවත් කරන්නට හදන වුන් මරාගෙන මැරෙන්නට, ඉදිරිපත් වන අය සිය ගණනින් මේ නගරවල වෙසෙති. ඒ නිසා අපේ නගර මේ මට්ටමේ පැවතීම ගැන අප පුදුම විය යුතු නැත.

කොළඹට කිරි ගමට කැකිරි වූයේ ඊයේ ය. පස්සේ කොළඹ නැති ඒවා පවා ගමේ දී ඇති විය. කඳු නාය යෑම මෙසේ  කොළඹට නොලැබී ගමට ලැබුණු එක් දයාදයකි. නගරයට එයින් අඩුපාඩුවක් වෙන්නට අපේ නගර සභා ඉඩ දුන්නේ නැත. නාය යන කුණු කඳු හදා ඔවුහු නගරයට ද ඒ සම අවස්ථාව ලබා දුන්නේ ය. මෙසේ ගමත් නගරයත් අතර තිබූ පැහැදිලි වෙනසක් මෙසේ අවසාන වුණේ ය.

නගරයක් යැයි කීවාට නාට්‍යයක් සංගීත සන්දර්ශනයක් හෝ වෙනයම් සංස්කෘතික කටයුත්තක් නොමැතිව කොළඹ පවා ගෙවෙන සති අන්ත අපමණ ය. ඒ අතින් මෙය නගරයක් කීවාට සංස්කෘතික කාන්තාරයකි. එක අතකට ඉන්දියානු මෙගා ටෙලිනාට්‍ය හා දේශීය රජකතා බලන අපට එහෙමට කියා වෙනත් බඩකඩුත්තුවක් ඕනෑ නැත.

ඒක එහෙම වුනාට නගරයක් කියා කිසිදු පැකිලීමකින් තොරව කිව හැකි එක සාධකයකින් එය පොහොසත් ය. ඒ අතෝරක් නැතිව ඇදෙන වාහන පේලිය ය. ඇදෙනවා යැයි කීවාට සමහර වෙලාවට ඒ පේලිය තියෙන්නේ හිටවලා ය. සමහරු නම් කියන්නේ ඒ පාරේ මාර්ග එලි සංඥා තිබුණ ද ඒවා කවුරුන් හෝ නිවා දමන නිසා කියා ය. සමහර විට ඒ වාහන ගමනාගමනය, නූතන විදුලි ලාම්පු වලින් නොව, වඩාත් කාර්යක්ෂම දියුණු පොලිස් කාරයන් අතින් පාලනය විය යුතු යැයි නගර පාලකයින් කල්පනා කරන නිසා ය. ඒ අතින් අපි බොහෝ දියුණු රටවලට වඩා දියුණු ය. අපි ලයිට් තියාගෙන, ඒවා නිවාගෙන, අප දන්නා සාස්තරයෙන් වාහන ගමනාගමනය පාලනය කරමින් ඉන්නෙමු. ඒ අපේ නගර වල තියෙන කප්පරක් ආශ්චරයන්ගෙන් තවත් එකක් පමණ ය.

හැම මාර්ග එලි සංඥා ළගම සිගන්නෝ ගැවසෙති. ඒ පොලිස් කාරයින්ට විතරක් ලයිට් නැති ව වාහන පාලනය කළ නොහැකි නිසා විය හැකි ය. මේ නිසා නගර වැසියන්ට පන්සල් නොගොහින්ම පිනක් දහමක් කර ගැනීමට ද මගක් පෑදී තිබේ. කොහොමටත් පමා වෙන එකේ තව ටිකක් පමා වුනහම කිම දැයි සිතන්නේ හිගන්නන් පමණක් නොවේ. උන් ගැන වගේ වගක් නැතිව ඉන්නා නගර පාලකයන් ද පොලීසිය ද සිතන්නේ එහෙම ය.

හිගන්නන්ගෙන් වෙන යම් අඩුපාඩුවක් තිබේ නම් එය පිරිමැසීමට දැන් අලුතින් ඉදිරිපත් වී ඇති පිරිසකි. ඒ කප්පරක් උද්ඝෝෂණවල නියැලෙන උද්ඝෝෂණ කරුවන් ය. උද්ඝෝෂණයක සාර්ථකත්වය මැනෙන්නේ ඒ නිසා ඇතිවන වාහන තදබදය අනුව ය. ඒ නිසා ඔවුහු, සිය පිරිස කෙතරම් කුඩා වුව ද, වාහන තදබදය උපරිමයට ඇති කිරීමට වග බලා ගනිති.

නගරයේ ධාවනය වන බස් තිබේ. ඒ වුනාට සමහර බස්තියන්ලා බස් තියන් පයින් යන්නේ පයින් ඊට වඩා ඉක්මණට යා හැකි නිසා ය. රථ ගාය තියෙන අයට යන්නට රථයක් නැත්නම් ත්‍රී වීලර් තිබේ. ඒ නිසා දැන් ඇත්තටම නගරයකට බස් අවශ්‍ය ද යන ප්‍රශ්නය කෙනෙකුට නැගිය හැකි ය. හැම වැඩක් ම හෙමින් කිරීමට දක්ෂ අප කුමක් නිසා ප්‍රවාහනයේ පමණක් වේගය අපේක්ෂා කරන්නේ ද යන ප්‍රශ්නය තවත් කෙනෙකුට නැගිය හැකි ය. ඒවාට උත්තර දන්නා කෙනෙක් නම් නැත.

ටිකක් හයියෙන් වැස්සොත් මහාමාර්ග වාරිමාර්ග වෙන අතර ගෙවල් වැව් බවට පත් වන්නේ ගමත් නගරයත් අතර යම් හෝ වෙනසක් ඉතිරිව ඇත්නම් එය ද නැති කරලමින් ය. ඒ වතුර බැස යන තැන්වල ඉදිකිරීම් කර ඇති නිසා ය. නගර සභාව ඉන්නේ ඒවා නැවැත්වීමට නොවේ. එවැනි ඉදිකිරීම් කරන්නන්ගෙන් නොමනා ගාස්තු අය කර සාක්කුවට දමා ගැනීමට ය. කිසි දෙයක් අනවසරයෙන් ඉදිකරන්නට බැරි ය. ඒ වුනාට තියෙන්නේ ම අනවසර ඉදිකිරීම් ය. අනවසර කිව්වාට හොඳට හොයලා බැලුවොත් ඒවාට අවසර දිය නොහැකි නමුත් ලැබී තිබෙන බව දැනගන්නට ලැබෙනු ඇත.

පදික වේදිකාවේ වෙළෙන්දෝ වෙළඳම් කරන අතර මිනිස්සු මහා පාරේ ඇවිදිති. ඒ නිසා වාහනවලට එහා මෙහා වෙන්නට අමාරු ය.

මොන අඩුපාඩු තිබුණත් ව්‍යායාම සඳහා ඇවිදින්නට නම් මං තීරු නම් විවර ව තිබේ. ඒවා අසල භූමිය ද අලංකාර ය. වැව් පොකුණු වලින් යුක්ත ය. විදී ලාම්පුවලින් එලිය වෙලා ය. නගරයක ලක්ෂණයක් ලෙස ඒවා තිබීම ගැන නගර වැසියන් දැන් ඉන්නේ අතිශයින් ආඩම්බරව ය. ඒ මිනිස්සුන්ට එහෙමවත්  එකක් ලැබීම එක අතකින් හොඳ ය.

නගරයේ කෑම කඩ හා හෝටල් පිරී ඇත්තේ පිටි ගුලිවලිනි. චිකන් බනිස් වල චිකන් හැර වෙනත් බොහෝ දේ තිබේ. මාලු පාන්වල මාලු හැරුණු විට තව බොහෝ දේ තිබේ. එසේ වුව ද ඒ හැම එකකම වැඩි පුරම ඇත්තේ පිටි ය. පිටි ලගට එන අනිත් නොවරදින අංගය තෙල් ය. බෝඩ් එක ගමේ බත් කඩේ වුනාට ඇතුළට ගියාම ලැබෙන්නේ ෆ්රයිඩ් රයිස් හා බුරියානි ය. නැතිනම් ලාංකීය ස්පෙෂල් එක වන කොත්තු ය. ඒ කියන්නේ තෙල් ය.

ඒ නිසා ම අප කලින් කී ඇවිදින මං තීරු මිනිසුන්ට කාපු පිටි ගුලි හා තෙල් ඉවත් කර ගන්නට ලැබෙන අනගි මාවත් වී තිබේ. එහෙම එකක්වත් තිබුනේ නැත්නම් මේ නගර වැසියන් වැඩි දෙනෙක් මැරෙන්නේ දිය වැඩියාවෙනි.

අපේ සිහින නගරය වෙනස් ය. ඒ නගරයේ අයාලේ යන සතුන් අවම ය. හරකුන්ට ද බල්ලන්ට ද අයිතිකරුවන් ඇත. මිනිසුන් වැටී මිය යන විවෘත කානු එහි නැත. එහි වාහන විනයානුකූලව පැදවේ. බොහෝ දෙනා පොදු ප්‍රවාහනය භාවිතා කරන අතර පොදු ප්‍රවාහන සේවා උසස් මට්ටමක ඇත. ඒවා කාල සටහනකට ක්‍රියාත්මක වේ. පැදගෙන යන බයිසිකල් සඳහා වෙනම මං තීරු ඇති අතර ඒවා භාවිතා කරන අය ගණනින් ඉහළ ය.

මාර්ග අවහිර වනසේ හිගා කෑම ද උද්ඝෝෂණයේ යෙදීම ද නීතියෙන් තහනම් අතර ඒ නීතිය ඉතා තදින් ක්‍රියාත්මක කෙරේ. මාර්ග නීති තදින් ක්‍රියාත්මක වන අතර පොලිස් නිලධාරීන්ගේ කාර්ය සාධනය ඉහළ යන්නේ ගහන දඩ ප්‍රමාණය අනුව නොව අඩුවන අනතුරු සංඛ්‍යාව මත නිසා පොලීසියේ අවධානය අනතුරු අඩු කිරීමට මාරු ව තිබේ. පොලීසිය වෙනුවට ස්වයංක්‍රීය සංඥා එලි පද්ධතියකින් වාහන පාලනය වේ.

කුණු වර්ගීකරණය කර ප්‍රතිචක්‍රීය කරණය කෙරේ. කුණු සම්පතක් ලෙස භාවිතා කරන කර්මාන්ත ගණනාවක් බිහි වී ඇත. අහස සූරන මැදුරු තිබෙන අතර ඒවා නිසා නගරයේ ඉඩම් බොහෝමයක් උද්‍යාන සඳහා වෙන්කර ගෙන ඇත. විවිධ වර්ගයේ ආපනශාලා ඇති අතර පිටි සංස්කෘතියෙන් ඉවත්ව ඇති ඒවායින් සමබර ආහාර වේලක් ලබා ගත හැකි ය.

නගරය කාණු පද්ධතියකින් සමන්විත ය. විදුලි බල රැහැන්, දුරකථන රැහැන් හා ජලය සපයන නල පොළොව යට ඉදිකර ඇති පොදු උමගයක ස්ථාන ගත කර ඇති නිසා උඩින් අදින රැහැන් නැති අතර නිතර පාරවල් කැඩීමට ද නිරන්තරයෙන් සිදුවන විදුලි බිඳවැටීම් හා දුරකථන සබඳතා බිඳ වැටීම් ඒ නිසා සිදු නොවේ.

අනවසර ඉදිකිරීම් සියල්ල ඉවත් කර තිබේ. නිසි ලෙස සොයා නොබලා අවසර ලබා දුන් නිලධාරීන් සේවයෙන් පහ කර ඇති නිසාත් ඔවුන්ගේ කටයුතු නියාමනයකට ලක් කර ඇති නිසාත් නිසි ඉදිකිරීම් වලට ඉඩත් සෙසු ඒවාට තහංචිත් වැටී තිබේ. පාරවලට බාධාවන ගස් ද අනවසර ඉදිකිරීම් මෙන් ම ඉවත් කර ඇති නිසා වෙනදා මෙන් හිරිහැරයක් නැතිව වාහන එහා මෙහා යයි. හිටි හැටියේ පාරට යාබදව ඉදිවන ආගමික “කඩ“ වලට ඉඩ නොමැති නිසා ද පදික වේදිකාවේ වෙළඳාම් නොකරන නිසා ද පදිකයන් පදික වේදිකාවට සීමාව ගමන් කරන හේතුවෙන් වාහන ගමනාගමනය පහසු වී තිබේ.

පාරක අඩුපාඩු නිම කිරීමේ වගකීම පාර නිමවන කොන්ත්‍රාත්කරුට නිශ්චිත කාලයකට පවරා ඇති නිසා තවදුරටත් ගුණාත්මක බවින් අඩු පාරවල් නිම නොවේ.

නගරයේ රාත්‍රියේ ද කලබල බවක් උසුලයි. ඒ විවිධ සංස්කෘතික වැඩසටහන් ක්‍රියාත්මක වන නිසා ය. ඒ නිසා ම එය සංචාරකයන්ගෙන් ද නිතර පිරී ඇත්තේ ය. ඇවිදින සිනාසෙන විනෝදවන මිනිසුන්ගේ නගරයක් බවට අවසානයේ එය පත් ව තිබේ.

Advertisements

Leave a Reply

Fill in your details below or click an icon to log in:

WordPress.com Logo

You are commenting using your WordPress.com account. Log Out / Change )

Twitter picture

You are commenting using your Twitter account. Log Out / Change )

Facebook photo

You are commenting using your Facebook account. Log Out / Change )

Google+ photo

You are commenting using your Google+ account. Log Out / Change )

Connecting to %s