අපේ සිහින රට වැසියා

Image result for Sri Lankan people

බත් පැකට් එකක් හා අරක්කු බෝතලයක් ලැබුනොත් ඉහේ මල් පිපෙන මිනිසුන් විශාල සංඛ්‍යාවක් අප රටේ සිටිති. ඉදින් ඒ වරප්‍රසාදය ලබා ගනු සඳහා කෑ ගහන්නට පෙළපාලි යන්නට රැස්වීම් වලට එක් රොක් වෙන්නට ඔවුන් ලෑස්ති ය. විරෝධතා පවත්වන්නට ලෑස්ති ය. අවශ්‍ය වුනොත් ගුස්තියක් අල්ලන්නටත් ලෑස්ති ය. ඒ නැතත් අප කැමති බීලා ඉන්න ය. ශ්‍රී ලංකාව ඒක පුද්ගල මධ්‍යසාර පරිභෝජනය අතින් ඉහළටම ඉන්නා රටක් බවට පත් ව සිටින්නේ ය.

මත් පැන් නැතත් මොනවායින් හෝ මත් වෙන්නට අපට ඕනෑ ය. සමහර විටෙක දේශප්‍රේමය ඒ සඳහා පිහිටට ගැනේ. ජාත්‍යාලය ද එහි නිවුන් සහෝදරයෙකි. ආගම බාල සහෝදරයා ය. ඇතැමෙකුට එය වැඩිමහලු සහෝදරයා ය. මේ ඕනෑම එකකින් මත් වීමට අප ලෑස්ති ය. ශ්‍රී ලංකාව ආගම භක්තියෙන් ලෝකයේ ඉහළ ම රටවල් පහට අයත් වන්නේ ඒ අනුව ය. ඒ අප්‍රිකාවේ රටවල් සමග එක පෙලට සිට ගනිමිනි. දිග්ගැස්සුණු යුද්ධ ඇති වන්නේ ද ජාති හා ආගම් මත පදනම් වූ කැරලි කෝලාහල ඇති වන්නේ ද ඒ අනුව ය.

(ඒක පුද්ගල මත් පැන් පරිභෝජනය වැඩි රටවල් අතරටත් ආගමික භක්තිය ඉහළින්ම ඇති රටක් බවටත් එක වර පත් විය හැක්කේ කෙසේ දැයි යන ප්‍රශ්නය නැගීමටවත් අප කැමති නැත්තේ එහි ආරවුලක් අප දකින්නේ නැති නිසා ය.)

රටේ වැඩිදෙනෙක් යටත් වෙන්නට කැමති ය. පරංගියාට ද ලන්දේසියාට ද සුද්දාට ද යටත් වෙලා සිටීමේ ආභාසය නිසා එහෙම වූවා වෙන්නට පුළුවන. ඒ නිසා රටවැසියන් වීමට වඩා අපේ ජනතාව සැදී පැහැදී ඉන්නේ යටත් වැසියන් වන්නට ය. ජනතාව රජවරු ම සොයන්නේ ඒ නිසා ය. රජකතා අසන්නට බලන්නට කැමැත්තේ ඒ නිසා ය. නවක වදය ඉල්ලා සරසවිවල ජේෂ්ඨ උත්තමයන්ට කරදර කරන්නේ ඒ නිසා ය. නවක වදය වදයක් නොව ආශ්වාදයක් ලෙස සළකන්නේ ඒ නිසා ය. ගුටි බැට දුන් ගුරුවරු සොයා ගොස් නැවත නැවතත් දණ්ඩ නමස්කාර කරන්නේ ඒ නිසා ය.

අප අතර වැඩි දෙනෙකු හොයන්නේ කෙටි මාවත් ය. ෂෝට් කට් ය. දියුණුවට වාලම්පූරි ය. ලාෆින් බුද්ධ ය. ෂෙන් ෂුං ය. දේව බැල්ම ය. නව ග්‍රහයන්ගේ අනුකම්පාව ය. විභාගය පාස් වීමට බෝධී පූජා ය. යන්ත්‍ර මන්ත්‍ර ය. නැකැත් ය. ප්‍රේමවන්තයාගේ හෝ ප්‍රේමවන්තියගේ හිත දිනා ගැනීමට වශී ගුරුකම් ය. වශී යන්ත්‍ර ය. වශී මන්ත්‍ර ය. සතුරා මෙල්ල කිරීමට වස් කවි ය. හූනියම් ය. ගම්මිරිස් ඇඹරීම ය.

මහන්සි නොවී මෙ‍සේ බොහෝ දේ පාදා ගත හැකි ෂෝට් කට් ඇතැයි යන විශ්වාසය නිසා ම අප අතර වැඩි දෙනෙකු මහන්සි වීමට කැමති නැත. බොහෝ දෙනෙකු කියන්නට කැමති වාක්‍ය ඛණ්ඩයක් වන ත්‍රී වීලර් එලවන්නට තරුණයින් යොමු වීමෙන් නොනැවතී වැඩි දෙනෙක් එලිපිට නොකියන රාජ්‍ය සේවයට ඇති කැමැත්ත පිටුපස ද  ඇත්තේ ඒ අභිලාෂය ම ය. රාජ්‍ය රහස් මෙසේ අමු අමුවේ කියා සිටීම සම්බන්ධයෙන් රාජ්‍ය සේවකයින් උරණ නොවෙතැයි සිතමි (රාජ්‍ය සේවයේ කලක් සිටි නිසා මා ද මේ සියල්ල අතැඹුලක් සේ දනිමි. පාරිභෝගික වස්තුවක් සේ භාවිතා කොට ද ඇත්තෙමි.)

අනුන්ගේ පානින් එලිය බැලීමට වැඩි දෙනෙකු කැමති ය. දුක කියා ගෙන ඇති හැකි අය සොයා ගොස් වද දෙන්නේ ඒ නිසා ය. හිගන කම රස්සාවක් වී ඇත්තේ ඒ නිසා ය. රැකියා ඉල්ලා හිගන්නේ ඒ නිසා ය. තමන් ගැන රජය වග බලා ගත යුතු යයි ගතු කියන්නේ ඒ නිසා ය.

දියුණුව ආරක්ෂාව ඇතුළු තව බොහෝ දේ දෙවියන්ට පවරා ඇති නිසා තමන්ගේ ඉරණම ගැන වැඩි දෙනෙකුට වගකීමක් නැත. එය කාගේ හෝ වගකීමක් විනා තමන්ගේ වගකීමක් හැටියට වැඩි දෙනෙකු සළකන්නේ නැත. වැරදුනොත් එහි වගකීම දෙන්නට අපට කේන්දර ද ඉරණම ද කරුමය ද තිබේ. එකකින් බැරි නම් තව එකකින් එසේ වන්නට ඇතැයි හිත හදාගන්නට මාර්ග ගණනාවක් ම තිබීමේ වාසියෙන් අපි ඇති තරම් ප්‍රයෝජන ගනිමු. ඒ එකක්වත් නැතිනම් අඩු ගණනේ ඒ අල්ලපු ගෙදර එකාගේ කුමන්ත්‍රණයක් යැයි කියන්නට තරම් අපට දැනුම් තේරුම් තිබේ. උට්ඨාන වීර්යය තිබේ. අල්ලපු ගෙදර කිව්වාට සමහර විට එය අල්ලපු රට හෝ මහාද්වීපය දක්වා අවශ්‍ය වුවහොත් දික් කරගන්නට ද අප සූදානම් ය.

දෙවියන්ගේ පඩුපුල් අසුන් වෙනදා මෙන් උණු නොවන නිසා අපේ දුක් ගැනවිලි කියන්නට අලුත් දේව මණ්ඩලයක් අප විසින් පත් කර ගෙන තිබේ. දියවන්නා ඔය කිට්ටුව අට මගලෙක වැඩ වාසය කරන ඒ නව දෙවි දේවතාවුන් ද පැරණි දෙවියන් ගණනට ම සවුත්තු වේගන එන වගක් පෙනෙතත් බලාපොරොත්තු අත්නෑරම අපි ඒ උත්තමයන්ගෙන් බොහෝ දේ පතමු. උන්ට ද පෙර මෙන් පඩුරු පාක්කුඩම් පුද කරමු. පාවඩ එලමු. බෙර තම්මැට්ටම් සමග පෙරහැර ද කරමු. උන් වෙනුවෙන් ගහමරා ගමු.

උළු සෙවිලි කළ ගෙවල් වල ඉන්නා ගමන් පිදුරු සෙවි කළ පැල්පතේ ඇති සාමය ගැන ගී ගායනා කරන්නට අප කැමති ය. හද්ද නගරයේ ජීවත් වෙතත් පාරිශුද්ධ ගම ගැන ස්තෝත්‍ර කියන්නට අප කැමති ය. දීපංකරයේ ජීවත් වෙමින් සසර වසන තුරුත් මෙහි ජීවත් වෙන්නට වරම් ඉල්ලා සිටින්නට අපට වුවමනා ය. එහෙම බැලුවහම කියන්නේ කුමක් ද කරන්නේ කුමක් ද යන්න ගැන අපට ඒ හැටි වැටහීමක් නැතැයි හැගේ.

මේවා ගැන හිතන එකම මහ එපා කරපු වැඩ කි. සියළු දුක් කරදර එන්නේ හිතන නිසා ය. ඒ නිසා කළ යුත්තේ නොහිතා ජීවත් වීම ය. ඒ ගැන නම් අපට අවවාද අවශ්‍ය නැත. ආගමක් අදහන භක්තියෙන් අපි එය පිළිපදිමු.

අපට මතක නැත. වැඩිම වුනොත් මතක හිටින්නේ සුමාන දෙකකට ය. ඊට පසු මතකය අහෝසි වේ. එක අතකට එහෙම වෙන එක හොඳ ය. නැතිනම් සිදුවන්නේ අපේ බොහෝ විශ්වාස අත්හැර දමන්නට ය. කේන්දර පුච්චා නළලේ අළු ගා ගන්නට ය. හරි යන ඒවා මතක් කර දී වැරදුන ඒවා අමතක වී යන්නට ඉඩ හැරීමෙන් ඉපැරණි විශ්වාස එහෙම පිටින් ම රැක ගන්නට හැකි ය. එහෙම බැලුවහම සෑම කළු වළාවකම රිදී රේඛාවක් ද ඇත.

අපේ හොඳම ගුණාංගය සමානාත්මතාවය ය. එයින් අදහස් කරන්නේ පහළ ඉන්නා කෙනෙකුට නැගිටින්නට අපේ අත පිරිනමන්නට අප නොපැකිළෙන බව ය. එයින් තව දෙයක් ද අදහස් කෙරේ. ඒ ඉහළ නගින කෙනෙකු කකුළෙන් ඇද බිම දමන්නට ද ඒ අතම යොදා ගැනීමට අප පසු නොබසින බව ය. සමානාත්මතාවය රැකිය හැක්කේ එවැනි ප්‍රතිපත්තියකින් පමණ ය. ඒක ඉරිසියාව ලෙස අර්ථ ගන්වන්නේ අප ගැන ඉරිසියා කරන කුඩු කේඩු මිනිසුන් පමණ ය. සමානාත්මතාවය ගැන නොදන්නා, එහි අගය නොදන්නා, මිනිසුන් පමණ ය.

අපේ අතීතය ගාම්භීර ය. ප්‍රෞඪ ය. රාවණා රජ්ජුරුවන්ට තිබුනේ යැයි කියන දඩු මොනරයේ සිට විවිධ අංශයන්ගෙන් ඉදිරියට ගිය ඒ නිසා ම අපට පාරම්බෑ හැකි ඉතිහාසයක් උරුම ය. ඒ ගැන කියවන්නට අපේ ඇති කැමැත්ත දෙවැනි වන්නේ නිදා ගැනීමට පමණ ය. ඒ කියන්නේ ඇහැරලා ඉන්න විට අප වඩාත් කැමති කියවන්නට බව ය. අතීතය ගැන පුරාජේරුව කියවන්නට බව ය.

අවදානමක් ගන්නේ ම නැත. දරුවෙකු ඉදිරියට පයක් තිබ්බත් අපොයි පුතේ වැටෙයි කියන්නට සැදී පැහැදීගත් කටක් අපට තිබේ.

බෙදීම කලාවක් නම් එහි පිකාසෝ අප ය. අප අතර ඇති බෙදිලි ඒ තරම් ය. පාසල් වශයෙන් ගම් වශයෙන් ජාති වශයෙන් කුල වශයෙන් ආගම් වශයෙන් පක්ෂ වශයෙන් වෘත්තීන් වශයෙන් ගම නගරය වශයෙන් නෙක බෙදීම් තිබේ. පුද්ගලයින් දෙදෙනෙකු අතර ඇතිවන කුඩා ආරවුලක් මේ නිසා අවසන් වන්නේ රට ම ගිනි අවුළුවා ලීමෙන් අනතුරුව ය. ඒවායින් සුරුට්ටු පත්තු කරන්නට බලා ඉන්නා අයට ඇර වෙන අයට සුගතියක් නැති නමුත් ගින්නට අප කැමති ය. ගිනි තියන්නට මෙන්ම අනුන්ට ගිනි දෙන්නට ද අපි කැමති ය.

මෙහෙම රටකට පිරිහෙන්නට බාහිර සතුරන් අවශ්‍ය නැත. මේ තත්වයේ ඉක්මන් වෙනසක් නොකළොත් අපට අවසානයේ සිදු වන්නේ බංගලාදේශයට ද පසුපසින් ඉන්නට ය. දැනටමත් ආර්ථික වේගය අතින් උන් ඉදිරියෙන් ය. අපි කොහොමටත් ලෝක දර්ශක වලින් දැන් දැන් සිට ගන්නේ අප්‍රිකාවේ නොදියුණු රටවල් සමග ය.

බොහෝ දෙනෙකු දේශපාලනඥයින්ට ඇගිල්ල දිගු කර කාරණය මග හරිති. පිටට දික්කරන ඇගිල්ලක් වෙනුවෙන් ඇගිලි හතරක් තමන් දෙසට දිගු ව තිබේ ය යන්න උන් අමතක කරති.

අප සිහින දකින රටවැසියන් යටත් වැසියන් නොව සැබෑ රටවැසියන් ය. තමන්ගේ ඉරණමේ වගකීම තමන් වෙත පවරා ගත් රට වැසියන් ය. ලොකු පුතාට රස්සාවක් ගැනීම, පොඩි එකා ජාතික පාසලට දා ගැනීම, බිරියට මාරුවක් හදා ගැනීම හෝ පාරේ බොක්කුව හදාගැනීම සඳහා දේශපාලනඥයින් ඉදිරියේ වැඳ වැටෙන යටත් වැසියන් නොව රටක ප්‍රතිපත්ති ක්‍රම වේද ගොඩ නැගීම උදෙසා දේශපාලනඥයින්ට බලැපෑම් කිරීමට සූදානම් රට වැසියන් ය.

බලය ඉදිරියේ දණින් නොවැටෙන රටවැසියන් ය. තමන්ගේ පටු වුවමනාවන් වෙනුවෙන් නොව රටේ පොදු සුභ සුද්ධිය වෙනුවෙන් පෙනී සිටින රටවැසියන් ය.

බත් පැකට් එකකට බෝතලයකට මිලට ගත නොහැකි රටවැසියන් ය.

අප සිහින දකින්නේ අද්භූත බලවේග පසුපස ෂෝට් කට් සොයමින් දුවන අලස බෙලහීනයන්ගෙන් නොව තමන්ගේ ශක්තිය මත විශ්වාසය තබමින් වෙහෙසී වැඩ කිරීමට සූදනම් ජනයාගෙන් සමන්විත රටක් ගැන ය.

කරන දේ කියන, කියන දේ කරන මිනිසුන් ඉන්නා රටක් ගැන ය.

බෙදෙන්නට හේතු හොයන බියගුල්ලන් වෙනුවට එකතු වීමට මං සොයන ආත්ම විශ්වාසයෙන් හෙබි මිනිසුන් ඉන්නා රටක් ගැන ය.

අවාදනම් බාර ගන්නා, අතීතය පියමං කරමින් අනාගතයට පා තබන, කට කියවනු වෙනුවට මොළය හා අත ඉක්මන් කර වැඩ පෙන්වන රටක් ගැත ය.

මූණ හෝදන බේසමේත් කිඹුලන් දකින මිනිසුන් නොව එන ඕනෑම දෙයකට අභීතව මුහුණ දිය හැකි රටවැසියන් ඇති රටක් ගැන ය.

අතීත ශ්‍රී විභූතිය ගැන කියවනවා වෙනුවට අනාගතය ගොඩ නැගීමට වෙහෙසෙන ඒ සඳහා ඕනෑ ම දේශයකින් දර්ශනයකින් ඉගෙනීමට සූදානම් මිනිසුන් ඇති රටක් ගැන ය. සම්ප්‍රදාය ඔලුව උඩ තියාගෙන ඉන්නා මිනිසුන් වෙනුවට අලුතින් හිතන්නට පුලුවන් මිනිසුන් ඉන්නා රටක් ගැන ය.

 

 

Advertisements