අපේ සිහින රාජ්‍ය සේවය

ප්‍රා ලේ කාර්යාලය

(මෙය මුල්වරට පළවූයේ 2017 මැයි මස 16 අගහරුවාදා දිනමිණ පුවත්පතේ මා ලියූ දීපන කොළමේ ය.)

රාජ්‍ය සේවය වනාහි වැඩක් ඇත්තේත් නැති නැත්තේත් නැති තැනකි. එහෙමට ගෙවන්නේත් නැති නොගෙවන්නේත් නැති තැනකි.

ඒ වුනාට වැඩි පඩි තනතුරු ද අත්හැර මේ අරුම පුදුම භූමියට රිංගා ගැනීමට කැමති අය බොහෝ ය. හේතු ගොඩකි. එකක් ලෙහෙසියෙන් ඉවත් කිරීමට කිසිදු ජගතෙකුට පුළුවන් නොවීම ය. දෙවැන්න වැඩ නොකර පවතින්නට පුළුවන් වීම ය. තෙවැන්න වයසට ගියහම රැකෙන්නට අවසානයේ විශ්‍රාම වැටුපක් ලැබීම ය.

මේ සියල්ල එක් වූ තැන ඇතිවන්නේ ගොඩක් නැතත් ලැබෙන ටික කරදරයක් නැතිව ලැබෙතැයි අවහිරයකින් තොරව ලැබෙතැයි වැඩි මහන්සියක් නැතිව ම ලැබෙතැයි දිගින් දිගටම ලැබෙතැයි තමන් මියගිය ද පවුලේ අයට ද ලැබෙතැයි යන විශ්වාසය ය.

සියලු අය රජයේ සේවයට එන්නේ මේ නිසා නොවේ. සමහරු ජනතාවට යම් වැඩක් කළ හැක්කේ මේ හරහාය යන මතය ඇතුව ද ඊට ඇතුළත් වෙති. එහෙත් ඒ ඉක්මණින් අධෛර්යය වීමට ය. එසේ සිතා වැඩ ආරම්භ කරන අයට හරස් වන අති විශාල බලවේගයන් ඒ තුළ ක්‍රියාත්මක වේ.

ඒ අතර මුලට ම සිටින්නේ දැනට කිසිත් නොකර නිදා සිටින අය ය. තමන් නිදා සිටින කල නැගිට වැඩ කරන මිනිසුන් පෙනෙන්නේ ම සිය නින්දට බාධාවිය හැකි කරදරයක් ලෙස ය.

දෙවැනියට සිටින්නේ රජයේ සේවය සල්ලි උපයන ඉල්ලමක් කර ගත් අය ය. මේ නිකම් සේවය කරන මිනිසුන් තමන්ගේ බිස්නස් එකට එල්ල වන තර්ජනයක් හැටියට ඔවුන් විසින් සැළකේ.

තෙවනුව සිටින්නේ අලුත් යමක් අත්හදා බැලීමට බිය මිනිසුන් ය. මේ කරන්නට යන වැඩය නිසා අමාරුවේ වැටෙතැයි යන බිය විසින් ඔවුන් මෙහෙය වේ.

සිව්වෙනුව සිටින්නේ තවත් කෙ‍ෙනකුට යම් කීර්තියක් හෝ ප්‍රශංසාවක් හමුවීම ඇඟේ කටු ඇනෙනවා සේ සළකන මිනිසුන් ය. කුමක් හෝ කර මේ නහර කාරයා අධෛර්යය කිරීම ඔවුන්ගේ අරමුණ ය.

පස්වෙනුව සිටින්නේ තම දේශපාලන ඉදිරිගමන හා තම හෙංචයියලාගේ ද තමන්ගේ ද ලාභය වෙනුවෙන් රාජ්‍ය යන්ත්‍රය යොදා ගන්නට කැසකවන දේශපාලනඥයා ය. ඒ අයට ද මේ වැඩ කරන මිනිසුන් යම් ප්‍රතිපත්තියක් ඇති ව වැඩ කරන මිනිසුන් වහ කදුරු ය.

ඒ නිසා නොබෝ දිනකින් අධෛර්යයට පත් වෙන උන්නතිකාමී සේවකයෝ එක්කෝ රාජ්‍ය සේවය අත්හරිති. නැතිනම් සිටියත් සෙසු අය මෙන්ම උකටලීව ඉන්නට හිත හදා ගනිති.

රජයේ සේවය නිකරුනේ ඉඳ වැටුප් ලබා ගත හැකි තැනක් පමණක් නොවේ. එය පරම්පරා ගණනකට උපයා ගත හැකි ධන උල්පතක් කර ගැනීමට ද හැකි තැනකි. ඒ බොහෝ දේ කිරීමට රට වැසියාට රජයේ අවසර ගත යුතු නිසා ය. ගෙයක් හදන්නට කොස් ගහක් කපන්නට පොල් ඉඩමක් කැබලි කරන්නට පමණක් නොව දර අත්තක් කඩා ගන්නට ද රාජ්‍ය අවසරය තිබිය යුතු ය.පාසලට ලමයෙක් දමා ගැනීමට රැකියාවක් ලබා ගැනීමට මාරුවක් ගැනීමට එකි නොකී හැම එකකට ම බලධාරීන්ගේ අවසරය අනුමැතිය බැල්ම අවශ්‍ය ය. ඒවා ලෙහෙසි පහසුවට නොදී සිටියොත් ගන්නට සිදු වන්නේ අතයට ගෙවීමකින් ය. ඉල්ලම මතු වන්නේ එවිට ය.

සමහරුනට සල්ලි ඕනෑත් නැත. එහෙත් තමන්ගේ බලය පෙන්වීමට වුවමනා ය. පූසෙකුට දඩයම ගිල දමන්නේ නැතිව සෙල්ලම් කරන්නට වුවමනා වන වා සේ ය. තමන්ගේ රැස්පොට් එක පෙන්නීමට ඉඩ ලැබෙන්නේ නම් මේ කියන අයට කන්නටවත් වුවමනාවක් නැත. ඒ නිසා ද සේවා පරක්කු වේ. අනවශ්‍ය බාධා ඇති කෙරේ. කොන්දේසි තද කෙරේ. හැම පියවරකම පොල්ලක් වැටේ.

රාජ්‍ය සේවය තම තමන්ගේ ආගම් ප්‍රවර්ධනයටත් මතවාදයන් ක්‍රියාත්මක කිරීමටත් යොදා ගත හැකි මෙවලමකි. රජයේ අරමුදල් කාලය හා ශ්‍රමය මේවා සඳහා වැය කළ හැකි ය. ආරම්භය දෙන්නේ බහුතරයකගේ ආගමට ඉඩ දීමෙනි. ඊට පසු ටික ටික ඉතිරිවාට ද ඉඩ ලැබේ. පිරිත් බණ හා වෙනත් සන්දර්ශන නොඅඩුව දක්නට ලැබෙන්නේ මේ නිසා ය. ඒ කාර්යාල වෙලාවෙන් පිට නොවේ. ඒ වෙලාව ඇතුළත ය. ඒ එම කටයුතු නිසා සේවා ලාභීන්ට වන හිරිහැරය ගැන වගේ වගක් නැතුව ය. මේ කියන අයගේ මතවාදය තුළ ව්‍යාපාරිකයෙකු යනු පිළිකෙව් කළ යුතු ධනපතියෙකු යන අදහස තිබේ නම් එවැනි ව්‍යාපාරිකයෙකුට දැමිය හැකි සියලු පොලු ඔහු අතින් නිර්මාණය වේ. පුද්ගලයා නිර්මාංශිකයෙකු නම් මස් කඩ කාරයින්ට සමාවක් නොලැබේ. ඔහු සදාචාර වාදියෙකු නම්  කලු කිසිවකින් තොරව සුදු පාටින් පමණක් සමන්විත චිත්‍රපටි හෝ කලා කෘති වලට හැර වෙන කිසිවකට ඉඩ නොලැබේ.

රාජ්‍ය සේවය තම තමන්ගේ වර්ගයා ශක්තිමත් කිරීමට ද යොදා ගත හැකි මාවත කි. රැකියා දෙන විට ද උසස්වීම් පිරිනමන විට ද ශිෂ්‍යත්ව ලබා දෙන විට ද වගකීම් පවරන විට ද තනතුරු පිරිනමන විට ද ඒ ගැන සැළකීමක් කෙරේ. වර්ගයා කී විට ඊට නෑදෑ සනුහරය හෝ මිතුරු කැල හෝ එවැනි ඕනෑ ම සම්බන්ධයක් අදාළ ය. සමහරු උපන් ගමට සහ අධ්‍යාපනය ලැබූ පාසලට සැළකීමට ද මේ රාජ්‍ය සේවය යොදා ගනිති.

සතුරන්ගෙන් හා පරයින්ගෙන් පලි ගැනීමට ද උන්ට පොලු දැමීමට ද රාජ්‍ය සේවය යොදාගත හැකි ය. බලපත්‍ර අවලංගු කිරීමෙන් බලපත්‍ර ලබා නොදීමෙන් අනුමැතිය නොදීමෙන් මේ කාරණා ඉෂ්ඨ කර ගත හැකි ය.

එක රාජ්‍ය සේවකයෙකුට එරෙහිව ගිය කෙනෙකුට පහසුවෙන් තව රාජ්‍ය සේවකයෙකුගෙන් අනුග්‍රහයක් ලබා ගත නොහැකි ය. එවැනි කරදර කාරයෙකු ආණ්ඩු මට්ටු කිරීමට එක් වීම සඳහා ඇතැමි විට අභ්‍යන්තර භේදයන් ද ඉවතලා පෙරමුණ ගනු දැකිය හැකි ය.

රාජ්‍ය සේවය තුළ ම පවා පහළ සේවකයෙකු ඉහළ සේවකයෙකුට එරෙහිව ගියහොත් ඊට උඩ කිසිම තනතුරකින් සහනයක් අපේක්ෂා කිරීම අපහසු වන්නේ ය. ඒ නිසා ම රාජ්‍ය සේවය තුළ ඉහළ තනතුරුවලින් කෙරෙන කරන සෑම දෙයක්ම ඉවසා සිටීමට සිදු ව තිබේ. ඒ බැරිවෙලාවත් එවැන්නකට වරක් හෝ විරුද්ධ වුවහොත් ඉහළ නිලධාරීන්ගෙන් පමණක් නොව සගයින්ගෙන් ද කැපීමට සිදු වන නිසා ය. රැඩිකල් මත ධාරීන් සමග එකට හිඳගන්නට පවා බොහෝ දෙනෙක් මැලි ය. ඒ හරහා තමන්ට ද කැපීම එල්ල විය හැකි නිසා ය. සගයින්ගෙන් පමණක් නොව පහළ සේවකයින්ගෙන් ද කැපෙන්නේ ඒ නිසා ය.

ඒ නිසා ම සංවාදයන් අවම ය. උඩ අදක්ෂ නම් පහළ සියල්ල ඒ අදක්ෂභාවයෙන් ම සීමා වේ. උඩ අකාර්යක්ෂම නම් පහළ ද අකාර්යක්ෂම ය. උඩ සිටින කෙනෙකු එකයි එකයි එකතු කොට ලැබෙන්නේ හතරක් යැයි කීවොත් පහළින් ඊට වඩා වෙනස් උත්තරයක් පැතීම අර්ථ විරහිත ය. උත්තරය පිළිගන්නට අමාරු නම් උඩින් නැවත විමසන ලෙස පහළින් පිළිතුරු ලැබෙනු ඇත.

වැඩියෙන් වැඩ කළොත් වැඩි ප්‍රශ්න ගණනකටත් අඩුවෙන් වැඩ කළොත් අඩු ප්‍රශ්න ගණනකටත් මුහුණ දීමට සිදුවන වැඩ නොකළොත් කිසිදු ප්‍රශ්නයකටවත් මුහුණ දීමට සිදු නොවන රාජ්‍ය සේවයක් අපට ලැබී ඇත්තේ නිකම් ම නොවේ. ඉහත කරුණු වල හේතුවෙන් ය.

අප දකින සිහින රාජ්‍ය සේවය මීට වඩා වෙනස් ය. ඒ තුළ ඉන්නේ අධිකාරී බලයෙන් ඔලුව උදුම්මා ගත් පරිපාලකයන් නොව අරමුණු සාක්ෂාත් කර ගැනීම උදෙසා කැප වුනු කළමනාකරුවන් ය. සමස්ත ප්‍රතිඵලය ගැන සංවේදී කළමනාකරුවන් ය. මිනිසුන්ගේ හා සේවකයින්ගේ ප්‍රශ්න තමන්ගේ ප්‍රශ්නයක් සේ සළකන කළමනාකරුවන් ය. ඔවුහු තමන් යටතේ වැඩ කරන සේවකයින්ට පහසුකම් සපයන අතර ඔවුන්ට වැඩ කිරීමට ඇති බාධක ඉවත් කර දීමට ද කැප වෙති. තමන් යටතේ වැඩ කරන අය නිවැරදිව සතර අගතියෙන් තොරව වැඩ කරන බවට ඔවුහු වග බලා ගනිති. එසේ සිදු වන බවට සේවා ලාභීන් විමසමින් සහතික කර ගනිති.

ඒ රාජ්‍ය සේවය තුළ සංවාදය නිදහසේ සිදු වෙයි. රාජ්‍ය සේවකයන්ගේ වැඩ හා තීරණ ප්‍රශ්න කිරීමට රටවැසියන්ට හැකි ය. ඉහළ නිලධාරීන් ප්‍රශ්න කිරීමට පහළ නිලධාරීන්ට හැකි ය. හැම කෙනෙකුම තමන්ගේ රාජකාරිය සම්බන්ධයෙන් වගකියන අතර එය අකුරට ඉටු කරනු ලබන්නේ නම් නිදහසේ කර ගෙන යා හැකි තත්වයක් පවතී. එසේ නොකරන්නේ නම් ඒ සම්බන්ධයෙන් ප්‍රශ්න කරන යාන්ත්‍රණයක් ද ක්‍රියාත්මක වේ.

වැඩියෙන් වැඩ කළොත් ප්‍රතිලාභ ලැබීමට හැකි අතර අඩුවෙන් වැඩ කළොත් ප්‍රශ්න වලට මුහුණ දීමටත් වැඩ නොකර සිටියොත් රැකියාව අහිමි කර ගැනීමටත් රජයේ සේවකයින්ට සිදු වේ.

තීරණ ගැනීමේ අනුගමනය කළ යුතු නිශ්චිත ක්‍රියාවලියක් හා පටිපාටියක් තිබේ. ඒ තීරණ ගැනීම සඳහා මග පෙන්වන ප්‍රතිපත්ති මාලාවක් තිබේ. තීරණ ක්‍රියාත්මක කිරීමේ අනුගමනය කළ යුතු ආචාර ධර්ම පද්ධතියක් තිබේ. ඒ නිසා තම තමන්ගේ මත වාද ක්‍රියාත්මක කරන්නට ඉඩක් නැත. සියලු වැඩ සිදුවන්නේ ඒ ක්‍රමවේදයන් ට යටත් ව ය. ඒ නිසා වර්ගයාට සළකන්නට ඇති ඉඩ ද අවම වේ.

පෞද්ගලික අභිමතය අතිශයින් පටු කාරණා වලට පමණක් සීමා වේ. එහි දී ද සතර අගතියෙන් තොරව එම අභිමතය භාවිතා කරන බවට වග බලා ගැනේ. ඒ නිසා මිතුරන්ට එක හැන්දකිනුත් හතුරන්ට තවත් හැන්දකිනුත් නොදන්නා අයට තවත් හැන්දකිනුත් බෙදන්නට රාජ්‍ය සේවකයාට නොහැකි වේ.

අධීකාරී බලය පෙන්වීම චෝදනා ලැබිය හැකි වරදක් බවට පත් ව තිබේ. ඒ නිසා සේවා සත්කාරයන් කාරුණිකව සිදු කළ යුතු තත්වයත් නිර්මාණයව තිබේ.

සෑම අනුමත නොකිරීමක් ම, පමා කිරීමක් ම, කොන්දේසි පැනවීමක් ම, ලිඛිත ව කළ යුතු ය. වාචික දැනුම් දීමක් නිසි ලෙස රාජකාරි කිරීමක් ලෙස ගණන් නොගැනේ. ඒ නිසා ඉල්ලම් මතු කර ගැනීමේ ඉඩ අවම වී තිබේ.

දුක් ගැනවිලි යාන්ත්‍රණයක් ක්‍රියාත්මක වෙන අතර දුක් ගැනවිලිවලට ද දින තුනක් ඇතුළත් ලිඛිත උත්තරයක් දිය යුතු ය. එසේ කිරීමට අපොහොසත් වුවහොත් හෝ ඒ උත්තරය ගැන සෑහීමකට පත් වීමට අපොහොසත් වුවහොත් ඉහළට ඉදිරිපත් කිරීමටත් ඒ සඳහා ද දින තුනක් ඇතුළත ලිඛිත උත්තරයක් ලැබීමටත් දුක් ගැනවිලි ඉදිරිපත් කළ තැනැත්තාට ඇති අයිතිය තහවුරු කර තිබේ.

මේ තත්වය පවත්වා ගෙන යෑමට අපොහොසත් නිලධාරීන් රජයේ සේවයෙන් ඉවත් කරනු ලැබේ. තවදුරටත් රජයේ සේවය නිකම් ඉඳගෙන පඩි ලැබීමට හෝ සිය වාසියට යොදා ගැනීමට ඒ අනුව නොහැකි වනු ඇතැයි අපේක්ෂා කෙරේ.  එය සේවාලාභින්ට කාරුණිකව සේවය සළසන අයට පමණක් පැවතිය හැකි තැනක් බවට එසේ පෙරලෙනු ඇත්තේ ය. ඒ තුළ වඩාත් හොඳ සේවා තත්වයන් ද වැටුප් හා දීමනා ද ලැබෙනු ඇත්තේ ය.

රාජ්‍ය සේවය අවම මිනිසුන් ගණනකින් කාර්යක්ෂමව ක්‍රියාත්මක වන තැනක් බවට පත් වී තිබෙන නිසා ද ඒ තුළ රටේ හැම ට එක සමාන සඵල සේවයක් සැපයෙන නිසා ද එවන් සේවයක යෙදෙන සේවකයන්ට වැඩියෙන් වැටුප් දුන්නාට කමක් නැතැයි ද මතයක් ජනගත වනු ඇත්තේ ය.

අඩුවෙන් වැඩ කර කම්මැලි ජීවිත ගත කරන්නට කැමති අය ට ද බලය භාවිතා කර මුදල් සොයන්නට බලා සිටින අයට ද රජයේ සේවය තවදුරටත් ආකර්ෂණීය තැනක් නොවනු ඇත්තේ ය.