අපේ සිහින පරිසරය

paddy fields

(මෙය මුල්වරට පල වූයේ 2017 මැයි 2 දින දිනමිණ පත්‍රයේ දීපන කොළමේ ය.)

ඈත එපිට ගම්මානයක මිනිසුන් විඳින දුක ලියන පත්තර පිටු අප දැක තිබේ. ඒ සඳහා වෙන්වුනු රූපවාහිනී වැඩසටහන් ද තිබේ. ඒ හැම එකකම දකින්නට තිබෙන කතාව එක ය.

මේ ගම් වල මිනිසුන්ට හරිහමන් පාරක් නැත. පරක් තිබුණත් සමහර තැන්වල ගංගා හරහා තරණය කිරීමට සිදු වේ. ඒ මාරාන්තික ගමනකිනි. ඒ හරිහමන් පාලම් බෝක්කු නැති නිසා ය. ඔවුන්ගේ ජීවිත ගත වෙන්නේ අඳුරේ ය. ඔවුනට විදුලිය නැත. මේ ඔක්කොම අඳෝනා සාධාරණ ය. ඔවුනුදු අපි මෙන්ම මේ රටේ පුර වැසියෝ ය. ඒ නිසා ම ඔවුන්ගේ දුකේ දී පිහිට වීම යහපත් ය. ඒ අතින් මේ අනාවරණයන් අතිශය සාධනීය ය.

එහෙත් එක් ප්‍රශ්නයක් ඉතිරි වේ. මේ ප්‍රශ්නවලට මේ ගම්වැසියන් අපේක්ෂා කරන පිළිතුරු දිය හැකි ද? ඔවුන් ඉල්ලන්නේ පාරවල් පාලම් හා විදුලිය යි. මේ වාර්ථාකරුවන් ද කියන්නේ ඒවා ලබා දීමට රටට ඇති වගකීම ගැන ය.

ඉතාම දුෂ්කර ගමකට පාරක් කැපීම ලෙහෙසි නැත. ඒ සඳහා අධික වියදමක් දැරීමට සිදු වේ. ඒ ගමකට විදුලිය දීම පහසු නැත. ඒ සඳහා දුරට විදුලි රැහැන් ඇදිය යුතු අතර අමතර කණු ගණනාවක් සිටවිය යුතු ය. ඒ හැම එකකට ම අතිශය විශාල මුදල් සම්භාරයක් වැය කළ  යුතු ය. මේවා බොහෝ විට තිබෙන්නේ කැළෑ මැද ය. ජනාවාසයන්ගෙන් ඈත ය.

දැන් අපි මේ කැළෑ දෙසට හා ඒ කැළෑ මායිමේ ඇති ගම්මාන දෙසට හැරෙමු.

මේ ගම්මාන ආශ්‍රිත ව අලි ගැටුම්වලින් මිය යන අලින් ද මිනිසුන් ද ගැන නිතර වාර්ථා වේ. සතුන් නිසා වන වගා හානි වල කෙළවරක් නැත. අලින් පමණක් නොව වඳුරන් දඩු ලේනුන් ඉත්තෑවන් වල් ඌරන් වැනි විවිධ සතුන් මේ සම්බන්ධයෙන් වග කිව යුතු ය.

මේවා ද අප පෙරකී ගම්මානවල වැසියන් මුහුණ දෙන ප්‍රශ්න ලෙස අමතරව හඳුනාගෙන ඇත.

කැළෑ ගහණය පසුගිය අවුරුදු කීපය තුළ සීඝ්‍රයෙන් පහත බැස තිබේ. එයින් පෙනෙන්නේ සතුන් අපේ භූමිය ආක්‍රමණය කළා නොව අප උන්ගේ භූමිය ආක්‍රමණය කළ බව ය. කැළෑ එලිවීම නිසා ඇති ව ඇති ප්‍රශ්න වැලකි. එකක් ගංවතුර ය. වැටෙන වැස්ස පෙර මෙන් භූමිය තුළ රැඳී ක්‍රම ක්‍රමයෙන් ගංගාවලට එකතු නොවී කෙළින්ම ගඟට ඇදේ. එහි අනෙක් ප්‍රතිඵලය ඉක්මණින් නියඟය ගංවතුර බැස යන ඉක්මණින් ගලා ගෙන ඒම ය.

එලි කරන ලද කැලෑ නිසා වැටෙන වැස්සෙන් පස සේදී යන අතර වැව් ඉක්මණින් ගොඩ වීමට ද එය හේතුවක් ව තිබේ.

මේ සියල්ල පිටුපස තිබෙන එක් දැවැන්ත සාධකයක් නම් වැඩිවන ජනගහණය යි. ඊට අවශ්‍ය ආහාර නිපදවිය යුතු වීම යි. බොහෝ විට සිදු වන්නේ නව පරම්පරාව කැලෑවක් කොටා ගෙන පදිංචි වී තමන්ගේ ජීවිකාව ගෙන යන්නට අවශ්‍ය දේ වගා කර ගැනීමට යුහුසුළු වීම ය. මේ බොහෝමයක් වගා බිම් වල කෙරෙන්නේ තමන්ගේ ආහාර හදා ගැනීම ය. අතිශයින් ඵලදායී නොවන ක්‍රම අනුගමනය කිරීම මේවායේ පොදු ලක්ෂණයකි.

අප කලින්  කී ගම්මාන වල උපත සිදු වන්නේ ද මේ ආකාරයට ය.

අපේ රටේ භූමිය සීමිත ය. ඒ නිසා වැඩි වන ජනගහණයට අනුව සිදුවන්නේ ඊට සමානුපාතිකව කැළෑව ආක්‍රමණය කිරීම ය. පෙර කී ගම්මාන වලට පාරවල් හදා දෙන විට විදුලිය දෙන විට අප කරන්නේ මේ කැළෑ ආක්‍රමණයට උඩ ගෙඩි දීමක් නොවේ ද? එසේ නම් විසඳුම කුමක් විය යුතු ද?

දිය හැකි එක විසඳුමක් නම් නගර වැඩි දියුණු කිරිම ය. ඒ තුළ ජීවන මාර්ගයන් උත්පාදනය කිරීම ය. කැළෑ ගත වී සිටින ජනයාට නගරය තුළ පාරවල් හා විදුලිය ඇති නගරය තුළ පදිංචියට ස්ථානයන් සකස් කර දීම ය. නගරයන් ද ජනාකීර්ණ වී ඇති පසුබිමක මෙය කෙතරම් ප්‍රායෝගික ද?

නගරයේ ජනගහණයට උත්තර අපේ ඇස් ඉදිරිපිට ගොඩ නැගෙමින් තිබේ. ඒ අහස සූරන මැදුරු ය. මහල් ගොඩනැගිලි ය. තිරස් සංවර්ධනය වෙනුවට සිරස් සංවර්ධනය ය.

නගරයක් ගොඩ නැගෙන විට අපූරු ක්‍රියාවලි තුනක් සිදු වේ. ඒ ගම හා සම්බන්ධව ය.

එකක් ගමේ සිට මිනිසුන් නගරයට සංක්‍රමණය වීම ය. එහි ප්‍රතිඵලයක් ලෙස ගමේ වෙසෙන මිනිසුන් ගණනින් අඩු වීම ය. ඒ තුළ ඔවුන්ට වටිනාකමක් හිමිවීම ය. ඔවුන්ගේ වේතන ගම තුළ රැඳී සිටියත් ඉහළ යෑම ය.

දෙවනුව සිදුවන්නේ නගරයට සංක්‍රමණය වන මිනිසුන්ට ආහාර තවදුරටත් සැපයිය යුතු වන්නේ ගමෙන් වීම නිසා ගමට ඉල්ලුම් ගලා ඒම ය. ඉල්ලුම වැඩි වූ විට සිදුවන්නේ වඩා හොඳ මිලක් ලැබීම ය. එහි වාසිය ද ගමට ය.

තෙවනුව සිදුවන්නේ නගරයට සංක්‍රමණය වන මිනිසුන් තමන් උපයන දේ ඉතිරි කොට ගමට යැවීම ය. ගම තුළ ඒවායින් ආයෝජනය කිරීම ය. ගම තුළ අත් ට්‍රැක්ටර්, මෝටර් සයිකල්, ත්‍රී වීලර්, ඩිමෝ බට්ටන් පහළ වන්නේ වැඩිමනත් ඒ මුදල් නිසා ය. පිදුරු ගලවා උළු හෙවිල්ලා ගන්නේ පොල් අතු ගලවා බිත්ති බැඳ ගන්නේ ඒ ආයෝජනයන් නිසා ය. (නගරය කිව්වාට ඇත්තට ම මේ සංක්‍රමණය නගරය ද ඉක්මවා කරදිය වළල්ලෙන් එහා දීපංකරයට ද පැතිරී ඇත්තේ ය). වඩා ඵලදායී කෘෂිකර්මයකට අවශ්‍ය ආයෝජන සැපයෙන්නේ ද ඒ හරහා “සුනාමි“ හා “භූතයන්“ ගමට එන්නේ ද ඒ හරහා ය.

මෙයින් පෙනී යන්නේ ගමේ සංවර්ධනය කෙළින්ම නගරයේ සංවර්ධනය හා සම්බන්ධ බව ය. කොළඹ කුණු ගමට එපා යැයි කීවා ට කොළඹ නැතිව ගමට පවතින්නට බැරි බව ය.

කොරියාවේ ද එක් කලෙක අපේ මෙන් ම වන ගහණය අඩුවෙමින් පැවතියේ ය. එය දැන් අපේ ඇති මට්ටමට පහළ වැටුනු පසු ඔවුන් මේ සඳහා අපූරු වැඩපිළිවෙලක් නිර්මාණය කළේ ය. ඒ විශාල ප්‍රදේශයක් කැළෑ හැටියට නම් කිරීම ය. ඒ ප්‍රදේශ තුළ වෙසෙන ජනයාට කැළෑ නැවත වගා කිරීම බාර කිරීම ය. ඒ සඳහා ගෙවීමක් කිරීම ය. කැළෑ ප්‍රතිෂ්ඨාපනය වන විට ඔවුන් නගරයට කැඳවීම ය. නගරය තුළ නිවාස හා රැකියා ලබා දීම ය. ඒ සඳහා පුහුණුව ලබා දීම ය. අවශ්‍ය වෙනත් පහසුකම් සැපයීම ය. කැළෑ විනාශ කරමින් පැතිරෙන ගම නගරයට කැන්දා කැළෑත් බේරා ගෙන ජනයාත් බේරා ගැනීම ය.

තවදුරටත් දුර ඈත පළාත් වැඩි දියුණු කිරීමට පාරවල් පාලම් සැදීමට විදුලි රැහැන් ඇද විශාල ව්‍යාපෘති ක්‍රියාත්මක කිරීම අවශ්‍ය නොවූ නිසා රජයට අති විශාල වියදමක් ද ඉතිරි කර ගැනීමට හැකි විය. සත්තු කැලේට වැදුණු අතර තවදුරටත් උන්ගෙන් හිරිහැරයක් ද නොවී ය.

මෙය ලස්සණ කතාන්දරයකැයි කියන්නට නොහැක්කේ කොරියාව මෙය සාර්ථකව අත් හදා බලා ඇති නිසා ය. එතෙකුදු කෙනෙකුට ප්‍රශ්න කීපයක් මතු කළ හැකි ය. කෘෂිකාර්මික ඉඩම් කැලෑ බවට පත් වූ කල රටට ආහාර කොයින් ද? කියන්නේ ඒවා පිටරටින් ආනයනය කරන ලෙස ද?

ලංකාවේ ආහාර සම්බන්ධ කතිකාව මිත්‍යාවලින් පිරී තිබේ. මෙවැනි ප්‍රශ්න මතුවන්නේම ඒ නිසා ය. ඇත්ත කුමක් ද?

පළමුව, අපි ඕනෑවට වඩා බත් කන ජාතියක් වෙමු. ඒ නිසා ම දහසකුත් එකක් ලෙඩ රෝග වලට ගොදුරු වී සිටිමු. අනුභව කර බත් ප්‍රමාණය විශාල වශයෙන් අඩු කිරීමට අපට හැකි ය. කන ප්‍රමාණය පමණක් නොව බෙදන ප්‍රමාණයන් ද අපට අඩු කළ හැකි ය. බත් පැකට් වල ඇති බත් වලින් වැඩි හරිය නවතින්නේ කුණු බක්කි වල ය. ඒ නිසා අප ඇස්තමේන්තු කර ඇති ආහාර අවශ්‍යතාවය පමණ ඉක්මවූවකි.

දෙවනුව එළවලු පළතුරු නිශ්පාදනයේ කිසිදු සැලසුමක් අපට නැත. සමහර කාලයන්හි එළවලු කුණු වන්නේ කොරටු තුළ ය. නිරන්තරයෙන් සිදු වන හානිය ප්‍රවාහනයේ ය. එය 30% ක් පමණ වේ යැයි ගණන් බලා තිබේ.

තුන් වෙනුව අප තවමත් බොහෝ ආහාර වර්ග ආනයනය කරමු. ඒ නිසා තවත් වැඩියෙන් ආනයනය කළා යැයි කියා අමතර අපරාධයක් වෙන්නේ නැත.

සිව් වෙනුව අප රට තුළම අපට අවශ්‍ය ආහාර නිෂ්පාදනයෙන් අපට යම් සුරක්ෂිත භාවයක් අත් වේ යැයි අපි විශ්වාස කරමු. ඇත්ත නම් පිටරටින් ආනයනය කරන්නට නොහැකි වූ දිනෙක අපට මුලින්ම අහිමි වන්නේ ඉන්ධන ය. ඉන්ධන අහිමි වූ කල අප සාගතයෙන් මිය යනු ඇත්තේ ලංකාව තුළ සහල් තියාගෙන ය. අම්පාරේ හෝ පොළොන්නරුවේ හාල් කොළඹ නොආවොත් වෙන්නේ එවැන්නකි. ඒ නිසා තියෙනවා යැයි කියන තියා ගත යුතු යැයි කියන ආහාර සුරක්ෂිතතාවය මිරිඟුවකි. බොරුවකි.

පස්වෙනුව අප නිෂ්පාදනය කරන මිලට වඩා අඩු මිලකට සහල් ලෝක වෙළඳ පොළෙන් මිලදී ගත හැකි ය. අප සහල් නිෂ්පාදනයට වෙන් කරන සහනාධාර (පොහොර ජලය වැනි දෑ සමග) සියල්ල එක්ව ගෙන බලන්නේ නම් අප අපේ රටේ නිපදවන බත් කන විට ඇත්තටම අප කරන්නේ අතිශය වියදම් කාරී වැඩකි. පිටරටින් හාල් ගෙනත් කන එක ඊට වඩා පහසු ය. ලාභය. සිංගප්පූරුව තුළ ආහාර නිශ්පාදනයක් නැත. ඒ නිසා ඔවුන්ට ලොකු අවාසනාවක් උදා වී තිබේ ද?

මේ සියල්ල කීවේ ආහාර නිෂ්පාදනය නවත්වන්නට උපදෙස් දෙන්නට නොවේ. යතාර්ථය විමසන්නට දිරි දෙන්නට ය. අකාර්යක්ෂම කෘෂිකර්මයක නියැලෙනවා වෙනුවට කැලෑව නැවත සකස් කිරීම හොඳ බව කියන්නට ය.

අපි දකින සිහින පරිසරයේ රටේ භූමි ප්‍රමාණයෙන් විශාල වපසරියක් කැළෑවට වෙන් වී තිබේ. ඒ නිසා සතුන්ට ඇති තරම් වාසස්ථාන තිබේ. ඒ නිසා ම උන් අපේ ගම් බිම් වනසන්නට එන්නේ නැත. නඩත්තු කිරීමට ඇති යටිතල පහසුකම් ප්‍රමාණාත්මක ව අඩු නිසා වෙන දා මෙන් රජයට ව්‍යාපෘති සකස් කරමින් කැළෑ තුළට වදින්නට වුවමනා නැත. නගර ආශ්‍රිතව ද කැළෑ බිම් දකින්නට ලැබේ. ජල සම්පත නැවත ප්‍රතිෂ්ඨාපනය වී ඇත. හදිසි ගංවතුර තවදුරටත් බොහෝ පළාත්වලට තර්ජනයක් වන්නේ නැත. නියං සාය වෙනදා මෙන් ව්‍යාසනයන් ඇති කරන්නේ නැත.

ගම්වල කෘෂිකර්මය අතිශය ඵලදායී ලෙස ප්‍රතිසංවිධානය වී ඇත. ප්‍රවාහනයේ දී වන නාස්තිය අවම ය. නිෂ්පාදන වලට ඉහළ මිලක් ලැබෙන නිසාම ඒවා අසුරා එවීමට වෙළඳුන් පුරුදුව සිටිති.

අපතේ යෑම් අවම ය. ඒ නිසා බොහෝ සම්පත් ඉතිරි වේ.

ගස් වලට උරා ගැනීම නිසා වායුගෝලයේ කාබන්ඩයොක්සයිඩ් අවම ය. අපි දැන් හොඳින් හුස්ම ගන්නෙමු. එවැනි දිනයක උදාව වෙනදා ට වඩා ප්‍රභාසම්පන්න වෙනු ඇත.

Advertisements