අපේ සිහින සරසවිය

Pera-2

(මෙය මුල් වරට පළ වූයේ 2017 මැයි 2 දින දිනමිණ පත්‍රයේ මා ලියන දීපන කොළමේ ය.)

සරසවිය ප්‍රඥාවේ හරඹ පිටියක් විය යුතු ය. නව උත්පාදනයේ තෝතැන්න විය යුතු ය. ජාතියේ නැණ පහන් දල්වන ආලෝකය විය යුතු ය. රටට මග පෙන්වන ප්‍රදීපාගාරයක් විය යුතු ය. නැත. එවැන්නක තැන තැන විසිරුණු ලකුණු කීපයක් ඇරෙන්නට එය වඩාත් ආසන්න කාන්තාරයකට ය.

එයට ඇතුළුවන බොහෝ දෙනෙකු අතරමං වන්නෝ ය. එයින් පිටවෙන බොහෝ දෙනෙකු ඉන්නේ විඩා බර ව කිසිවක් කර ගත නොහැකි තත්වයක ය. උපාධි කාරයෙකැයි යන බොරු ආඩම්බරය හැරුණු විට රටට දෙන්නට එහෙමට දෙයක් නැතිව ය.

මේ වැඩි දෙනෙක් ඉන්නේ හාමතේ ය. බහුතරයක් පිපාසාවෙන් ය. එහෙත් හාමත මග හරවා ගැනීමට හෝ පිපාසය පිටු දැකීමට හෝ කිසිවක් උන් උගෙන නැත. සමහරුන්ට තවදුරටත් තමන් හාමතේ බව වත් පිපාසයෙන් පෙළෙන බවත් දැනෙන්නේ නැත. වඩාත් ම භයානක ඒක ය.

ඔවුන් අතේ සහතිකයක් තිබේ. ඒ ඇරෙන්නට ලබා ගෙන ඇති දෙයෙහි වටිනාකම සොච්චමකි. ඇත්තටම වැඩියෙන් ඇත්තේ අහක දැමිය යුතු කුණු කන්දල් ය. ඒවා බොහෝමයක් ඒ නිසා ඔවුන්ට ම බරක් වී තිබේ. ඉදිරියට යෑම අපහසු කරන බරක් වී තිබේ.

ඔවුන් වැඩි දෙනෙකුට සමාජයේ ඉල්ලුමක් නැත. ඒ නිසා උපාධිය ලබා ගැනීමෙන් පසු රැකියාවක් ඉල්ලා පාරේ හිගමන් යැදීමට හෝ පාර හරස් කරමින් බලකරන්නට (මං කොල්ල කන්නට) සිදු ව තිබේ.

වෙනත් පාර්ශවයන්ගෙන් තර්ජනයක් එල්ල වෙතැයි යන බියෙන්, තමන්ගේ අයිතිවාසිකම් නැති වෙතැයි බියෙන්, තම අවස්ථා වෙන කෙනෙකු විසින් ඩැහැ ගනිතැයි බියෙන්, කරන රැකියාවල ස්ථාවරත්වය සඳහා අමතර මුරකාවල් පනවා ගන්නට ඔවුන්ට සිදු ව තිබේ. ඒ සඳහා ආණ්ඩුවේ මැදිහත් වීම ඉල්ලා සිටීමට සිදු ව තිබේ.

කාගේ හෝ තැනක රැකියාවක් කරනවා මිස තමන්ගේ ව්‍යාපාරයක් ඇරඹීමට මේ බොහෝ දෙනෙකුට දැක්මක් නැත. ඒ නිසා ද රැකිියා ඉල්ලීමේ කලාව හැරෙන්නට රැකියා නිපදවීමේ කලාව ඔවුන් දන්නේ නැත.

මෙසේ සිදු ව ඇත්තේ කුමක් නිසා ද යන්න විමසිය යුතු ය.

පළමු හේතුව වැඩවසම් මහන්තත්ව කම ය. තරග විභායකින් සෙසු අය පැරදවීම නිසා ලබා ගෙන තිබෙන ජයෙන් උද්දාමයට පත් ව තිබීම ය. දෙවැන්න ඉන් වෙහෙසට පත් ව සිටීම ය.

බොහෝ රටවල සරසවියට යෑම පහසු ය. ඉන් පිටවීම අපහසු ය. අපේ රටේ සරසවියට යෑම අපහසු ය. ඉන් පිටවීම පහසු ය. ඉදින් සරසවියට පිවිසීම නිසා උද්දාමයට පත් වීම ද වෙහෙස වීම ද පුදුමයක් ද? ඒ නිසා ම තවදුරටත් ඉගෙන ගන්නට දෙයක් නැතැයි තමන් දැනටමත් සිය හැකියාව ඔප්පු කර ඇතැයි කෙනෙකු සිතන්නේ නම් එය වැරදි ද? වෙහෙසට පත් වීම තවදුරටත් වෙහෙස විය යුත්තේ ඇයි දැයි සිතන්නේ නම් එය අයුක්ති සහගත ද? සරසවියට වී ඇති අභාග්‍යයට ප්‍රධාන ම හේතුව එය ය.

ඇතුළු වීමේ තරග විභාගය සඳහා සියල්ල කැප කර ඇති නිසා ඉන් අනතුරුව එළඹෙන කාලය සෙසු දේවල් සඳහා වෙන්වේ. ආදරය කරන්න ට සෙල්ලම් කරන්නට ලැබෙන්නේ ඉන් අනතුරුව ය. ලෝකය දකින්නේ ම ඉන් අනතුරුව ය. දකින ලෝකය විමසුමකට ලක් කිරීමට අවශ්‍ය මෙවලම් ඔවුන් සතු ව නැත. එය පාසල ලබා දුන්නේ නැත. සරසවිය ලබා දෙන්නේ ද නැත.

සිතිය යුත්තේ කුමක් දැයි උගන්වනවා විනා සිතන්නේ කෙසේ දැයි නොදැන ඉන්නා සිසුන් අතරමං වීම සාධාරණ ය. ඔවුන් දිගින් දිගටම ගුරුවරුන්ගෙන් ටියුෂන් මාස්ටර්ලාගෙන් බලා පොරොත්තු වූයේ උත්තර ය. කට පාඩම් කිරීමට උත්තර ය. ලකුණු ලබා ගත හැකි උත්තර ය. එවැනි කෙනෙකු කෙසේ නම් මුහුණ දෙන ප්‍රශ්නවලට උත්තර තමන් විසින්ම සම්පාදනය කර ගනී ද?

එවැනි වටපිටාවක සිදු වන්නේ කුමක් ද? ප්‍රශ්න යැයි අන් අය පෙන්වන දෑ සම්බන්ධයෙන් උත්තර යැයි ඒ අය ම පෙන්වන විසඳුම් සමග දැහැන් ගත වීමට ය. නොවිමසා දැහැන් ගත වීමට ය. ඊට පසු සෙමින් සෙමින් ඒවා ජීරණය කර ගැනීම ය.

ප්‍රශ්න හා උත්තර ටියුෂන් ක්‍රමයට විග්‍රහ කර ගෙන ඇති නිසා කළ යුත්තේ වෙනත් දේ ගැන නොසිතා ඒ ප්‍රශ්න හා උත්තර ජීවිතය යැයි ගැනීම ය. විමසීමකින් තොරව ගැනීම ය. එසේ කොට ඒවා තමන්ගේ ඊළග පරපුරට නවක වදය හරහා බාර දීමට ය. ඉදිරියට කර ගෙන යන ලෙස ඉල්ලා බාර දීමට ය. හොඳින් නැත්නම් නරකින් බාර දීම ය.

ජේෂ්ඨ උත්තමයන්ට ඇති බිය නිසා ම උන්ගෙන් එල්ල විය හැකි අතවරයන්ට ඇති බිය නිසා ම කොන්වෙතැයි සැකය නිසා ම මුල දී බාරගන්නා මේ සිතුවිලි පරම්පරාව ටික කලක් යන විට තමන්ගේ ම කරගන්නට නවක සිසුන්ට ද සිදු වේ. ඒ කෙනෙකුගේ චර්යාව හා ආකල්ප අතර යම් පරතරයක් ඇති වීම ඔහුට /ඇයට හිරිහැරයක් නිසා ත් එයින් ගැලවිය හැක්කේ ආකල්ප වෙනස් කර ගැනීම මගින් නිසා ය. ඒ සඳහා කළ යුත්තේ චර්යාව සාධාරණීකරණය කරන සිතුවිලි ඇති කර ගැනීම ය. නවකවදය සාධාරණීකරණය වන්නේ ඒ අනුව ය. ඒ වෙනුවෙන් සරසවි සිසුන් පෙනී සිටින්නේ ඒ අනුව ය.

අප සරසවියේ ගත කළ කාලයේ අපේ ඉහළ වසරවල මිතුරන් ද පහළ වසරවල මිතුරන් ද අපේ මචං ලා වූ හ. ඒත් දැන් එහෙම නැත. ඉහල වසරවල ඉන්නේ අයියලා අක්කලා ය. පහළ වසරවල නංගිලා මල්ලිලා ය. දැන් අනුගමනය මුලටත් වඩා ලෙහෙසි ය. වැඩිහිටි අයියා කෙනෙකුට විරුද්ධව යෑම මචං කෙනෙකුට විරුද්ධව යෑමට වඩා භයානක ය. ඉතින් පැරණි සම්ප්‍රදාය ගෙන යෑමට, දිගින් දිගට ගෙන යෑමට, සුදුසු වටපිටාවක් සරසවිය තුළ මෙසේ සංවිධානය වී තිබේ.

මේ වටපිටාව තුළ, පුස්කොල පොත් තරමට නොවෙතත් පරම්පරා කීපයකට පෙර ලද සෑහෙන පැරණි සටහන් අනුගමනය කරමින් දේශන පවත්වන සරසවිය තුළ, අලුත් දැනුමක් සොයා යනවා වෙනුවට අවම වෙහෙසක් දරා සහතිකය රැගෙන ආ උද්දාමයෙන් පිට වී යෑමට සිතීම ගැන සරසවි සිසුන්ට දොස් පැවරිය නොහැකි ය.

කලාවේ නව මං පෙත් විවර කළ පේරාදෙනිය වලේ පසුගිය දිනෙක නාට්‍ය කරුවන්ට ගල්මුල් එල්ල වූයේ මෙහි කූටප්‍රාප්තියක් ලෙස ය. ගැහැණියක් හා මිනිහෙක් නාට්‍යයක් තුළ සිප වැළඳ ගැනීම පේරාදෙනියේ හා හන්තානේ ලතා මඩුලු තුළ ආලකමන්දාවල් බිහි කළ පරපුරකට අකැප වන්නේ ඒ නිසා ය.

සමාජයේ පවතින සම්ප්‍රදායික තහංචි ප්‍රශ්න කරන දියුණු ප්‍රජාවක් වෙනුවට ඊනියා සදාචාරයේ -සම්ප්‍රදායික සදාචාරයේ- ගොදුරු බවට පත්වූ අතිශය පසුගාමී සිසුන් පිරිසකට නවොත්පාදනය කළ හැකි යැයි සිතීම ම විහිළුවකි.

සංවාදය වෙනුවට ගල්මුල් වලින් තම අදහස් ප්‍රකාශ කරන අතිශයින් පසුගාමී ප්‍රජාවක් තුළ ප්‍රඥාව ගැවසෙනවා යැයි සිතීම ද මුලාවකි.

තමන්ගේ ප්‍රශ්නයන් දෙස පවා නව ඇසකින් බැලිය නොහැකි ගතානුගතික පිරිසක් ජාතියේ නැණ පහන් දල්පන ආලෝකයක් විය හැකි යයි සිතීම ද විකාරයකි. මංමුලාවූ සමනලයෙකුගේ පාර අසා දැන ගන්නවා වැනි විකාරයකි.

අප සිහින දකින සරසවිය සිසුන් මතවාදීමය වශයෙන් ගැටෙන එනමුදු ශාරීරික ව නොගැටෙන තැනකි. ඒ වායේ තියුණු වාද විවාදයන් සිදු වේ. සිසුන් තුන් හතර මතයක් දරණ මුත් ඒවා අතර සිදු වන ගනුදෙනුවලින් වඩ වඩාත් තම අදහස් ඔපවත් කර ගැනීමේ වුවමනාවෙන් පමණක් ඔවුහු පෙළෙති. ඕනෑම අදහසකට ඉතාම රැඩිකල් අදහසකට ද ඉඩ තිබේ. ඒවා කපා කොටා විමසිල්ලට ලක් කෙරේ.

ඔවුන් අතර ජාති බේද නැත. පළාත් බේද නැත. කොළඹ හා ගම අතර වැනි බේදීම් නැත. කුමන පසුබිමකින් පැමිණිය ද එකම සහෝදර කැලක් මෙන් ඔවුහු ජීවත් වෙති. එකට සංවාදයේ යෙදෙති. එකට විසඳුම් සොයති.

ඔවුන් අතර ජේෂ්ඨ උත්තමයන් හෝ පීචං නවකයින් නැත. ජේෂ්ඨත්වය අදහස් විමසීමේදී හෝ ප්‍රකාශ කිරීමේ දී සැළකිල්ලට ගන්නේ නැත. යමක් පිළිගැනීමේ දී හෝ ප්‍රතික්ෂේප කිරීමේ දී සැළකිල්ලට ගන්නේ ද නැත.

තමන්ගේ විෂය ක්ෂේත්‍රයෙන් ඔබ්බට පා නැගීමට ද ලෝකය පළල් ලෙස හැදෑරීමට ද ඔවුන්ට උණක් තිබේ. දැනුම පිළිබඳ පිපාසාවක් ඔවුන්ට සරසවිය නිසා ඇතිව තිබේ. අතීතයෙන් ඉගෙනීමට ද අනාගතය දෙස නැවුම් ද්‍රෘෂ්ඨියකින් බලන්නට ද ඔවුන් සූදානම් ය. ඒ සඳහා සරසවිය තුළ විවිධ වැඩසටහන් ක්‍රියාත්මක වේ.

ලෝකය වෙනස් කරන්නට පමණක් නොව සරසවිය තුළ තමන් තුළ තම පාඨමාලා තුළ තම උගෙනීමේ ක්‍රමවේදයන් තුළ වෙනස් කම් ඇති කිරීමට ද ඔවුහු කටයුතු කරති. සරසවියේ කළමනාකාරිත්වයට මැදිහත් වීමට ද වඩා යහපත් හා දියුණු සරසවියක් බිහිකිරීමට මැදිහත් වීමට ද ඔවුන් සූදානම් ය. ඒ තුළ තම උපාධිය වඩාත් ප්‍රායෝගික හා ප්‍රයෝජනවත් සුදුසුකමක් බවට පත් කර ගැනීමට ඔවුන් කැමති ය.

උසස් පෙළ සමත් සිසුන් සැම දෙනාගේ උසස් අධ්‍යාපනය වෙනුවෙන් වෘත්තීය සුදුසුකම් ලබා ගැනිමේ ඉඩ ඔවුන්ට විවෘත කිරීම වෙනුවෙන් පෙනී සිටීමට ද ඔවුන් එක හෙලා කැමති ය.

රටේ ප්‍රශ්න විශ්වවිද්‍යාල ප්‍රජාව තුළ බරපතල සංවාදයන්ට ලක් කෙරෙන අතර පර්යේෂණ හා දත්ත මත පදනම් ව ලෝකයේ නව සොයා ගැනීම් සමග සම්බන්ධ කරමින් ඒවා ට විසඳුම් සෙවීමට ඔවුහු  කටයුතු කෙරෙති.

විශ්වවිද්‍යාල ආචාර්ය මණ්ඩලය සිසුන් තුළ මේ තත්වයන් ඇති කිරීමට ඔවුන් හා එක්ව කටයුතු කරන අතරේ තමන්ගේ චර්යාවන් වෙනස් කිරීම කෙරෙහි වැඩි අවධානයක් ද යොමු කරති.

ආචාර්ය මණ්ඩලය ද සිසුන් හා සමව සංවාදයන්හි යෙදෙන අතර රට මුුහුණ දෙන ප්‍රශ්න සම්බන්ධයෙන් සරසවිය තුළ සම්මන්ත්‍රණ සංවිධානය කෙරෙනු ඇත. ඊට අමතරව විශ්වවිද්‍යාල ආචාර්ය මණ්ඩලය කර්මාන්තකරුවන් හා වෙනත් ක්ෂේත්‍රයන්හි ප්‍රමාණික බුද්ධිමතුන් සමග එකට වැඩ කිරීමට ද පර්යේෂණ මෙහෙයවීමට ද ඉදිරිපත් වීම හරහා විශ්වවිද්‍යාල නවෝත්පාදනයේ කේන්ද්‍රයන් බවට ද පත් කරනු ඇත.

උපාධිය රැකියාවකට ඇතුළු වීමේ නොවරදින මග සහිත ප්‍රවේශ පත්‍රයක් නොව තව දුරටත් අධ්‍යයනයේ යෙදීම සඳහා මාවත විවෘත කළ දොරටුවක් සේ විශ්වවිද්‍යාල ප්‍රජාව විසින් සළකනු ඇත. අධ්‍යාපනය යනු ජීවිතය පුරා ලබා ගත යුතු දෙයක් මිස සරසවියෙන් අවසන් වන යමක්  ලෙස ඔවුන් තවදුරටත් නොසළකනු ඇත.

අවසානයේ දී උපාධිධාරීන් රැකියා ඉල්ලන ගොඩට නොව රැකියා නිපදවන්නන්ගේ ගොඩට එක් වෙනු ඇත. ඔවුන් සමාජයට ප්‍රශ්නයක් නොව උත්තරයක් වනු ඇත.

Advertisements