විද්‍යාව හා ආගම – එළිය හා අඳුර

විද්‍යාව එලිය කරන තැන්වල නොරැද බොහෝ ආගම් පසුබසින බව අපි අත් දැක ඇත්තෙමු. ලෝකය ගෝලාකාරයයි සොයා ගත් විටද හිරු ලෝකය වටා‍ නොව ලෝකය හිරු වටා කැරකෙන්නේ යැයි කිවු විට ද ක්‍රිස්තියානි ආගම ඊට දැක්වූ ප්‍රතික්‍රියාව මෙයට දිය හැකි හොදම උදාහරණ ය.

ඒ නිසාම ආගම් ලෝකය ගැන වැඩි යමක් නොදන්නා මිනිසුන් අතර කිරුළු පළදිද්දී විද්‍යාව ලෝකය දන්නා මිනිසුන් විසින් ඇසුරු කරනු ලැබේ යයි බොහෝ දෙනා කියති.

ආගම් තවමත් ප්‍රචලිත තුන්වෙනි ලෝකයේ ය. දියුණු රටවල ඒවාට ඇත්තේ සුලුතර අනුගාමික පිරිසකි.

එයින් අදහස් වන්නේ දියුණු රටවල ආගම අදහන්නන් නැති බව නොවේ. අඩු බව ය. ඒවාට ඇලීමක් තුන්වෙනි ලෝකයේ රටවල මෙන් ඒ රටවල නැති බව ය. ඒවා තිබුනත් පවතින්නේ ජීවිතයෙන් තරමක් ඈත්ව වියුක්තව බව ය. ආගම් වෙනුවෙන් ගහ මරා ගැනීමක් අප රටවල මෙන් දක්නට නොලැබෙන බව ය.

එහෙත් විද්‍යාවට තවමත් එලිය කරන්නට බැරි වූ තැන් තිබෙන බැවින් ද කිසිදා ලොව මුලුමනින්ම එලිය කරන්නට එය පොහොසත් නොවනු ඇති බැවින් ද එක් හෝ තවත් ආගමකට පැවැත්මක් දැනටත් ඉදිරියේදීත් තිබිය හැකි ය.

උදාහරණයක් ලෙස අපේ ජීවිතයේ අරමුණ කුමක් ද මම කියන්නේ කවුද ඊයේත් හිටියේ ඔහුම ද ඇයම ද මරණින් මතු කුමක් වේ ද ජීවයේ උපත කෙසේ ඇතිවුනි ද මෙතරම් චමත්කාර සංකීර්ණ ලෝකයක් ඇති වූයේ කෙසේ ද මෙතරම් අරුම පුදුම මිනිසෙක් ඇති කළේ කවුරුන් ද අප ජීවිතයෙන් පැතිය යුතුවන්නේ කුමක් ද?

මෙවැනි ප්‍රශ්නවලට උත්තර ඇත්තේ දර්ශනවාදයේ ය. නැත්නම් ආගම්වල ය. මේ ප්‍රශ්නවල ස්වභාවය නිසාම මේවා විද්‍යානුකූලව පරීක්ෂා කළ නොහැකි ය. ඒ නිසාම ඒවා විද්‍යාවට ගෝචර වන්නේ ද නැත. මේ ප්‍රශ්න කිසිවකට ඒ නිසාම හරි උත්තර නැත. විවිධ ආගම් මේවාට තමන්ගේ ශාස්තෘන් දුන් උත්තර මිනිසුන්ට කියති.

මිනිස්සුද ඒවා අන්ධ ලෙස පිළි ගනිති. ඒ බොහෝවිට තමන්ගේ දෙමාපියන්ද එසේම ඒවා පිළිගෙන ඇති නිසා ය.

උත්තර නැති ප්‍රශ්නත් එක්ක ජීවත්වෙමින් ඒවාට උත්තර හොයනවාට වඩා ඒවාට උත්තර මේවා යයි හිතා ගෙන ඒ උත්තර අදහාගෙන ජීවත්වීම පහසු ය. ඒවා පරීක්ෂාවට ලක් කිරීමට නොහැකි නිසාම ඒවා බදා ගෙන ඒවා ප්‍රශ්න කිරීමකින් තොරව පිළි‍ගෙන වන්දනා මාන කිරීම තුළ ජීවිතය සරල එකක් කර ගත හැකි ය.

එසේ එක ලෙස හිතන මිනිසුන් ගණනින් වැඩිවූවිට ඒ ඇදහීම ගැන වඩාත් වැඩි විශ්වාසයක් ඒ නිසාම ජීවිතයට පහසුවක් ලැබෙයි.

උත්පත්තියෙන් ලැබුන නිසා දිවි ඇති තෙක් රැක ගැනීම තුළ තම දෙමාපියන් වෙනුවෙන් -තමන් ලෝකයට එක් කළ අය වෙනුවෙන්- කිසියම් යුතුකමක් ඉටු කළේ ය යන අදහස නිසා ද කෙනෙකු සතුටට පත්වෙයි.

කවරෙකු හෝ තමන් අදහන දෙයක් පිළිබද සැකයක් මතු කළේ නම් ඒ සැකය ගැන බලනවා වෙනුවට ඒ සැකය ඇති කළ තැනැත්තා දෙස ඔරොප්පුවෙන් බැලීම මේ තත්වය යටතේ අතිශයින් ස්වාභාවික දෙයක් වෙයි.

ආගමට ඇති මේ ඇල්ම තමන්ගේ ජාතියට ද තමන්ගේ දේශපාලන කදවුරට ද දික්වන නිසාම මේ තුන බොහෝවිට එකට වෙලුනු ස්වභාවයක් ද ගනී. තනි පුද්ගලයෙකුට නැති ශක්තියක් මේ බලවේගයට ලැබෙන නිසාම මේ බලවේගය තමන් වෙනුවට විස්ථාපනය කරගැනීමට මිනිසුන් – විශේෂයෙන් ස්වාධීනව නැගිටිය නොහැකි දුර්වල මිනිසුන්- කැමති ය.

තනි පුද්ගලයෙක් නොව විශාල කණ්ඩායමක කොටස් කරුවෙක් කියනවිට ඕනෑම දුර්වල මිනිසෙකුට අති විශාල ගටක් ලැබේ.

විද්‍යාව ආගමක් මෙන් තමන් කෙරේ බැදීමක් නොඉල්වයි. ඒ වෙනුවට තමන්ගේ සොයා ගැනීම්ම නැවත ප්‍රශ්න කිරීම විද්‍යාවට ඔට්ටු ය. විද්‍යාවේ හයිය ඇත්තේ එසේ වෙනස්වීමට එහි ඇති සූදානම නිසා ය.

අනෙත් අතට ආගමේ හයිය ඇත්තේ වෙනස්වීමට එහි ඇති අකමැත්ත නිසා ය. ආගම ඉල්ලා සිටින්නේ අන්ධව ඇදහීම ය.

විද්‍යාව නැමැති ආලෝකය තමන්ගේ වපසරියට වැටෙනවාට ආගම කැමති නැත්තේ ද එහෙයිනි. මක්නිසාද යත් අදුරේ දුටු දේ එලිය ඉදිරියේ බිද වැටෙන නිසා ය.

මෙවැනි එකිනෙකට ප්‍රතිපක්ෂ දෙකක් පාසල තුළ කියා දීමෙන් සිදුවන්නේ කුමක් ද? දෙබිඩ්ඩන් පහළ වීම ය.

විද්‍යාව දෙසත් ආගම් දෙසත් විවෘත බැලිය හැකි විශේෂයෙන් ඒවා දෙස තත්වාකාරයෙන් බැලිය හැකි මිනිසුන්ට පමණක් ඒ දෙකේ සීමාවන් දැන ඒවායින් එලිය ලැබිය හැකි ය. අපේ රටට සැබෑ විමුක්තියක් ලැබිය හැක්කේ එවැනි විවෘත භාවයකට ඉඩකඩ සළසා ගත්තොත් පමණ ය.

Advertisements

13 thoughts on “විද්‍යාව හා ආගම – එළිය හා අඳුර

  1. විද්යාව කොතරම් දියුනු වුවද ගවේශනය කල හැකි වන්නේ සාමාන්ය මිනිස් මනසට ගෝචර වන දේ පමනි. එබැවින් බුදු දහමේ විස්තර කර ඇති බොහෝ කරුනු පිලිගැනීමට හෝ ප්‍රතික්ශේප කිරිමට කිසි දිනක විද්යාවට හැකි නොවනු ඇත. – ඔබේ අදහස පැවසීමට කාරුනික වන්න

    • මම බුදු දහමට ගරු කරමි. එහෙත් එය අන්ධව නොඅදහමි. මගේ ජීවිතය එලිය කර ගැනීමට මම බුදු දහමෙන් බොහෝ දේ ගෙන ඇත්තෙමි. ඇලීම හා ගැටීම හැකිතාක් දුරු කර ජීවත් වීමට ද අටලෝ දහමින් කම්පා නොවීමට ද ඒ හරහා ජීවිතය නිවී සැනසුනු එකක් බවට පත් කර ගැනීමට ද හැකි හැම විටම උත්සහ ගනිමි. මට ගෝචර නොවන පසු බවයක් ගැන මම නොසිතමි. එය හරි ද වැරදි ද යන්න ඔප්පු කිරීමට ද නොවෙහෙසෙමි. සමහර විට ඒ නිසා ම මම බොහෝ බෞද්ධයින්ට වඩා නිවී සැනසී ඇතැයි සිතමි. ආහාර චක්‍රයක් ඇති ලෝකයක පර පණ නැසීම පාපයක් වන්නේ කෙසේ දැයි මට නොතේරේ. සිංහයකුට පර පණ නැසීමෙන් තොරව ජීවත් විය නොහැකි ය. ඒ නිසාම ආගමේ කියන විදිහට ඒ ආත්ම භවයට ගැලවීමක් තිබිය නොහැකි ය. බුදු දහම අන්ධ ලෙස අදහන්නේ නැති නිසාම එහි සඳහන් සාරවත් දැක්මෙන් ජීවිතය පෝෂණය කර ගැනීමට ත් එහි ඇති අතාර්කික දේවලින් ගැලවී සිටීමට ත් මට හැකි ය. බුදු දහමේ ඇතැම් කරුණු අන් ආගම් බොහෝමයක මෙන්ම මිනිස් ජීවිත අවුල් කරලීමට හේතුවක් වී ඇත. විද්‍යා ආලෝකය ඒ මත වැටී මිනිසුන් ඒවායින් නිදහස් වනු ඇතැයි යන පැතුම තවදුරටත් මා වෙත ඉතිරිව තිබේ. ඒ බුදුදහමේ සාධනීය පාර්ශවයෙන් එලිය ලබන්නට තරම් වාසනාව ද මිනිසුන්ට ඇති වේවායි පතන ගමන් ය. විද්‍යාව ඒ සම්බන්ධයෙන් තවමත් නිහඩ බැවිනි.

      • ඔබේ ලිපියට අදාල නොවුවද ඔබේ ලිපි හා පොත් කියවන්නකු ලෙස මට තව එක පැනයක් ඇත. අද වන විට සින්හල බෞද්ධ මතවාදයන්ට ඔබද ඇතුලු බොහො අයගේ විවේචන එල්ල වේ. එහෙත් මිනිසුන් කන්ඩායම් ගත වීමට එක හේතුවකි අරක්ශාව. ලන්කාවට පමනක් සීමා වී ඇති ජාතියක් තම අනන්යතාවය වෙනුවෙන් ජාතිය හා ආගම පෙරටු කොට ගෙන කටයුතු කිරීමේ වරද කුමක්ද? ඉන්දියාව උතුරේ ප්‍රශ්නයට මෙතරම් උනන්දු වන්නේ ඒ දෙමල ජාතිකයන්ගේ ප්‍රශ්නයක් නිසා නොවේද? 88/89 සිද්දියෙදි සින්හල අයම සිහ්හල අය මරා දමත්දි මානව අය්තිවාසිකම් ගැන කතා කල පිටරැටියන් වේද?

  2. මා පෙනී සිටින්නේ පටු මායිම් වලින් තොර මනුෂ්‍යත්වය සඳහා ය. ඒ තුළ සෑම ජාතිවාදයක්ම බැහැර කෙරේ. ලෝකයට සාමය සමාදානය හා සැනසුම ඇතිවන්නේ එවැනි දැක්මක් හරහා ය. අප එමග නොගෙන ජාතිවාදී වන විට සෙසු ජාතීන් ද අප ගත් මගටම වැටේ. වෛරයෙන් ඇතිවන්නේ වෛරයමය. පැතිර විය යුතු වන්නේ මෛත්‍රීය ය. එය සකළ ලෝක වාසීන්ට පැතිරවිය හැකි නම් යුද ගිනි නිවී යාවි. ඒ සඳහා අප තුළ තිබෙන බයට විරුද්ධව සටන් කළ යුතු ය. අමාරු අප තුළ සැගවී සිටින ඒ බියෙන්ස පෙළෙන ඒ නිසාම අනෙකා කෙරෙහි සතුරු ආකල්පයකින් ජීවත් වන සතා මෙල්ල කිරීම ය. මම එය මෙල්ල කර ගෙන ඇත්තෙමි.

  3. ඔබ දරන මතය නිරපේක්ෂව සත්‍ය ලෙස මම පිලිගනිමි. එහෙත් වත්මන් ලොව තුල එයට ඇති ප්‍රයෝගිකත්වය මට ගැටලුවකි. අසාධාරනයට ලක්ව සිටි කලු ජාතිකයන්ට මැන්ඩෙලාලා, මාටින් ලුතර්ලා නායකත්වය නොදුන්නේ නම් ඔවුනගේ ඉරනම කෙසේ වනු ඇතිද? තනි මිනිසුන් ලෙස ඔවුන් (කලු ජාතිකයින්) කවදා නැගී සිටිනු ඇද්ද?

    • මැන්ඩෙලා නැගී සිටියේ සුදු ජාතිකයන්ට විරුද්ධව නොවේ. සුදු මහ ජාතිකත්වයට විරුද්ධව ය. ඒ නිසා තමන් සිරගත කර ගෙන සිටි සුදු පාලකයා සමග එකට සිට ගෙන නොබෙල් සාම තාග්‍යය පිළිගැනීමට ඇතැම් අන්තවාදී කළු ජාතිකයන්ගේ විරුද්ධත්වය මැද්දේ ද ඔහුට හැකි වූයේ ය. මාටින් ලූතර් කිං කිසි දවසක සුද්දන්ට එරෙහිව තම කට හඩ මෙහෙයවූ කෙනෙකු නොවී ය. ඔහුගේ විරෝධය එල්ලවූයේ සුදු මහජාතිකත්වයට එරෙහිව ය. මාටින් ලූතර් කිං ගේ සටනට සුදු ජාතික සහය ද නොමඳව ලැබුනේ ඒ නිසා ය.

      • ජාතිවාදය සහ ජාති ආලය දෙකක්. මම කියන්නෙ නෑ වෙන ජාතීන්ට පහරදෙන්න කියල. මම කියන්නෙ අපේ ජාතිය ආගම ආරක්ශා කරන්න කියල. ඒක අපේ අනන්‍යතාවය. කවුරු හරි කෙනෙක් මනස දියුනු කරල මමත්වය නැති කලානම් එයාට එතනින් එහාට ආගමක් ජාතියක් විතරක් නෙවේ දරුපවුලකුත් නෑ. බුදු දහමට අනුව ඒවා සම්මුති ධර්ම. ඇත්තටම නැති දේවල්. එහෙම බැලුවම අපි නතරවෙන්නෙ ඔබ විසින් මිනිස්සුන්ගෙ මනස අවුල් කරනව කියන බුදු දහමෙ අභිධර්මය තුල. ඒ හින්ද තමයි එහෙම කරන අය සමාජයෙන් නික්මිලා වනගතව භාවනාවෙ යෙදිල ඉන්නෙ. එයාල සමාජයට අදාල නැහැ. හැබැයි සමාජය තුල ඉඳගෙන ජාතිය සහ ආගම විතරක් අතෑරිය කියල මේ සංකීර්ණ සමාජ වි‍යුහය තුල එවැනි දේ මත පදනම් වු සතුරු ආක්‍රමනවලට ගොදුරු වෙනව හැර වෙන යමක් ලැබෙන්නෙ නැහැ. එහෙම නම් ජාතිය, ආගම වැනි සංකල්ප මුලු රටෙන්ම නීති මගින් අතුගා දමන්න ඔන. හැබැයි සමහර අයට පේන්නෙ සින්හල ජාතිය හා බුද්ධාගම විතරයි. ලංකාව පකිස්තානෙත් එක්ක ක්‍රිකට් ගහන කොට බහුතරයක් මුස්ලිම් අය සපොට් කරන්නෙ පකිස්තානෙට. නි‍යම ජාතිවාදය තියන්නෙ අන්න ඔය තැන් වල.

  4. අනිත් ආගම්වල උන් වැරදි කරන නිසා අපිත් වැරදිකරනවා කියන්න තරම් මෝඩ ආගම්වාදි ජාතිවාදින්ට නියම උත්තරයක් මහත්මයා නියමයි……………………………………..

  5. Sanjeewa 1981 වර්ෂයේ කැළණි සරසවියේ උපාධි ප‍්‍රදානෝත්සවයේදී වල්පොල රාහුල හිමියන් කළ මේ කථාවට සවන් දී බලන්න.

    දේශපේ‍්‍රමයේ ජාතිපේ‍්‍රමයේ ආගමේ හා මතවාදයන්ගේ පෙනෙන්නට තිබෙන යහපත් දේ මොනවාද! ඒවා ප‍්‍රශ්න කිරීමකට භාජනය වනු ඇත්තේ කවදාද? අපගේ ජීවිත රැදී පවත්නා සදාකාලික සත්‍යයන් ඒවා බව පෙනේ. එසේ වුවද වරදවා තේරුම් ගත් විට වාර්ගික අරගල, ආගමික ගැටුම්, ප‍්‍රාදේශ්‍රීය හා ජාතිවාදී සටන් හා ජාත්‍යන්තර යුද්ධ ඇති කරන ප‍්‍රධාන මූලයන් බවට ඒවා පත්වේ.

    ඔබ හොදින් නැවත සිතා බැලුවහොත් පුද්ගලයෙකු ලෝකයේ එක් තැනක හො වෙනත් තැනක උත්්පත්තිය ලැබිය යුතු බව ඔබට පෙනෙනු ඇත. මිනිසෙකු හෝ ගැහැණියක එසේ ඉපදුණු විට ඒ සමඟ ඔවුන්ට කිසියම් රටක්, ජාතියක්, ආගමක්, දේශපාලන දර්ශනයක් හෝ මතවාදයක්, භාෂාවක්, සමාජ කණ්ඩායමක් හෝ කුලයක් උරුම වේ. අනෙක් ඒවාට වඩා ඒවා හොඳ නිසා ඔවුන් ඒවා තෝරා ගත්තා නොවේ. ඒ සියල්ල අහම්බෙන් ලැබෙන දේය.
    එසේ වුවද, පුද්ගලයෙකු සිය ආත්මය පිළිබඳ හැඟීම සිය ආත්මාර්ථකාමී මමත්වය – හේතුකොට ගෙන හුදු අහම්බයක් නිසා තමාට උරුම වූ මේවා පිළිබඳව ඇලෙන අතර ඒවා තමාට ඉතාම සුදුසු යයි හැඟුන නිසා තෝරාගත් බවක් අන්‍යන්ට පෙන්වන්නට කටයුතු කරයි. ඔහු ඒවා සමඟ වෙන් කළ නෙැහැකි ලෙස සම්බන්ධ වන අතර ඒවා තුළ සිය සතුට, විමුක්තිය හා සරණ සොයයි. ඒවා ඉවත් කළ විට කිසිම වටිනාකමක් නැති හිස් බවක්, අසරණ බවක්, ඔහුට දැනේ. ඒ නිසාම ආරක්ෂා වනු පිණිස, ආවරණය වනු පිණිස, වෙනකක් තබා තමා වැදගත් බව හඟවනු පිණිස, ඒවා උත්කෘෂ්ඨත්වයට නංවන්නට ඉහලට ඔසවා තබන්නට, වන්දනා මාන කිරීමට, ඔහු උනන්දු වෙයි.

    කිසියම් කෙනෙකු සභාවක නැගිට ” මා ශෙ‍්‍ර්ෂ්ඨයි විශිෂ්ඨයි උතුම්යයි” කියමින් තමන් වර්ණනා කෙරෙයි නම් ඒ පුද්ගලයා නිරනුමානයෙන්ම සභාවේ සාධාරණ උපහාසයට ලක්වනු ඇත. එභෙත් ඔහු තමාගේ ජාතිය, වර්ගය හෝ ආගම උසස් යයි ( එයද තමන් උත්කෘෂ්ඨත්වයට පත් කර ගැනීමේ අනියම් මගකි) කියා සිටින්නේ නම් ජාතිපේ‍්‍රමියෙකු ලෙස හෝ දේශපේ‍්‍රමියෙකු ලෙස හෝ වෙනත් පූජනීය කෙනෙකු ලෙස එම සභාවේ සිටින සිය ජාතියට, ආගමට හෝ වර්ගයට අයත් ජනතාව ගෙන් බුහුමන් ලබනවා ඇත. මෙවැනි දේශකයින්ගේ පටු බව හා ලඝු බව දේශපේ‍්‍රමයේ හෝ ජාතිපේ‍්‍රමයේ සළු පිළියෙන් කදිමට වසා ගත හැක.
    18 වැනි සියවසට අයිති ශෙ‍්‍ර්ෂ්ඨ ඉංග‍්‍රීසි ලේඛකයෙකු වූ ආචාර්ය ජොන්සන් ට එවැනි පුද්ගලයින් වහ කදුරු මෙන් තිත්ත විය. ඔහු නිතර මේ කුහක භාවය මනසින් ඉවත් කර ගැනීමේ අවශ්‍යතතාවය ගැන කථා කළේය. වරෙක බොස්වේල් ඇමතූ ඔහු ඔබේ මනස කුහක බවින් මුදා ගන්නැයි කීවේය. ඔහුගේ සමකාලීනකයෙකු වූ ජෝන් විල්ක්ස්, කාන්තාවන්ට ගර්හා කරන ලියවිල්ලක් ලිවීම ගැන සිරගෙට නියම විය. ඉතාම උද්යෝගයෙන් ජාතික හා දේශපේ‍්‍රමී හැඟීම් අවුලවමින් පස් වතාවක් ඡන්දය දිනා ගත් නමුත් සිපිරිගෙට නියම වීම නිසා ඔහුට පාර්ලිමේන්තුවේ අසුන් ගැනීමට බැරි වූ විට ආචාර්ය ජොන්සන් කියා සිටියේ දේශපේ‍්‍රමය තක්කඩියෙකුගේ අවසාන රැකවරණය බවයි.

    ජොන්සන්ගේ කාලයේ සිටම එන දේශපාලනඥයින් සම්බන්ධයෙන් මෙය සත්‍ය වේ. කිසිවෙකු තක්කඩියෙකු වේ නම් ඔහුගේ මුල්ම යොමුව වන්නේ තම ක‍්‍රියාවන් සාධාරණකරණය කරනු සඳහා ජාතිපේ‍්‍රමයේ සහය පැතීමය.

    ශ‍්‍රී ලංකාවේ නීති ශිෂ්‍යයන් විසින් තවමත් මහත් උනන්දුවෙන් හදාරනු ලබන රෝමානු නීතියේ මෙවැනි කියමනක් වෙයි.
    “සිය දේශය වෙනුවෙන් මිය යාම ප‍්‍රසන්න හා වැදගත් දෙයකි” රට වෙනුවෙන් ජීවත් වීම, ඒ වෙනුවෙන් මිය යාමට වඩා වැදගත් බව පෙන්වන්නට. සාධක කොතෙකුත් තිබියදීත් මෙවැනි ආකර්ෂණීය හා උද්වේගජනක සටන් පාඨ මිනිසුන් අරගලයට යුද්ධයට මෙභෙයවා ඇත.
    කිසියම් පුද්ගලයෙකු තම රට ජාතිය හෝ ආගම නොසළකා අමතක කොට ජීවත්විය යුතු යයි කිසිවෙකු යෝජනා නොකරනු ඇත. දේශපේ‍්‍රමය ජාතිපේ‍්‍රමය හා ඒ සමාන වෙනත් දේ තුළ ඇති නොවැටභෙන දේ නම් ඒවායින් ඇතිවන යහපත හෝ අයහපත වෙන්කර ගන්නට නොහැකි වීමය.
    දේශපේ‍්‍රමය යනු රට වෙනුවෙන් පෙනී සිටීමය. ජාතිපේ‍්‍රමය යනු ජාතිය වෙනුවෙන් පෙනී සිටීමය. එහි දොස් පැවරිය යුතු කිසිවක් නැත. ඒ දෙකම යහපත්ය. එභෙත් තම ජාතිය වෙනුවෙන් පෙනී සිටීම ඉක්මනින්ම අනෙක් ජාතියට එරෙහි වීමට පෙරලෙයි. තමන්ගේ රට ජාතිය වෙනුවෙන් පෙනී සිටීම අනෙකාගේ රට ජාතියට එරෙහි වීම ලෙස තේරුම් නොගත යුතුය. ඇත්තටම නම් තමන්ගේ රට ජාතියට හිතවත් වන ප‍්‍රමාණයට අප අනෙකාගේ රට ජාතිය ගැනද හිතවත් විය යුතුය. අනෙකාගේ රට ජාතියට ගෞරව නොකරන, ආදරය නොකරන, කෙනෙකු තමන්ගේ රට ජාතියට සැබෑ ලෙස ගෞරව කරන්නේද ආදරය කරන්නේද නැත.
    බෞද්ධ ආචාර ධර්ම තුළින් මේ සම්බන්ධව වැඩිදුර ගුරුහරුකම් ගැනීමට අපට පුළුවන. ලෝක සත්වයාට මෛත‍්‍රීය කිරීම අරඹන්නේ පහසුවෙන් හා මුලින්ම කළ හැකි තමාට මෛත‍්‍රිය පැතිරවීමෙනි. තමාට මෛත‍්‍රිය කිරීම සඳහා අනුන්ට වෛර කිරීම අවශ්‍ය නොවේ. තමාට නිවැරදිව හා බුද්ධිමත්ව මෛත‍්‍රිය කරන කෙනෙකු සියළු ආකාරයේ නරක ක‍්‍රියාවලින් වැළකෙන අතර නිවැරදි මාවතේ ගමන් කරයි. එවිට අපට අප සමඟ හෝ සමාජය සමඟ ගැටුමක් ඇති නොවේ. අප අවට ලෝකය සමඟ සාමයෙන් හා සංහිඳියාවෙන් ජීවත්වීමට එයින් අපි වරම් ලබමු. ඊළඟ පියවර වන්නේ තමන්ට ඉතාම ළඟින් නුදුරින් සිටින අයට මෙත් සිත් පැතිරවීමය. තෙවැනි පියවර වන්නේ තමා සමඟ සබඳකම් පවත්වන අයට මෛත‍්‍රිය කිරීමයි. සිව්වෙනි හා අවසාන පියවර වන්නේ තමන්ගේ සතුරන්ටද මෛත‍්‍රිය පැතිරවීමය. මෙය දුෂ්කර වුවද මෛත‍්‍රිය වැඩීම තුළ තමන්ගේ අධ්‍යාත්මික වර්ධනය හා අත්දැකීම් ලබන නිසා එය කළ හැකි දෙයක් වෙයි. මෙසේ මෛත‍්‍රිය හුරු කළ විට තමන් හා තමන්ගේ කිට්ටුවන්තයන් අතරද තමන් හා තමන් සබඳකම් පවත්වන්නන් අතරද තමන් හා හතුරන් අතරද වෙනස තුනීව යයි. නැතිව යයි. මෙය ඉන්ද්‍රජාලික සුරංගනා ලෝකයේ සිදුවන අභව්‍ය සිදුවීමක් නොවේ. මෙය මිනිසුන් තුළ ගොඩ නඟා ගත හැකි අපූර්ව තත්වයකි.
    දේශපේ‍්‍රමයට හා ජාතිපේ‍්‍රමයට මෙසේ සියළු ජාතීන් හා දේශයන් එක්ව පෙමකින් වෙලන්නට හැකිවේද? සමහර විට මහත්මා ගාන්ධි එසේත් නැත්නම් ශ‍්‍රී ලාංකිකයෙකු වූ ආනන්ද කුමාරස්වාමි වැනි දේශපේ‍්‍රමීහු හා ජාතිපේ‍්‍රමීහු ජාතියට සංස්කෘතියට හා දේශයට ආදරය කරමින් සෙසු ජාතීන්ට සංස්කෘතීන්ට දේශයන්ටද පේ‍්‍රම කළහ.
    මේ සඳහා කෙනෙකුට පැහැදිලිව දැකිය හැකි මනසක් තිබිය යුතුය. මේ හැම විටකම කල්පනාකාරී වීමත් මිනිසුන් වර්ග කර ලේබල් ඇලවීමට ඉක්මන් නොවීමත් අවශ්‍යය. වර්ගීකරණය යනු බෙදා නිෂ්චිත කණ්ඩායම්වලට වෙන් කිරීමය. එසේ කළ විට අනවරතව ගලා යන සමස්ථ ජීවිතය අපගේ සිත තුළ චිත‍්‍රණය නොවෙයි. වර්ගීකරණය යනු කෑලිවලට වෙන් කර තනි තනිවම ඒවා විමසීමය. ඒ තුළ සමස්ථය දැකිය නොහැකිවේ. වර්ගීකරණය තුල කැබලි වීම නිසා සිදුවන මේ අභාග්‍යය මිනිසා ගැන පමණක් නොව ස්වභාවධර්මය සම්බන්ධයෙන්ද රමණීයත්වය සම්බන්ධයෙන්ද වෙනත් බොහෝ දෑ සම්බන්ධයෙන්ද එකසේ අදාළය.
    සියළුම ආගම් පිළිබඳ ප‍්‍රවේසමෙන් කරන ලද අධ්‍යයනයකින් පසු කිසියම් ආගමක් අනෙක් ඒවාට වඩා ශෙ‍්‍ර්ෂ්ඨ යයි තේරුම් ගෙන ඒ ආගම වැළඳගත් අය ලෝකය තුළ සිටී නම් ඒ අල්ප වශයෙනි. එභෙත් බහුතරයක් අපි උපතින් උරුම වූ ආගම තුළම රැදී සිටිමු. මා කිසියම් ආගමක් උපතින් උරුම කර ගත් නිසාම ඒ ආගම පමණක්ම සත්‍ය බවත් අනෙක් ආගම් සියල්ල අල්පේච්ඡ බවත් කීම කොතෙක් දුරට සාධාරණ වන්නේද? මීටත් වඩා පටු වූද බාලවූද සිතිවිල්ලක් තවත් තිබිය හැකිද? මම බෞද්ධයෙක්ව උත්පත්තිය ලැබූ නිසාම බෞද්ධාගම සත්‍ය දෙසන එකම ආගම බවත් අනෙක් ආගම් තුළ ඇත්තේ බොරුව බවත් මට කිව හැකිද? මා ක‍්‍රිස්තියානි කාරයෙක්ව උත්පත්තිය ලැබුවේ නම් ක‍්‍රිස්තියානි එකම සත්‍ය ආගම බවත් සෙසු සියළු ආගම් වැරදි බවත් මා කීම සාධාරණ වන්නේද? තමන්ගේ ආගම පිළිබඳ භක්තියක් ඇතිකර ගැනීම එකකි. එය යහපත් එකක් වන්නටද පුළුවන. එභෙත් මගේ ආගමට ඇති භක්තියෙන් අන්ධවී මා විසින් සෙසු ආගම් ගර්හාවට ලක් නොකල යුතුය.
    මේ සම්බන්ධයෙන් කිව යුතු තවද කරුණක් ඇත. අවිචාර බුද්ධියෙන් යුතුව ඡාතික හා ආගමික මතයක එල්බගෙන සිටීම තරමටම දේශපාලනික ආර්ථික හෝ සමාජයීය මතයක් විචාරයෙන් තොරව දැරීමද (එකම ආකාරයේ) වැරදිය. මේ සියළු මතවාදයන් (දිට්ඨි) කෙරෙහි අන්ධව බැදී ඇලී සිටින තැනැත්තේ මෙසේ කියයි. මෙය පමණක් සත්‍යයකි. මෙයින් බාහිර හැම දෙයක්ම බොරුවකි.
    එවැනි අන්ධ මතවාදයන් දැරීම පිළිබඳ බුදුන්ගේ වචනය ඉතා පැැදිලිය. කිසියම් මතවාදයකට ඇලි ගැලී සිටිමත් අනෙකුත් මතවාදයන් පහත් යැයි ගර්හා කිරීමත් පහත් ක‍්‍රියාවන්ය. බුද්ධිමත් මිනිස්සු එවැනි දැ සලකන්නේ විලංගු ලෙසය. (සූත්ත නිපාත – 798 පැදිය) ඒ අර්ථයෙන් ගත් කළ මිනිස් වර්ගයා විලංගු දා බැඳ දමා තිබේ.
    මෙයින් අදහස් කරන්නේ අරාජිකත්වය හෝ ව්‍යාකූලත්වය අනුයන බව නොවේ. අපම සාදාගත් පටු දෘෂ්ඨියෙන් මිදී, අපේම සිතින් මවාගත් මන:කල්පිතයන්ට නොබැඳි, නිදහසේ යමක් එහි සැබෑ ස්වරූපයෙන් දකින්නට ඒ උපදෙස් අපට ආරාධනා කරනවා පමණකි. යමක් එහි සැබෑ ස්වරූපයෙන් දැකීමෙන් ව්‍යාකූලත්වයක් හෝ අරාජිකත්වයක් ඇති නොවේ. එයින් පිළිවෙලද, විනයද – සහජීවනය හා සාමයද – ඇති වේ. අපි යථාර්ථයට මුහුණදීමට ඇති බිය නිසාම අපේ ඇස් වසා ගනිමු. අප කැමත, යමක් අපට ඔනෑ අකාරයට දකින්නට මිස, එය තිබෙන සැබෑ ස්වරූපයෙන් දක්නට නොවේ.
    ඒ නිසාම වසර ගණනාවක පුහුණුවකින් පසු සරසවිය හැර යන තරුණ ඔබ සියල්ල පරීක්ෂා කළ යුතුය. ඔබේ දැනුම සියල්ල එහි සැබෑ ස්වරූපයෙන් දකින්නට භාවිතා කළ යුතුය. මා කියන දෙය හෝ වෙනත් කිසිවෙකු කියන දෙය හෝ ඔබ පිළිගත යුතු නැත. එය අධිකාරිත්වය දරණ අයගේ හඬ නිසාම ඔබ පිළිගත යුතු වන්නේ නැත. යම් කෙනෙකු තමන්ගේ හැකියාවේ උපරිම මට්ටමෙන් හා තම දැනුමේ උපරිම මට්ටමෙන් යම් කිසිවක් විමසා බලා පිරිසිඳ දකින්නේ නැතිව පිළිගැනීම සම්බන්ධයෙන් කිසිදා සාධාරණ හේතුවක් දිය නොහැකිය.
    ඔබේ වෘත්තීය ජීවිතය තරුණ ඔබටද එපමණක් නොව සමාජයේ යහපත පතන ඒ වෙනුවෙන් කැප වී ඇති සියල්ලන්ටමද ප‍්‍රයෝජනවත් හා තෘප්තිකර එකක් වනු ඇතැයි මේ උපාධි ප‍්‍රදානෝත්සවයට සහභාගි වන සියල්ලන් පතන බවට මට උදක්ම විශ්වාසය.

    • ඔබගේ අදහස්වලට හා උපුටා දැක්වීම්වලට මා බෙහෙවින් එකග වෙමි. මේ පැහැදිලි කිරීම් වඩා වැදගත් වන්නේ වින්දිතයාට නොව ආක්‍රමිකයන්ටයි. ආක්‍රමණිකයාට ආක්‍රමණය කරන්නට දී වින්දිතයාට මෛත්‍රියෙන් කටයුතු කරන ලෙසට උපදෙස් දෙන්නට යාමෙන් ලැබෙනා සහජීවණය කුමක්දැයි මට පැහැදිලි නැත. අනේ රාහුල හාමුදුරුවනේ මොකක්දෝ කරුමයකට මා දූපතකට සීමාවු ජාතියක් වන සිංහලයකු වී ඉපිද ඇත. විජාතිකයකු වීමට තරම් මා නිවටයකු නොවන නිසාද මෙරට හැර යාමට අකමැති නිසාද යටත් වැසියකු නොවි රටවැසීයකු ලෙස මියයනතුරු මෙහි ජීවත් විය යුතුය. ශාක්ය කෝලිය යුද්දයේදී බුදු රදුන් තම දේශය පිසගෙන එන සුලඟ පවා සැපකැයි කියූ බවක් මා අසා ඇත්තෙමි.

      ජාතිය, ආගම ඉස්සරහට දමා මිනිසුන් කොටවන්නේ දේශපාලකයෝ හෝ වියාපාරිකයෝය. ජාතිකත්වය සහ ආගමිකත්වය ලෝකයෙන් තුරන් වූ විට මරාගැනීම්, යුද්ධ සදහා දේශපාලකයින් වෙන යමක් භාවිතා කරණු ඇත. අද ජාතිය, ආගම නිසා මරාගන්නේ යැයි චෝදනා කරනා අය සමේ වර්ණය ඉස්සරහට දමා මරාගන්න විට දොස් නගන්නේ සොබා දහමටද? අමෙරිකාව ඉරාකය විනාශ කලේ න්‍ය්ශ්ටික අවි ඇතැයි කියාය. තිබූ කෙන්ගෙඩියක් හෝ සිදුකල යුද අපරාදවලට පරීක්ශන හෝ නැත. ලෝකෙට ලොක්කන්ගේ වැඩ එහෙම වුවද පොඩ්ඩන්ට අත් වැරදීමකින්වත් එහෙම දේ බැරිය.

      කමලදාස මහතානෙනි, තව එක ප්‍රශ්නයක් ඔබෙන් අසමි.

      ඔබේ දරුවාට යමෙකු පහරදෙන විට ඔබ එම සිදුවීම නීතියටත් ඇතිවන තුවාල ඉස්පිරිතාලයටත් බාර කල හැකිය කියා නිහඩව බලා සිටින්නේද?

      ඔබේ දරුවාට යමෙකු පහර නොදෙනතාක් කල් ඔබට මෛත්‍රියෙන් කටයුතු කල හැකි වනු ඇත. එසේ පහර දෙත්දීත් මෛත්‍රී කිරීමට නම් බොහෝ සිත දියුනු කර ගත් මමත්වය සම්පුර්ණයෙන් අත්හල අයෙකු විය යුතුය. මම එසේ නොවන බැවින් මාහට අනුකම්පා කරන්න.

      • කොළඹ අගරදගුරු නිවසේ එතුමාණෝ රාජකාරි බහුල තත්ත්වයක සිටින බව පෙනුණි. වතිකානුවේ සිට ඊට පෙරදා පැමිණ සිටි එතුමා වෙහෙස මහන්සි නොබලා උදෑසනින්ම දවස පටන් ගෙන තිබුණි. කාදිනල්තුමාගේ සම්බන්ධිකාරක ජූඩ් සමන්ත පියතුමා විසින් එතුමාගේ කාර්යාලයට අප එක්‌කර ගෙන ගිය පසු සුහදශීලි, කරුණාවන්ත භාවයෙන් අප පිළිගත් මැල්කම් කාදිනල් රංජිත් පියතුමා සිය නිහතමානිත්වය මැනවින් ප්‍රකට කරමින් අප සමඟ කතා බැහැ කළේය. සරල බව අපිස්‌ දිවිය කුරුසිය සමග සිය ජීවිතයට පැළඳ ගත් කාදිනල් තුමා දිවයින ඉරිදා සංග්‍රහය සමඟ කරන ලද සාකච්ඡාවයි මේ.

        ………………………….

        ප්‍රශ්නය – යෝජිත නව ආණ්‌ඩුක්‍රම ව්‍යවස්‌ථාවෙන් ශ්‍රී ලංකාව අනාගමික රාජ්‍යයක්‌ බවට පත්කිරීම සඳහා ද යෝජනාවක්‌ ඉදිරිපත් කර තිබෙන බව පැවසෙනවා. මේ ගැන ඔබතුමා පසුගියදා හඬක්‌ නැඟුවා…

        පිළිතුර – ආණ්‌ඩුක්‍රම ව්‍යවස්‌ථාව සඳහා මහජන අදහස්‌ විමසීමේ ලාල් විඡේනායක කමිටු වාර්තාව අනුව ව්‍යවස්‌ථාවේ නමවැනි ව්‍යවස්‌ථාව, ඒ කියන්නේ බුද්ධාගමට ප්‍රමුඛ ස්‌ථානය ලබාදීම කියන වගන්තිය සම්බන්ධයෙන් යෝජනා තුනක්‌ ඉදිරිපත් කර තිබෙනවා. එම වගන්තිය එසේම තබා ගැනීම, එහි බුද්ධාගම යන තැනට සියලූ ආගම් යන්න යෙදීම සහ එම වගන්තිය වෙනුවට අනාගමික රාජයක්‌ යන්න ඇතුල් කිරීම එම යෝජනායි. මෙහි අවසාන යෝජනාව සඳහා එම කමිටුවේ සාමාජිකයන් බහුතරයකගේ අනුමැතිය පළ වී තිබෙනවා. එය මේ රටේ මහජනතාවගේ පොදු මතයද කියන එක අපිට ප්‍රශ්නයක්‌ තිබෙනවා. මෙම කමිටුවට සාක්‌ෂි දීම සඳහා ගිය පිරිස සියලූ දෙනා මහජනතාව නෙමෙයි. මේ සදහා සංවිධානාත්මකව ගිය පිරිස්‌ ඉන්නවා. විශේෂයෙන්ම රාජ්‍ය නොවන සංවිධානවල පිරිස්‌. කමිටුවට සාක්‌ෂි දීලා තියෙන්නේ තුන්දහස්‌ ගණනක්‌… මේ රටේ ජනතාව මිලියන විසි දෙකක්‌… ඒ මිලියන විසි දෙකේ මතය මේකයි කියලා තුන්දහස්‌ ගණනකගේ මතයෙන් කියන්න බැහැ. එවැනි ව්‍යවස්‌ථා වෙනසක්‌ කරනවා නම් ජනමත විචාරණයකට යන්න ඕනේ. ඊට පස්‌සේ ඒක පාර්ලිමේන්තුවේ තුනෙන් දෙකකින් සම්මත කරන්න ඕනේ.

        අපි අද ඉඳලා ආගමික සමාජයක්‌ද…? අනාගමික සමාජයක්‌ද…? කියන එක සමාජයෙන්ම අනුමැතිය හිමි විය යුතු දෙයක්‌ මට නම් ඒක පිරිහීමක්‌. ඒක දියුණුවේ මාවතට ගමන් කිරීමක්‌ නෙමෙයි. බටහිර රටවල මිනිස්‌සු කරන හැමදේම අපි කරන්න ඕනේ නැහැනේ… ඒ රටවල අනාගමික සංකල්පය තමයි රජ කරන්නේ. එහෙම තියෙන රටවල සිදුවෙන දේවල් අපි දන්නවා. අනාගමික ශිෂ්ටාචාරයක්‌ ශ්‍රී ලංකාව තුළට ඇතුළු කිරීම, වැරදි පැත්තට ලොකු පිම්මක්‌ පැනීමක්‌. අනාගමික සමාජයක තිබෙන සමහර දේවල් ගැන ඒ වාර්තාවේ එහෙන් මෙහෙන් ඉඟි බිඟි කරලා තියෙනවා. සමහර අයිතිවාසිකම්, ගබ්සාව නීති ගත කිරීම… පවුලේ එකමුතුව බිඳවැටෙන විවිධාකාර දේවල්, වයස්‌ගත පුද්ගලයන්ට සිදුවන දේ, වගේ දේවල් අනාගමික සමාජයක්‌ තුළ ඇතිවෙනවා. මේ බටහිර ශිෂ්ටාචාරය වෙනුවට අපේ රටේ සිරිත් විරිත් සංස්‌කෘතිය කොයි තරම් අගේද…?

        අනාගමික සංස්‌කෘතියක්‌ මේ රටට බලෙන් පටවන්නට යන එකට අපි විරුද්ධයි. අඩුපාඩු තියෙන්න පුළුවන්. ආගම ධර්මය සහ ජීවිතය අතර වෙනසක්‌ හැම තිස්‌සෙම සමාජයක තියෙනවා. ඒක අපි දන්නවා. ඒක අපි ජය ගන්න උත්සාහ කරමු.

        ප්‍රශ්නය – බුද්ධාගමට ප්‍රමුඛ ස්‌ථානයක්‌ දෙනවා යෑයි කීම කතෝලික ආගමිකයන්ගේ පැත්තෙන් බැලුවොත් ප්‍රශ්නයක්‌ නෙමෙයිද…?

        පිළිතුර – නැහැ ඒකේ අපිට කිසිම ප්‍රශ්නයක්‌ නැහැ… මිහිඳු මහ රහතන් වහන්සේ ආපු දිනයේ පටන්, මේ රටේ ජනතාවට, සංස්‌කෘතියට ශත වර්ෂ විසිපහකට අධික කාලයක්‌ තිස්‌සේ බුදු දහමෙන් විශාල සේවයක්‌ ඉෂ්ට වෙලා තියෙනවා. මේ රටේ ජනතාවගේ ජීවිත යහපත් කරලා, සිත් සතන් සැහැල්ලු කරලා, මනුෂ්‍යත්වයේ උතුම් ගුණාංග වඩවා ගන්න බුදු දහම විශාල සේවයක්‌ කරලා තියෙනවා. මේ රටේ එවැනි සභ්‍යත්වයක්‌ බුදු දහම ඇතිකරලා තියෙනවා. ඒ දායකත්වය තව දුරටත් පැවතීමේ කිසිම වරදක්‌ නැහැ. අපි කියන්නේ නැහැ ඒක වෙනස්‌ කරන්න කියලා. අපි විරුද්ධ ඒක වෙනස්‌ කරනවාටයි.

        ප්‍රශ්නය – ඔබතුමා මෙවැනි අදහස්‌ නිතරම ප්‍රකාශ කරනවා. මේ සඳහා ඔබතුමාලා අතර ඉන්න සමහරු විරුද්ධව අදහස්‌ ප්‍රකාශ කරනවා නේද…?

        පිළිතුර – ඔව්…ඔව් මේ ළඟදිත් සමහරු එහෙම කියලා තිබ්බා… ඒක මගේ පුද්ගලික මතයක්‌ මිස නිල ප්‍රකාශයක්‌ නෙමෙයි කියලා තිබ්බා…ඒක පෞද්ගලික මතයක්‌ තමයි. හැබැයි මම කතෝලික සභාවේ වග කිව යුතු කෙනෙක්‌ විදිහට මම කරන ප්‍රකාශ වගකීමෙන් කළ යුතුයි. මගේ දහමට ගරු කරන කෙනෙක්‌ විදිහට මම අනුන්ගේ දහමටත් ගරු කරන්න ඕනේ… මට බැහැ අනුන්ගේ දහම විනාශ කරලා, මගේ දහම විතරක්‌ ආරක්‌ෂා කරන්න… මම භික්‌ෂුන් වහන්සේලා කිට්‌ටුවෙන් ආශ්‍රය කරන කෙනෙක්‌. මට බෞද්ධ හොඳ යහළුවෝ මිත්‍රයෝ ඉන්නවා. මම භික්‌ෂුන් වහන්සේලා බොහෝ දෙනෙක්‌ ආශ්‍රය කරනවා. මම උන් වහන්සේලා ගැන හොඳින්ම දන්නවා…උන් වහන්සේලා ඉතාමත්ම සිල්වත්…ඉතාමත්ම හොද ගති ගුණ තියෙන අය… මනුෂ්‍යත්වයේ ඉහළම හිනිපෙත්තට නැගපු ආධ්‍යාත්මිකත්වයක්‌ පෙන්නුම් කරන අය… ඒ අය යක්‌ෂයාට අයිති අය කියලා මට කියන්න බැහැ. දැන් එහෙම කතා කියන කාලයක්‌ නෙමෙයි…බුදුරජාණන් වහන්සේ දේශනා කරපු ආර්ය අෂ්ටාංගික මාර්ගය, චතුරාර්යය සත්‍යය වැනි ධර්මතා මිනිස්‌සුන්ගේ ජීවිත හැඩ ගස්‌සව ගන්න, සැහැල්ලුව. සැනසුම ලබා ගැනීම සඳහා වැදගත් වෙලා තියෙනවා. අපි ඒක දකිනවා…ඒ නිසා අපි ඒකට විරුද්ධව කටයුතු කරන එක වැරදියි. බුදු දහම මේ රටේ ආරක්‌ෂා වුණොත් අනෙකුත් ආගම් ආරක්‌ෂා වෙයි. මේ රටේ සංස්‌කෘතිය පහළට ඇදලා දාන අනාගමික රාජ්‍යයකට අපි විරුද්ධයි. මේ රට සිංගප්පූරුවක්‌ කරනවාට අපි විරුද්ධයි.

        මනුෂ්‍යයාද සිත පාලනය කර ගැනීමට බුදු දහමෙන් ලැබිලා තියෙන ආභාසය මම දැකලා තියෙනවා. ඒ සියලූ දෙනාව මට කොන් කරලා දමන්න බැහැ. සෑම ආගමක්‌ම අපේ සම්පතක්‌. බුදු දහමේ තිබෙන සම්පත ශ්‍රී ලංකාවාසී හැමෝම සමඟ බෞද්ධයෝ බෙදා ගන්න ඕනේ. ක්‍රිස්‌තු භක්‌තිකයෝ තමන්ගේ ආගම කියන සම්පත සියලූ දෙනා සමග බෙදා ගන්න ඕනේ… එහෙම බෙදාගෙන මේ ශිෂ්ටාචාරය දියුණුවට පත් කරගන්න ඕනේ…

        දියුණුව කියන්නේ අහස උසට යන ගොඩනැඟිලි හදන එක නෙමෙයි… අහසට උසට යන ගොඩනැඟිලි හදන කොට මනුෂ්‍යත්වය පහළට බහිනවා නම් මොකක්‌ද ඒ සමාජයේ තියෙන දියුණුව…?

        ඇමරිකාව ඇවිත්, අපිට මානව හිමිකම් රකින්න කියලා දෙන්න හදනවා… කළු ජාතික ජනාධිපති කෙනෙක්‌ ඉන්න රටක, ඒ රටේ කළු ජාතිකයෝ ඉන්නේ මොන තරම් පීඩාවකින්ද …? තමන්ගේ රටේ ඉන්න කළු ජාතිකයන්ට මානව හිමිකම් දෙන්න බැරි අය අපිට මානව හිමිකම් කියලා දෙන්න එනවා…

        ප්‍රශ්නය – ලහි ලහියේ පනතක්‌ ගෙන එමින් අතුරුදන්වුවන්ගේ ලේකම් කාර්යාලයක්‌ ඇතිකරමින් ජාතියේ ආරක්‌ෂාව වෙනුවෙන් කටයුතු කරපු රණවිරුවන් තර්ජනයකට ලක්‌ කිරීමට ආණ්‌ඩුව කටයුතු යොදා තිබෙනවා…මේ තත්ත්වය ඔබතුමා දකින්නේ කොහොමද…?

        පිළිතුර – මේ ගැන අපි රදගුරු මණ්‌ඩල රැස්‌වීමකදී කතා කරන්න බලාපොරොත්තු වෙනවා. යුද්ධයේදී විතරක්‌ නෙමෙයි, හැත්තෑ ගණන්වල සිට අතුරුදන් වීම් මේ රටේ වාර්තා වුණා. තවත් ඝාතන රාශියක්‌ පසු ගිය කාලයේදී සිදු වුණා අපිට මතකයි. මේ රටේ ජනාධිපති ප්‍රේමදාස මහතා ඝාතනය වුණා. ආරක්‌ෂක රාජ්‍ය අමාත්‍ය රන්ජන් විඡේරත්න මහතා බෝම්බ ප්‍රහාරයකින් ඝාතනය වුණා. මෙවැනි සිද්ධිත් විභාග කළ යුතුය. නැගෙනහිර පළාතේ පොලිස්‌ නිලධාරීන් හයසිය ගණනක්‌ යටත්වීමෙන් පසුව මරා දැම්මා… ඒ ගැනත් පරීක්‌ෂණයක්‌ කරන්න ඕනේ… කොළඹ සහ තවත් ප්‍රදේශවල අහිංසක ජනතාව වෙත බෝම්බ තියලා මරා දැම්මා. ඒවා ගැනත් කතා කරන්න ඕනේ…මේ යුද්ධයක්‌ අල්ලාගෙන බටහිර ලෝකයට අවශ්‍ය දේ ඉෂ්ට කිරීම සාධාරණද…? මෙතැනදි එක පැත්තකට විතරක්‌ වරදක්‌ පටවන්න යන එක නිවැරදි නැහැ. මේ අතුරුදන් වුවන්ගේ කාර්යාලය ගැන අපි වගේ අයවත් දැනුවත් කරලා නැහැ. මේ නීති රීති ගේන්න ඉස්‌සෙල්ලා, ඒවා ප්‍රසිද්ධ කරලා, විවාදය සඳහා කල් දෙන්න ඕනේ… ඒ විවාදය පාර්ලිමේන්තුවට විතරක්‌ නෙමෙයි එයින් එළියටත් ගන්න ඕනේ. මේවා විවෘතව කතා කරන්න ඕනේ. ඉස්‌සර ආඥාදායක තත්ත්වයක්‌ තිබුණා කියලා කියනවනේ… මෙහෙම කළොත් ආයෙත් යන්නේ ඒ තැනටමනේ… මම බලාපොරොත්තු වෙනවා විශේෂයෙන්ම මේ යහපාලනය මගින් ඒ වැනි දේවල් නොකරයි කියලා.

        කාලයක්‌ පුරා මේ රටේ තිබ්බ ආණ්‌ඩු, කොමිෂන් දාලා තමන්ට අවශ්‍ය දේවල් කර ගත්ත හැටි අපි දැක්‌කා. ඒ වගේ දේවල් අපේ රටේ යළි වෙන්න ඕනේ නැහැ… විවෘත භාවයක්‌ නැත්නම් සාධාරණ විදිහට වැඩ කරන්නේ නැත්නම් පළිගැනීම් විතරක්‌ නම් කරන්නේ, රට වෙනුවෙන් කල්පනා කරන්නේ නැතුව පටු ෙච්තනාවෙන් පමණක්‌ වැඩ කරනවා නම් ජනතාව තප්පර දෙකෙන් ඒ ගැන තීරණයක්‌ ගනිවී…

      • මගේ දරුවාට යමෙක් පහර දෙන්නේ නම් මගේ ප්‍රතිචාරය කුමක් දැයි ඔබ අසයි. ඒ ගැන උත්තර දීමට පෙර මා විසින් දැනුවත් විය යුතු බොහෝ දේ තිබේ. එවැනි පහර දීමක් කිරීමට තරම් යුක්ති යුක්ත හේතු පහර දුන් තැනැත්තාට තිබේ ද? මේ පහර දීම වළක්වා වඩා දිගු කාලීන සුහද සම්බන්ධයකට පදනම දැමිය හැක්කේ මගේ කුමන චර්යාවකින් ද? පහර දෙන්නා සතුව ඇති ශක්තීන් මොනවා ද දුර්වලතා මොනවා ද? මට ඇති අවස්ථා මොනවා ද මට හා මගේ පුතාට ඇති විය හැකි තර්ජන මොනවා ද?

        එකි නොකී දෑ නොදැන ඔබේ ප්‍රශ්නයට පිළිතුරු දීම අමාරු ය.

        මා ගන්නා තීරණය කුමක් වුව ද එය ගනු ඇත්තේ බොහෝ කරුණු හා ඉදිරිය ද සළකා බලා ය. එසේ නැතිව එවෙලේ මගේ සිතේ ඇතිවන හැගීම් අනුව නොවේ.

        ඔබගේ ප්‍රශ්නයට සර්ව සම්පූර්ණ උත්තරයක් දීමට නොහැකි වීම ගැන කණගාටු වෙමි.

  6. කව්ද මේ සංජීව කියන ගොන් තඩිය. ඌම පිලිගන්නවා බුද්ධාගම කියන්නේ ෆේල් වෙච්ච ආගමක් කියල. ඒක හරියට කරන්නනම් වනගත වෙන්න ඕනලු. මේ වගේ සංකීර්ණ සමාජ වල කරන්න පුළුවන් එකක් නෙමෙයිලු

Leave a Reply

Fill in your details below or click an icon to log in:

WordPress.com Logo

You are commenting using your WordPress.com account. Log Out / Change )

Twitter picture

You are commenting using your Twitter account. Log Out / Change )

Facebook photo

You are commenting using your Facebook account. Log Out / Change )

Google+ photo

You are commenting using your Google+ account. Log Out / Change )

Connecting to %s