කළුවරේ ජරමරේ – මෙහෙම හොඳා- එලිය එපා!

අප කොහොමටත් ඉන්නේ කළුවරේ ය. ලයිට් ගියා කියා ලොකු වෙනසක් අපට ඒ නිසා තිබිය නොහැකි ය.

ඒඩ්ස් රෝගය බෝවෙන්නෙ කෙසේ දැයි මේ රටේ ගුරුවරු විදුහල්පතිවරු අධ්‍යාපන අධ්‍යක්ෂවරු පමණක් නොව අධ්‍යාපන ඇමති තුමා ද දන්නේ නැත. ඒ ඒඩ්ස් රෝගය පිළිබඳ කප්පරක් වැඩ සටහන් පැවැත්වීමෙන් ද පසු ය. මුළු අධ්‍යාපනයේ මුඛ්‍ය පරමාර්ථය අඳුර දුරලීම ව තිබියදී අධ්‍යාපන ක්ෂේත්‍රයම අඳුරේ ඇති කල, ඉතිරි තැන්වල එලිය ඇති වන්නේ කෙසේ ද?

ලිංගික අධ්‍යාපනය තවමත් අඳුරේ පසු වන කල මෙවැනි දේ ගැන එක් අතකට පුදුම විය යුතු නැත. ලිංගික අධ්‍යාපනය තවමත් හැංගිමුත්තන් කෙළින්නේ අප ශිෂ්ඨ නිසා ය. අශිෂ්ඨ එංගලන්තයට අපේ පාසලින් බැහැර කළ දරුවා වෙනුවෙන් ඉදිරිපත් වන්නට සිදු වූයේ ඒ හේතුවෙනි.

අවසානයේ ක්‍රිස්තියානි විදුහලක් ලෙස ප්‍රචලිත ත්‍රිත්ව විදුහලට ස්තුති වන්නට සම්බෝධිය පමණක් නොව බොහෝ පාසල්වල අධ්‍යාපන මට්ටම කුමක්දැයි ලෝකයට අනාවරණය නොවී සැගව ගියේ ය.

රටේ ප්‍රධාන බෞද්ධ පාසල් යැයි තමන්වම හඳුන්වාගන්නා විදුහල් දෙකකට ඒ දෙවිදුහල් අතර පැවති සුහද ක්‍රිකට් තරගයක් ගහ මරා ගැනීමෙන් තොරව පැවැත්විය නොහැකි විය. අපට තවමත් අඳුරෙන් එලියට එන්නට බැරි වී තිබෙන බව එයින් ද ප්‍රත්‍යක්ෂ වෙයි. කෙස්වැටියේ සිට පළඳින සපත්තුව දක්වා එලෝ කෝටියක් ප්‍රමිතීන්ට යටත්ව විනයක් ගොඩ නගන පාසල්වල සිදුවන කටයුතුවලින් ප්‍රදර්ශනය වන්නේ කුඩා පරාජයක් බාර ගැනීමට ඇති අපහසුවෙන් එකිනෙකා මරා ගන්නා සිසුන් පිරිසක් පමණක් නොවේ.

සිය “පිරිමි කම“ පෙන්නීමට බලෙන් කාන්තා පාසල්වලට කඩා පැන සිසුවියන් අපහසුතාවයට පත් කර ඉන් සිය නොපනත්කම පමණක් නොව බාලිකාවන් කෙරේ ආධිපත්‍ය පැතිරවීමට තමන්ට අයිතියක් ඇතැයි යන උද්ධච්ඡ මනෝභාවය ඇතුළු තවත් බොහෝ දේ ප්‍රදර්ශනය කරන තිරිසන් සත්ත්ව කොට්ඨාෂයක් ද මේ ක්‍රිකට් තරග අතර දැක බලා ගත හැකි ය. විනය ඇඳුමට හා බාහිර ශරීරයට ලඝු කොට ඇති පාසල් පද්ධතියක අඳුර මිස එලිය පැතීම එක් අතකින් අපේ මෝඩ කමකි.

රටේ නායකකාරකාදීන් ග්‍රහතරු ඇසුරින් තම අනාගතය සැළසුම් කරන තරමට නොදියුණු මනසක් සහිත වීම රටේම ජනතාව මේ ගුප්ත වස්තු සරණ යන ප්‍රමාණය කොතෙක් දැයි කියා සිටින්නේ ය. අඳුරේ අතපත ගාන්නට කැමති එවන් රටක යටත් වැසියනට එලිය කුමකට ද යන ප්‍රශ්නය මතු වන්නේ ය. දුකට පත් මිනිසුන්ගේ ඉහ ඉණ අත ගාගෙන උන් අඳුරටම තල්ලු කරන මෙවන් ගුප්ත කර්මාන්තයන් ගැන මෙලෝ හසරක් පාසල තුළ කතා නොකෙරෙන්නේ මිනිසුන් අඳුරෙන් එලියට ගැනීම පාසලට අයත් වගකීමක් ලෙස නොසළකන නිසා විය හැකි ය.

පාසල උගන්වන්නේ අකුරු හා ඉලක්කම් පමණ ය. බෙදන්නේ දැනුම පමණ ය. පොත්වලට රිංගවන ලද අනුමත දැනුම පමණ ය. කිසිදු ඍණ චින්තනයක් ප්‍රශ්න නොකරන ඒ දැනුම සමහර ඍණ චින්තනයන් ප්‍රශ්න නොකරම පිළිගන්නට සිසුන්ට අණ කර තිබේ. ඉදින් එහෙම පාසලකින් එලියක් බලාපොරොත්තුවන අපි මෝඩයෝ නොවෙමු ද?

එක කණ්ඩායමකට අනුව විදුලිය ඇණ හිට ඇත්තේ පවතින පාලනයේ වරදිනි. ඒ නිගමනයට පැමිණීමට ඔවුන්ට සාධක හෝ සාක්කි අවශ්‍ය නැත. අනිත් කණ්ඩායමට අනුව විදුලිය ඇණ හිට ඇත්තේ විපක්ෂයේ කුමන්ත්‍රණයකිනි. ඒ නිගමනයට පැමිණීම සඳහා ද සාක්කි අවශ්‍ය නැත. එබැවින් ඒ නිගමන දෙකම අඳුරේ ගෙන ඇති නිගමනයන් ය. එලිය නොලබා බැහැගත් නිගමනයන් ය. අපේ පාසල දැනුම බෙදා දුන්නාට නිගමනයන්ට එළඹෙන අයුරු උගන්වා නැත. දැනුම තුළ ඇත්තේ කලින් බැසගත් නිගමනයන් ය. ඉතින් තමන්ගේ කඳවුරේ කවුරු හරි දෙසාබානා යමක් ඒ හැටියටම ගෙන කිව්වහම හරි ය.

අඳුරේම තීරණ ගැනීමට පුරුදු වී ඇති ජනතාවක් සිටින අපට එලිය කුමකට ද?

ඒ නිසාම විදුලි අර්බුදයට සැබෑ හේතුව සොයා නොගන්නා තරමට අප කැමති ය. එලිය වැටුනොත් අපේ නිරුවත පේනා නිසා ය.

Advertisements

2 thoughts on “කළුවරේ ජරමරේ – මෙහෙම හොඳා- එලිය එපා!

  1. Pingback: කළුවරේ ජරමරේ – මෙහෙම හොඳා- එලිය එපා! | සතුටු වැස්ස බ්ලොග් කියවනය

Leave a Reply

Fill in your details below or click an icon to log in:

WordPress.com Logo

You are commenting using your WordPress.com account. Log Out / Change )

Twitter picture

You are commenting using your Twitter account. Log Out / Change )

Facebook photo

You are commenting using your Facebook account. Log Out / Change )

Google+ photo

You are commenting using your Google+ account. Log Out / Change )

Connecting to %s