බුදු හාමුදුරුවන්ට ලියුම් කරදාසියක්

somawathie
ඔබ වහන්සේට මෙසේ ලියන්නට හිතුනේ ඔබ වහන්සේ සෝමාවතී චෛත්‍ය අහසට වී කොකම් පානා බවට කණ වැටුනු ආරංචියක් නිසා ය. ආරංචියක් කිව්වට එය ආරංචියකට වඩා එකක් බව මුලින්ම කිව යුතු ය. ඒ ඔබ වහන්සේටවත් එසේ නොවේ යැයි කියන්නට බැරි ලෙස එය කැමරා කාචයක සටහන් වී තිබුණු නිසා ය. මට ඒ පින්තූරය දැක ගන්නට හැකි වුනේ මූණු පොතේ මේ දිනවල හරි හරියට එය සැරිසරණ නිසා ය.

සමහරු නම් කියන්නේ ඕක ෆොටෝ ෂොප් කියා ය. මම නම් ඒ කීම විශ්වාස කරන්නේ නැත. බෞද්ධයෙකු කිසි දා බොරු කරන්නේ නැත. තමන්ගේ ආගමේ අභිවෘද්ධිය පතා වත් එසේ කරන්නේ නැත. තෙරුවන් සරණ ගිය පන්සිල් ගත් කෙනෙකු බොරුවක් කරනවායැයි කීමම පාපයකි. අන්‍ය ආගමිකයෙක් කළා වන්නට බැරිදැයි අහන අය ද සිටිති. එහෙත් මූණු පොතේ මේ රූපය උඩ පැන පැන ප්‍රචාරය කරන්නේ අමු බෞද්ධයින් බැවින් එහෙම යැයි හිත හදා ගන්නට ද බැරි ය.

තරහ අවසර, ඔබ වහන්සේ පිරිනිවන් පෑවා යැයි කීවත් මට දැන් ඒ ගැන ඇත්තේ විචිකච්ඡාවකි. පිරිනිවන් පෑ කෙනෙක් මෙසේ පෙළහර දක්වන්නේ කෙසේ ද?

එක අතකට මේ පෙළහර පෑම අද ඊයේ සිදු වූවක් ම නොවේ. ධාතු එළි පතුරවමින් ඔබේ සිරුරේ පිරිනිවන් පෑ කොටස් කොකුම් පාන්නේ අද ඊයේ නොවේ. වැඩිපුරමත් මිනිසුන් ඒ දැක ඇත්තේ කෙම්මුර දිනවල ය. ඔබේ දන්ත ධාතුව එළියට ගත් පමණින් වැසි වසින්නේ ද මේ බව ලොවටම කියමිනි. වැසි වැස්සවීමට යම් බලයක් ඇත්නම් ලෝකයේ නියං සායෙන් පෙළෙන පෙදෙසක දී ඔබේ ප්‍රතිහාර්යය පාන්නේ නම් මම අගය කරමි. ඒ නුවරට වතුරෙන් ඒ හැටි අහේනියක් නැති නිසා ය.

මට ඇති ඊළග ප්‍රශ්නය තරමක් ගැඹුරු ය. ඔබ වහන්සේ ජීවත්ව සිටියදීත් පෙළහර පෑම ගැන දැරුවේ උදාසීන අදහසකි. එසේ නොකරන ලෙස භික්ෂූන්ට උපදෙස් දුන් බවට ද කතා එමට ය. එහෙව් ඔබ පිරිනිවන් පෑ පසු මේ දක්වන පෙළහරේ අරුත කුමක් ද?

ඔබ වහන්සේ සතු යම් ප්‍රතිහාර්යයක් තිබේ නම් අසරණ ලෙස මිය ගිය සේයා දැරිය වෙනුවෙන් එය ක්‍රියාත්මක නොවුනේ මන්ද? සෝමාවතී චෛත්‍යයට ඔබ වහන්සේගේ විශේෂ ලැදියාවක් නිසා එය ඇසුරේ ඉන්නවාවත් ද? මා මෙසේ අසන්නේ මීට පෙරද සෝමාවතී චෛත්‍ය ළග ඔබ සැරි සරන බවට කට කතා පැතිර ගොස් තිබුනු නිසා ය. එය එසේ නම් ජීවත්ව සිටි කල නොතිබූ තෘෂ්ණාවක් පිරිනිවන් පෑමෙන් පසු මතු වී යැයි කෙනෙකු හිත්නනට පුළුවන.
නිකම් වත් ඔබ වහන්සේට කොටකෙතන පැත්තට වඩින්නට නොහිතුනේ ඇයි ද? බැරිවෙලාවත් සෝමාවතී අහසේ පෙනී සිටි ලෙස ඔබ කහවත්තේ හෝ කොටකෙතන පෙනී සිටියා නම් අංගුලිමාලයා තම ගොදුර අතැර ඔබවහන්සේගේ ඒ රුවට වැඳ නමස්කාර කරනවා සහතික ය.

ඔබ වහන්සේ ජීවත්ව සිටියදී අංගුලිමාල දමනය කළ ලෙසට මේ කහවත්ත කොටකෙතන අංගුලිමාලයාව දමනය කරන්නට පිරිනිවන් පෑමෙන් පසු ඉතිරිව ඇති ඔබේ මේ ශක්තිය නොයොදන්නේ මන්ද?

අඩු වශයෙන් එකල සිදූ වූවාක් මෙන් මේ අපරාධකරුවන් පොළොව පැලී නිරයට නොගෙන යන්නේ මන්ද? ලෝක පාලක දෙවියන් ඉදිරියේ පෙනී සිට ඒ ගැන ඇහැව්වොත් මොකද?

ඔබ වහන්සේ පිරිනිවන් පෑවේ නැත්නම් මේ ප්‍රශ්නවලට නිසි පිළිතුරු දෙන බව මම දනිමි. එහෙත් පිරිනිවන් පෑමෙන් පසු ඉතිරි වී ඇති යම් බලයක් තිබේ නම් ඒ බලය පාවිච්චි කොට මේ අසරණ ගැත්තාට අනුකම්පාවෙන් මේ ලියුම් කරදහියට මොකක් හෝ ලියා එව්වොත් ඔබ වහන්සේට පින් ය.

ඒ මක්නිසා ද යත් ඔබ වහන්සේගේ ගෝලයින්ට මේ වගේ ප්‍රශ්න යොමු කළොත් අහගන්න වෙන්නේ කුණුහරුප විතරක් බැවිනි.

Advertisements

9 thoughts on “බුදු හාමුදුරුවන්ට ලියුම් කරදාසියක්

  1. Pingback: බුදු හාමුදුරුවන්ට ලියුම් කරදාසියක් | සතුටු වැස්ස බ්ලොග් කියවනය
  2. When all living people are silent what could Lord Buddha do. Lord Buddha has directed .it is up to the people to follow it or not.Though Lord Buddha is not live that power exist in the world. i do not know about a picture. Lord Buddha has stated “Yamek Dharmaya dakeeda . He ma dakee. ” Lord Buddha cannot come and save little girls when brutal are raping them and the whole society is in a mess. Buddhism is not to spoon feed people.When the parents cannot provide adequate security what could other’s do.

    • I don’t expect Lord Buddha to reappear and save children like Seya. I only wanted to show how ridiculous the claims of having buddha’s picture in the sky. These rogues pollute Buddhism by these nonsense. My intervention was only to show the hollowness of their claim.

  3. වදන් දෙකක වැරදි පෙන්වා දීමට අවසර..කොකුම් පෑම නොව කොකම් පෑම වියයුතුයි. එළෙසම පෙළහැර නොව නිවරද වන්නේ පෙළහර යන්නයි.

    ඔබේ ලිපිය ඉතාමත් අගනේයි මහත්මයාණනි! මූඪභාවයට සුදුසු බෙහෙතක් තවමත් සොයාගත නොහැකිවීම මහත්ම අභාග්‍යයකි.

  4. ගරු මහත්මයාණෙනි;
    ඔබතුමා කලමනාකරණය ආදී වූ විෂයන්හී පරතෙරට ගිය උගතෙක් බව සිතමි.
    එලෙසම බස හැසිරවීම පිළිබඳවද සුරු කම් දරන්නෙකු බව පෙනේ.

    බුදු හාමුදුරුවන්ට යැයි ඔබ ලිවූ ලියුම් කඩදාසිය කියවා අවසානයේ,මෙය කුමන අඩවියක පලවිනිදැයි විමසා බලන විට පෙනී ගියේ “වචන සෙල්ලම්” බ්ලොග් අඩවිය යටතේ මේ සෙල්ලම සිදු කර ඇති බවය.
    ඔබතුමාට සෙල්ලමට ලිපි ලියන්නට ජීවමාන ඕනෑ තරම් පිරිස් සිටිත්දී කනගාටුවෙන් වුවත් පවසන්නට ඇත්තේ බුදු හිමිට ලියුම් ලියා පාණ්ඩිත්‍ය පෙන්වන්නට ගොස්,ඔබේ ළදරු භාවය ලෝකයා හමුවේ පෙන්වූ බවය.

    භක්තිය වෙනුවට අන්ධානුභාක්තිය පෙරදැරි කරගත් පිරිස් විසින් ඉදිරිපත් කරන රූප රාමු,සේයා වලට බුදු දහම වග කිව යුතු නැත.
    ඔබතුමා විසින් “අමු බෞද්ධයින්” යැයි ඉදිරිපත් කරන පිරිස සතුව පවතින දහම් දැනුම හා ඔවුනොවුන්ගේ චින්තන රටාවන් ඔබට හෝ මට අප දෙනෙනාටම විනිශ්චය කල නොහැක.එම නිසා ඔබ පවසන පිරිස අමු බෞද්ධයන් නොව,පැවිදි පිරිසට අයත්ව සිටියත් ඔබ පවසන කරුණ ධර්මයේ සදහන් නොවේ නම් ඔබ එය බුදු දහම හා ගැලපීමට යාම හදට ගල් ගසන්නාක් වැනි ක්‍රියාවකි.

    ත්‍රිපිටකයේ කොතැනක හෝ වැසි වසින්නට දළදා ප්‍රදර්ශන පවත්වන්න යැයි පවසා නැත.
    එමනිසා ඔබතුමා කාලාන්තරයක පටන් පැමිණෙන ජන මතවාද හා විශ්වාස දහමට ගැලපීමට යාම නිර්ථක උත්සාහයකි.
    බුදුවරු ලොව පහල වන්නේ ලෝකයාට මෙලොව පරලොව යන දෙලොවටම වැඩදායී වූ යහ මග පෙන්වීමට විනා,ලෝකය තමා වසගයේ තබා පාලනය කිරීමට මග තැනීමට නොවේ.
    ඒ පෙන්වන ලද මාවතේ ගමන් කර සිය දෙලොව යහපත තනා ගැනීම හෝ නොගැනීම ලෝකයාට අයිතිය.ඒ ලෝකය යන කුලකයට ඔබත්, කොටකෙතන ඝාතකයාත් සැම දෙනා අයිතිය.
    බුදු හිමියන් පෙන්වූ මග තවමත් ලෝකය තුල පවතිද්දී බුදු දහම දරා සිටින ත්‍රිපිටකයේ දහම් කරුණු තුලින් බුදුන් නොදක මුහුණු පොතෙන් බුදුන් දැකීමට ගොස් ඔබ කර ඇති ක්‍රියාව,සූර්යයා තිබෙත්දී කණාමැදිරිකගෙන් එළිය දැකීමට යාම හා සමානය.

    මහත්මයාණෙනි,මම ඔබතුමාගේ ආගම,ඔබ තුමාගේ විශ්වාසයන් නොදනිමි,
    නමුත් ඉදුරාම මේ ලිපිය ලියන ලද්දේ බුදු දහමට සමච්චල් කිර ඔබ හරි උගතා යැයි පෙන්වීමට බව

    ” ඔබ වහන්සේ පිරිනිවන් පෑවේ නැත්නම් මේ ප්‍රශ්නවලට නිසි පිළිතුරු දෙන බව මම දනිමි. එහෙත් පිරිනිවන් පෑමෙන් පසු ඉතිරි වී ඇති යම් බලයක් තිබේ නම් ඒ බලය පාවිච්චි කොට මේ අසරණ ගැත්තාට අනුකම්පාවෙන් මේ ලියුම් කරදහියට මොකක් හෝ ලියා එව්වොත් ඔබ වහන්සේට පින් ය.”

    මේ පාඨයෙන් පෙනීයයි.
    මට තවමත් සිතා ගත නොහැක්කේ බෞද්ධ දර්ශනයේ නොපවසන
    නමුත් ක්රි්ස්තියානි,මුස්ලිම්,හින්දු යන දේවවාදී ආගම් වල ඉගැන්වෙන සර්වබලධාරී,සර්ව ව්‍යාප්තික,ලෝකය මැවූ මෙන්ම ඔබ මේ ලිපිය කියවන විටදීද පාලනය කරන්නේ යැයි සැලකෙන දෙවිවරුන් උදෙසා ලිපියක් නොලීවේ මක් නිසාද යන්නය.

    ඒ අන් හේතුවක් නිසා නොව ඔබ කුමන ආගමික මත ධාරියෙක් වේවා,නොවේවා.ජීවමාන යැයි කියන්නා ඒ දෙවිවරුන්ගෙන් ඔබට පිළිතුරක් නොලැබෙන බවත් එම ආගම් වල පදනම් එසැනින්ම බිදවැටෙන බව ඔබ සිත දන්නා නිසාය.

    ඔබතුමාට නැවත වරක් මෙවන් ගැටළු ඇති විනි නම් හුදෙක් මුහුණු පොතේ හා සමාජයේ ඔබ දකිනා දේ වලින් බුදු හිමිට ලියුම් නොලියා ත්‍රිපිටකයේ අඩංගු යම් වරදක් ඔබට සොයා ගත හැකිනම් ඒ පිළිබඳව අදාළ ත්‍රිපිටක ග්‍රන්ථය හා සූත්‍රය ඇතුලත් කොට ලිපි ලියන්න.කළමනාකරණය ගැන කොතෙක් ග්‍රන්ථ ලියා තිබුනත් මූලික තාර්කික සිද්ධාන්ත වලට අනුව ලිපියක් කළමනාකරණය කරගත නොහැකි නම් එය ඔබ ලබා තිබෙන උපාධි වලටද හරි මදිය.

    එසේ ඔබතුමා විසින් පදනම් සහිතව ත්‍රිපිටකය තුලින් ගැටළු ඉදිරිපත් කරයි නම් ඒ සම්බන්ධයෙන් පිවිතුරු සිතින් පිළිතුරු දීමට අපි බැදී සිටිමු.
    නිමා කිරීමට ප්‍රථමව ඔබගේ ලිපිය කියවූ විට සිහියට නැගුණු සංස්කෘතයෙහි අඩංගු ස්ලෝකයක සිංහල අරුතක් ගෙනදක්වන්නට සිතුණි.
    “ධනයෙන් තොරව කම් සැප විදීමට යාමද,
    බලාදියෙන් තොරව කලහ කිරීමට යාමද,
    ශාස්ත්‍රය මදක් හදාරා විවාද කිරීමට යාමද,
    මේ ලක්ෂණ 3න මෝඩයාගේ ලක්ෂණ බව දත යුත්”

    දැන් ඉතින් ඔබේ දැනුමේ තරම ලෝකයා හමුවේ තබා අවසානය.
    ගිය නුවණ ඇතුන් ලවාවත් ගත නොහැකි බැවින් ඉදිරියට වත් සිහි නුවණ ඇතුව කටයුතු කලොත් මිනිසුන්ගේ සිනහවට ලක් නොවී ඔබටම යහපත සැලසෙන බව අනුකම්පා පෙරදැරිව ඉදිරිපත් කරමි..!

    • නව දැලි හේනක පෑව වැඳිරි රුව ලෙස උවනින් දෙනුවන් රවටා
      මා පෙම් කළ ජනපද කළ්‍යාණිට හිමියනි මට කළ නොහැක නිගා

      ඉහත ගීතය ඔබට මතක ඇතැයි සිතමි. එය ලියූ රචකයා බුදුහිමියන් ජීවමානව වෙසෙනවා යයි සිතා එය ලියුවා නොවේ. බුදුන් අමතමින් කියන්නේ වුව ද එයින් කියන්නට හදන පණිවුඩය බුදුන්ට නොවේ. කලාත්මක නිර්මාණයක් දෙස අමු ඇසකින් බැලුවහම පෙනෙන්නවූ දේ ඔබටත් පෙනී ගොස් තිබීම ගැන මම පුදුම නොවෙමි. බුදුදහමට වුව ද අනවශ්‍ය ලෙස ඇලුණු විට යමක් දෙස විචාර බුද්ධියෙක් බලන්නට බැරි බවට ඔබ එක් උදාහරණයකි.

      මගේ සටහන බුදුන්ට ලියුවක් නොවේ. බුදුන් හරිහැටි වටහා නොගත් ශ්‍රාවකයින්ට උන්ගේ මෝඩකම තේරුම් යනු පිණිස ලියුවකි.

      නොමළ ගෙය කින් අබැටක් ගේන්නට යයි බුදුන් වහන්සේ කිව්වේ යමක් තේ්රුම් කිරීමට විනා නොමළ ගෙවල් නැති බව නොදැන නොවේ. එළැඹී සිහි ඇතිව යමක් දෙස බලන්නට ඉගෙන ගත හොත් පමණක් බුදුදහම තේරුම් ගත හැකිය. නැතිනම් අහුවන්නේ එහි මතුපිට පමණ ය.

      • දිනෙන් දින යාවත්කාලීන වන,අප සැමට අසන්නට දකින්නට ලැබෙන වත්මන් සමාජයේ නිර්මල බුදු දහමට එරෙහිව එල්ල වී ඇති විවිධාකාරවූ බලවේග,බලපෑම් ඔස්සේ ඔබතුමා විසින් ඉදිරිපත් කරන ලද මෙම ලිපිය මා දුටුවේ පදනම් විරහිතව අධ්‍යාපනික වශයෙන් උගත් අන්‍යාගමිකයෙක් විසින් සිදු කරන ලද හෝ ආගම් ප්‍රතික්ෂේප කරන්න බටහිර අන්ත්ගාමියෙකු විසින් සිදු කරන ලද සමච්චල් සහගත පහර දීමක් ලෙසය.

        එබැවින් එම ලිපිය නිර්ධය ලෙස අභියෝගයට ලක් කිරීමට තීරණය කලේමි.

        නමුත් මැතිතුමනි,
        එම blog අඩවියේ අයිතිකරු ඔබ බව හදුනාගත්තේ,කොමෙන්ටුව ඉදිරිපත් කිරීමෙන් පසුවය.

        blogඅඩවි වල admin වරුන් වෙත ලබාදී ඇති බලතල වලට අනුව
        මෙලෙසින් විවේචනයක් ඉදිරිපත් කල විටදී හා එය පල කිරීමේ අයිතිය ඔබ සතුව පවතින විටදී
        හුදු සමාජයේ අප දකින හදුනන පුද්ගලයන්ගේ සිරිත වනුයේ

        1.එම කොමෙන්ටුව පල නොකිරීම
        2.කොමෙන්ටුව පල කර එය ඉදිරිපත් කල තැනැත්තාව සාහසික ලෙස ප්‍රතිවිවේචනයට ලක් කර ඉන් අනතුරුව ඔහු ලබාදෙන ප්‍රතිචාර පල කිරීමට මග අවහිර කිරීමයි.

        නමුත් මහත්මයාණෙනි;
        ඔබතුමා විසින් මා ඉදිරිපත් කල විවේචනය පල කළා සේම,
        එය උපෙක්ෂා සහගතව විඳ දරාගෙන ඒ පිළිබඳව කරුණා සිත් පෙරදැරිව කරුණු පහදා දී ඇත්තේ,ගෞරවණීය වූ ආකාරයකටය.

        මෙවැනි තදබල විවේචනයක් හමුවේදී, ඔබතුමා විසින් මෙහිදී ක්‍රියා කල ආකාරයත්,
        එම ලිපියෙන් සිදුකරන්නේ නිර්මල බුදු දහම විවේචනය කිරීමත් නොව අන්ධානුභාක්තිය පිලිබ්න්ධව වක්‍ර ආකාරයෙන් කියා පෑම බවත් හදුනාග්නීමෙන් ඔබතුමා පිලිබදව අපමණ සතුටට පත් වෙමි.

        මේ කාරණය තුලින් ලිපියක් විවේචනය කිරීමට පෙර පාඨකයෙක් ලෙස ක්‍රියා කල යුතු ආකාරය පිලිබන්දව ආදර්ශයක් මා හමුවටත් මේ සිද්ධිය දකින සැම හමුවටත් ඔබතුමා නිහඩව ඉදිරිපත් කළේය.
        සත්තකින්ම කරුණු නොදැන වාද කිරීමට යාමෙන් මෝඩයා වූයේ කවුරුදැයි නිහඩව ඔබ මට පෙන්වා දුන්නේය.

        වරදක් සිදු වුන කල්හී ඒ සම්බන්ධව සමාව භජනය කිරීමට දෙවරක් සිතීමට නුවමනාය.

        එබැවින් ගරු මහත්මයාණෙනි ඔබතුමා විසින් ඉදිරිපත් කරන ලද ලිපියේ නිවැරදි අරුත වටහා නොගෙන කටයුතු කිරීම සම්බන්ධව ඔබෙන් සමාව ඉල්ලා සිටින අතර ඔබතුමා මෙහිදී ක්‍රියා කල ගෞරවණීය වූ ආකාරයට,මහත්මා ගුණයට මම හිස නමා ආචාර කරමි.

        රටට දැයට හිතකාමී පරපුරක් තනන්නට මෙලෙස ආදර්ශමත් සේවයක් සිදුකරන්නට ඔබට තව චිරාත් කාලයක් අවකාශය ලැබේවායි ප්‍රාර්ථනා කර සිටිමි.

        තෙරුවන් සරණයි.!

Leave a Reply

Fill in your details below or click an icon to log in:

WordPress.com Logo

You are commenting using your WordPress.com account. Log Out / Change )

Twitter picture

You are commenting using your Twitter account. Log Out / Change )

Facebook photo

You are commenting using your Facebook account. Log Out / Change )

Google+ photo

You are commenting using your Google+ account. Log Out / Change )

Connecting to %s