ආදරණීය “කලං“ නැවතත් මුණ ගැසීම

රිදී තිරය බැබලු බොහෝ නළුවන් සිටිය හ. ගාමිණි ෆොන්සේකා විජය කුමරණතුංග රවීන්ද්‍ර රන්දෙනිය වැනි ඒ නළුවන් අතර නළුවන් දෙදෙනෙකු මට වඩාත් ළගින් දැනුනේ ය. එක් අයෙක් ජෝ අබේවික්‍රම ය. අනෙකා අමරසිරි කලංසූරිය ය.

ඒ ගාමිණි හෝ විජය හෝ වෙනත් එවැනි දැවැන්ත චරිත අඩුවෙන් තක්සේරු කළ නිසා නොවේ. ඔවුන් අපට වීරයන් වුවාට ඔවුන් අපේ නොවී ය. එහෙත් ජෝ හෝ කලං එසේ නොවේ. කුමක්දෝ කිව නොහෙන කිට්ටු බවක් ඒ චරිත ද්වයේ තිබුනේ ය.

නැවත හිතා බැලූ විට ඒ ඥාතිත්වයේ පදනම අනුමාන කළ හැකි ය. ජෝ අප දුටු ගැමියා ය. කලං අපේ නාගරිකයා ය. ජෝ අපේ සාඩම්බර එහෙත් නිවුනු අතීතය ය. කලං අපට නැති ශක්තිය ද උකහා ගෙන අපට මුහුණ දීමට සිදුව තිබූ අපේ අවිනිශ්චිත අනාගතය ය. තරුණ වියේ අප ඒ දෙදෙනා වෙන් කරගෙන අප වෙත කිට්ටු කර ගත්තේ ඒ ලෙස ය. අඩු වශයෙන් තුංමං හංදිය හා අහස්ගව්ව තිරගත වූ ඒ සමයේ තරුණ වියේ පසු වූ අපට දැනුනේ එ ලෙස ය.

අමරසිරි කලංසූරිය මුලින්ම තිරයේ දුටු දා සිට දැනුනු මේ කිට්ටුවන්ත භාවය ඔහුගේ ඇඳුමේ හැසිරීමේ කටහඩේ යන සියල්ලේ තිබුනේ ය.

කලං රිදී තිරයේ මෑතක දී දක්නට නොලැබිණි. ඔහු කුමක් නිසා එසේ ඉවත් කරනු ලැබ තිබේ දැයි හිතුනු වාර ද අපමණ ය.

කලං ඉන්පසුව හමුවන්නේ සුජිත් ලක්මාල් වීරසේකර විසින් රචිත “කලං“ කියවූ විට ය.

පොත අතට ගෙන වාඩි වූ මා නැවත හුනස්නෙන් නැගිට්ටේ පොත කියවා හමාර කළ පසු ය. ඒ කලං ගේ චරිතය නිසා ද සුජිත්ගේ ලේඛන කලාව ද යන්න තේරුම් ගත නොහැකිව තවත් මිනිත්තු කීපයක් ඒ අසුනේම රැඳ සිටීමෙන් ද පසු ය.

පොත කියවන විට දැනුනේ අප හද දිනූ කලං ගැන අප දත් දෙයක් නැති බව ය. ඔහුගේ රංගනය මුවහත් කල රංග පීඨය ගැන අප කිසිවක්ම දැන නොසිටි බව ය.

නිරායාසයෙන් මතු වූ රංගනය පිටුපස තිබු අතීත කතාව අප වරෙක විමතියට ද වරෙක කම්පාවට ද පත් කළේ ය. තවත් වරෙක එය අප තුළ සියුම් සංවේගයක් ද තවත් විටෙක බුර බුරා නැගෙන කෝපය ද ඇති කළේ ය.

ඔහු ආ මග කටුක යැයි කීම ඒ මග හෑල්ලුවට ලක් කිරීමකි. ඔහුට මගක් නොවී ය. ඔහු මග තමන් විසින්ම එළිපෙහෙලි කර හදා වඩා ගත්තේ ය. එය අවුරන්නට කටයුතු කළ සමහර දෙනා මැඩ ඉදිරියට යාමටත් සමහර දෙනා මග හැර මග වෙනස් කර ගැනීමටත් කලංට හැකි නොවන්නට කලං අද ජීවතුන් අතර නැතැයි හිතෙන ජවනිකා රැසකින් ද එය සමන්විත ය.

කෘතියේ කිසි තැනක පල් හෑලි හෝ දීර්ඝ විස්තර නැත. හැම දෙයක් ම සංක්ෂිප්ත ය. එහෙත් කෙටි විස්තරය ප්‍රබල ය. බොහෝ දේ එක වචනයක එක වාක්‍යයක ගොනු කිරීමට කර්තෘ සමත්ව තිබේ.

කර්තෘගේ මේ ශෛලිය ඔහුටම ආවේණික වුවක් විය හැකි ය. මෙතරම් ප්‍රබල කම්පනයක් කෙටි මැදිහත්වීමකින් කරන්නට සමත් ලේඛකයන් විරල ය. සුජිත් ද එවැන්නෙකි. කලං තරමටම සුජිත්ගේ “කලං“ පොත ද අපට සමීප වන්නේ එහෙයිනි.

කලං අප දැක ඇත්තේ මතුපිටින් පමණකි. අයිස් කන්දක පිට පෙනෙන කොටස මෙනි. එදා දුටු මතු පිට පවා මහා විශ්ව කර්මයෙකුගේ නිර්මාණයක් ලෙසින් අපි දුටුවෙමු. සුජිත් ඒ මහා අයිස් කන්දේ සාගරයෙන් වැසී තිබු කොටස ද අප ඉදිරියේ දිග හරියි.

දැන් අපට කලං නම් අපේ රිදී තිරයේ හිතවතා දෙස තවත් හිතේෂීව බැලිය හැකි ය. ඒ අවස්ථාව උදාකර දීම ගැන සුජිත්ට නොවක් තුති.

Advertisements

One thought on “ආදරණීය “කලං“ නැවතත් මුණ ගැසීම

  1. Pingback: ආදරණීය “කලං“ නැවතත් මුණ ගැසීම | සතුටු වැස්ස බ්ලොග් කියවනය

Leave a Reply

Fill in your details below or click an icon to log in:

WordPress.com Logo

You are commenting using your WordPress.com account. Log Out / Change )

Twitter picture

You are commenting using your Twitter account. Log Out / Change )

Facebook photo

You are commenting using your Facebook account. Log Out / Change )

Google+ photo

You are commenting using your Google+ account. Log Out / Change )

Connecting to %s