මහින්ද පැරදුවාට පමණක් වැඩක් නැත. ඔහු නියෝජනය කරන්නාවූ පසුගාමී චින්තනය ද ඒ සමගම පැරදවිය යුතු ය. නැතිනම් සිදුවන්නේ එජාපයෙන් හෝ ජවිපෙන් එසේත් නැතිනම් සන්ධානයෙන්ම මේ පිළිල වෙනත් නම් වලින් නැවත මතුවීම ය. පැරදවිය යුතු පසුගාමී චින්තනයේ ප්‍රධාන අංග කීපයක් පහත දක්වන්නට කැමැත්තෙමි. අපේ සහෘදයන් මේ ලයිස්තුවට තවත් එකතු කරනු ඇතැයි ද මේ ලයිස්තුවේ අංගයන් අපේ විරුද්ධවාදීන් මෙන්ම සහෘදයන් විසින්ම ද විචාරයට ලක් කරනු ඇතැයි ද අපි අපේක්ෂා කරමු. ඒ අප සියල්ල දන්නේ යැයි මිත්‍යාවක නැති නිසා ය. මුලින්ම පරාජය කළ යුත්තේ තමන් සියල්ල දන්නේය යනුවෙන් බොහෝ දෙනා තුළ පවතින ඒ සිතුවිල්ල ය. ඉතිරිය පහත දක්වා තිබේ.
- ඉර හඳ තරු අපේ අනාගතය තීරණය කරන බව හා ඒ නිසාම ඒවාට යටත්ව අප ජීවත් විය යුතු බව
- ලංකාවට සෙසු ලෝකයෙන් වෙන්ව ජිවත් විය හැකි බව හා එය අපේ ස්වාධීනත්වය රැක ගැනීමේ මග බව
- ජාත්‍යන්තර නීති රීති සම්මුතීන් පිළිගැනීම තුළින් රට ජාත්‍යන්තරයට යටත් වන බව
- බටහිර ඇති සියල්ල කුණු බව
- ලංකාව ලෝකයේ උතුම්ම රට බව
- වත්මන් ලෝකයේ රටක් ආහාර ඇතුළු බොහෝ දෙයින් ස්වයං පෝෂිත විය යුතු බව (අල්පෙනෙති වගේ දේවල් පවා රට තුළ නිපදවිය යුතු බව)
- ආගම්වල තිබෙන සියළු කරුණු ඒවායේ ශාස්තෘන්වහන්සේලා විසින් දේශනා කර ඇති දේ බව හා ඒ නිසා විමසීමෙන් තොරව සියල්ල පිළිගත යුතු බව
- වැඩිහිටියන් හා පූජකයන් කොතරම් නොපනත් කම් කළ ද උනට ගරු කළ යුතු බව
- තමන්ගේ එකෙක් වැරැද්දක් කළ ද දඩුවම් නොකළ යුතු බව හා උන් ආරක්ෂා කළ යුතු බව
- වැරදිකරුවන්ට නීතියෙන් වැරදිකරුවන් කරන තෙක් නොසිට වෙනත් යාන්ත්‍රණයන් මාර්ගයෙන් හෝ දඩුවම් කළ යුතු බව හා ඔවුන් වෙනුවෙන් නීතිඥයෙකුවත් පෙනී නොසිටිය යුතු බව
- හොරකම වැළැක්වුවහොත් සංවර්ධනය ඇණ හිටින බව
- ආණ්ඩුව අපට යම් යම් දේ දෙන්නේ ආණ්ඩුව කරන අයගේ බූදලයෙන් ගෙනා මුදලින් බව
- ආණ්ඩුවක් තියෙන්නේ රටක ප්‍රතිපත්ති හැදීමට නොව පුතාට රස්සාවක් දීම බිරිඳට මාරුවක් හදා දීම වැනි අපේ සිල්ලර වැඩ ටික කර දීමට බව
- අපට ලැබෙනවා නම් රට උගස් කර ණය ගත්තත් අවුලක් නැති බව
- රාජ්‍ය සේවය යනු රැකියා සපයන කප් රුකක් බව
- පුද්ගලික අංශයෙන් ගලවා රජය බාර ගත් විට සියල්ල හරි යන බව
- දේශප්‍රේමය යනු සිංහ කොඩියක් වැනීම, ජාතික ගීය ගැයීම, අතීතය කබල් ගාමින් පාරම් බෑම හා පපුවට තදින් ගසා ගැනීම බව
- යුද්ධය අවසන් කළ විට ජාතික ප්‍රශ්නය අවසන් වෙන බව
- කොටින් පැරදවිය හැක්කේ එක අලුක්කාලක හෝ බලයක් දෙමළ ජාතියට නොදී සිටීමෙන් බව
- සෙසු ජාතීන් තුළ ඇති ජාතිවාදය ජය ගත හැක්කේ තම ජාතිය තුළ ඊටත් වඩා උග්‍ර ලෙස ජාතිවාදය පැතිරවීමෙන් බව හා වෛරය ජයගත හැක්කේ වෛරයෙන් පමණක් බව
- දුප්පත් කම ජය ගත හැක්කේ දුප්පතුන්ට කෑමවේලක් ඇඳුමක් පැළඳුමක් හා සිල්ලර කාසි ටිකක් දීමෙන් බව
ලයිස්තුව තව දිග ය. එහෙත් ඒ අමතර කාරණා ඔබ විසින් ඉදිරිපත් කරනු ඇතැයි උපකල්පනය කර මේ සටහන මෙසේ අවසන් කරමි.
මේ සියල්ල ද සංවාදයට විවෘත ය.
මේවා නිසා ලංකාවට සිදු විය හැකි හානි අපමණ ය. කිසිවෙකුට ඒ එකදු කරුණක් හෝ එසේ නොවන්නේය යන සැකයක් ඇත්නම් ඒ ගැන පිළිවිසීමට ද අප කැමති ය.
මේ තර්ක හරි ප්‍රාථමිකයි තමයි
සංවාදයට එක් වීම ගැන ස්තුතියි. ඔබේ අදහස් වඩාත් විස්තර කරන්නේ නම් අගයමි. මිනිසුන්ට යමක් උගත හැක්කේ එවැනි සාකච්ඡාවකිනි. නිකම්ම තර්ක ප්‍රාථමිකය යැයි කීවාම එතැන ඇත්තේ පෞද්ගලික ආකල්පයක් පල කිරීමක් පමණකි. සංවාදය පොහොසත් කරන්නට ඒ ගැන විස්තරයක් කිරීමටයි මේ ආරාධනය.
ලංකාව ලෝකයේ උතුම්ම රට යන්න පසුගාමී අදහසක් වන්නේ කෙසේද ? මම දන්නා මම ගිහින් තියෙන ලෝකයේ හැම රටකම අධ්‍යාපන ක්‍රමයේ මුලිකම අංගයක් තමයි තමුන්ගේ රට උතුම් කියන පණිවිඩය ඊළඟ පරම්පරාවට ඉගැන්වීම. සංවර්ධිත හැම රටකම දියුණුවේ උත්ප්‍රේරකය ජාතිකත්වයි, එසේත් නැතිනම් තමුන්ගේ රට උතුම් කොට සැලකීමයි. ලංකාවේ ඉන්න ළිං ගෙම්බෝ තමුන්ගේ රට ගැන ජාතිය ගැන හීනමානයකින් පෙලීම ඉතාම ගුජුප්සාජනකයි, හාස්‍යඋපදවන සුළුයි. ඔබතුමාගේ කෙස්ස පැහුනේ අකලටද කියලත් හිතෙනවා.
ඔබදක්වා ඇති අනෙකුත් බෝහෝ කරුණු අඩු වැඩි වශයෙන් වසර 50 වැඩි කාලයක් තිස්සේ ප්‍රධාන දේශපාලන පක්ෂ විසින් ප්‍රවර්ධනය කල දෙයි. මහින්ද ගේ ඔලුව උඩින් තියල ඔය පොට්ටනිය තියල එහෙම ලෙසියකට නිදහස් වෙන්න බැරි වෙයි. මොකද මේ දේශපාලන පක්ෂ දෙක මාරුවන් මාරුවට බලේට ගෙන්න ඔයාලගේ පරම්පරාවල තක්කඩි කරපු කැතවැඩ ඉතිහාසයේ හොදින් සටහන් වෙලා තියෙන නිසා.
ඉතාමත් අතාර්කික ලිපියක්.
ඔබගේ මැදිහත්වීම අගයමි. තමන්ගේ වැඩක් බලා ගෙන ඉන්නේ නැතිව රට වෙනුවෙන් යමක් කළ යුතු යැයි සිතන අය අතර ඔබත් එක් අයෙකු ලෙස අගය කිරීමට ද මා කැමති ය.
තමන්ගේ රට උතුම්ම රට කිරීමට කැප වීමත් එය උතුම්ම රට කියා සිතා ගෙන එහි ඇති සියළු කුණු කන්දල් යට ගසා සිහින ලෝකයක ජීවත් වීමත් අතර ඇත්තේ ඉතා විශාල පරතරයකි. ඒ වෙනස තේරුම් ගත් දාට රට වෙනුවෙන් කරන ඔබේ මැදිහත් වීම වඩාත් අර්ථාන්විත වනු ඇතැයි මම සිතමි.
අපේ පරම්පරාවට වැරදුන බව ඇත්ත ය. එහෙත් ඊළග පරම්පරාවට හෝ හරියනවා දැකීම අපේ අභිලාෂයයි. පැසුණු කෙස් ඇති බොහෝ දෙනෙක් කරනවා මෙන් ඊළග ආත්මයේ සුඛිත මුදිත ජීවිතයක් ගත කිරීමට කුසල් රැස්කිරීමට යොදන කාලය මෙවැනි බ්ලොග් සටහන් ලිවීමට භාවිතා කරන්නේ ඒ නිසා ය.
දිගින් දිගට සංවාදයේ යෙදීමට ඔබට ධෛර්යය පතමි. අපේ රටට අඩු අදහස් අතර ගැටීම් ය.
/* තමන්ගේ රට උතුම්ම රට කිරීමට කැප වීමත් එය උතුම්ම රට කියා සිතා ගෙන එහි ඇති සියළු කුණු කන්දල් යට ගසා සිහින ලෝකයක ජීවත් වීමත් අතර ඇත්තේ ඉතා විශාල පරතරයකි. */
Very well said!