මහින්ද රාජපක්ෂ යනු පුද්ගලයෙක් පමණක් නොවේ. එය අපේ රටේ ජනතාවගේ උප විඥානය ය. වෙනත් ලෙසකින් කියන්නේ නම් මේ මහින්ද නම් පුද්ගලයාගේ හැසිරීමෙන් මූර්තිමත් වන්නේ ජනයාගේ උපවිඥානයේ ප්‍රකාශනය ය.
අපේ මිනිසුන් ස්වාමියාට බිය ය. ඔහු ඉදිරියේ නිවට නියාලු ය. ඔහු නැති තැන ඔහුට පරිභව කරන්නේ ය. ඔහුට පාඩමක් උගන්වන බව කියන්නේ ය.
ස්වාමියා තමන් සමග පින්තූරයක් ගන්නට එන්නැයි ආරාධනා කළ විට අපේ මුහුණේ මල් දහසක් පිපෙන්නේ ය. ඒ පින්තූරය හැමෝටම පෙන්නන්නේ ය. කටවුට් එකක් හැටියට මහපාරේ ගහන්නට බැරිනම් ගෙදර සාලයේ හෝ එල්ලා ගන්නේ ය.
මේ සියල්ල මහින්ද නම් චරිතය තුළ ද තිබේ.
ඔහු ඇමරිකාවට බිය ය. බටහිරට බිය ය. ඒ නිසාම දෝ ඇමරිකාව සමග සබඳතා යහපත් අතට පවත්වාගෙන යෑම සඳහා ලංකාවේ රජයේ මුදල් යොදවා පෞද්ගලික මහජන සම්බන්ධතා සේවාවක් පවා අධික මිලකට ගත්තේ ය. ඒ සඳහා කොහේවත් නැති ශ්‍රී ලංකා මහ බැංකුවේ අරමුදල් යොදා ගත්තේ ය. රටේ මුදල් යොදවා චෝගම් සංවිධානය කොට බ්‍රිතාන්‍ය කිරුළ හිමි කුමරු ද ගෙන්වා ගෙන පොදුරාජ්‍ය මණ්ඩලයේ කමකට නැති නායකයෙක් බවට ද පත් විය.
මහින්ද ලංකාව තුළ සිංහලෙන් බටහිරට විරුද්ධව වහසි බස් දොඩන්නේ ය. තමන් ඔවුන්ට යටත් නැතැයි කියන්නේ ය. එහෙත් ඔවුන්ට දහසක් පොරොන්දු දී එන්නේ ය. අපේ අය මෙන් නොව උන් ඒවා මතක තියාගෙන නැවත විමසන බවක් මහින්දගේ මතකට, අපේ මතකයට මෙන්ම, එන්නේ නැත. අපේ උන් එසේ මතක තබා ගෙන නැවත නොවිමසන නිසා ය. උන් විමසන කල මහින්ද ද අප මෙන්ම කල් ඉල්ලන්නේ ය. එතකොට සියල්ල හරි යයි මහින්ද අප මෙන්ම හිතන්නේ ය. පොරොන්දු ඉටුකරන්නේ අද නොව හෙට ය. අපේ ජනතාව වගේම ය.
නැති තැන ඇමරිකාවට බටහිරට පලු යන්නට බනින්නේ ය. විමල් වීරවංශ නම් සියඅන්තේවාසිකයා ලවා බොරු උපවාස කරවන්නේ ය. අහිකුණ්ඨකයෙකු වඳුරා ලවා කරන නැටුමක් සිහිපත් කරන එය හුරතල් විරෝධයක් පමණක්ම ය. ලෙමන් පෆ් කා ඉක්මණින් අවසන් වන්නේ ඒක හුරතල් එකක් නිසා ය.
බරක් ඔබාමා සමග පින්තූර ගන්නේ ය. ඒවා කටවුට් බවට පත්ව පාරේ එල්ලෙන්නේ ය.
ලෙඩක් වුවත් දුවන්නේ ඇමරිකාවට ය. පවුලේ වැඩි දෙනෙක් පදිංචි ද එහිය. වහසිබස් වලින් පෙනෙන විරෝධය ඇතුළතින් නැත්තේ ය.
රටේ මිනිසුන් අල්ලපු වත්තේ මිනිසා සමග මායිමට නඩු කියන්නේ ය. නඩුවට දාස් ගණන් වියදම් කරන්නේ ය. ප්‍රශ්නයකට තුඩු දුන් ඉඩමේ වටිනාකම මෙන් දෙතුන් ගුණයක් පුද පඩුරු ලෙස පෙරකදෝරුවාට දෙන්නේ ය. මහින්ද ද එසේ ය.
සුළු ජාතිකයින් සමග ආරෝවල් ඇති කරගන්නේ ය. ඇතිකරගත් ආරවුල් විසදන්නට තමන්ගේ නොව රටේ මුදල් අසිමීතව වියදම් කරගන්නේ ය. එක්සත් ජාතීන්ට උත්තර බඳින්නට කප්පරක් මහන්සි වන්නේ ය. වියදම් කරන්නේ ය. කොමිසම් එකක් දෙකක් නොව දුසිමක් ම පත් කරන්නේ ය. බලය විමධ්‍යගත කිරීමට එකක් නොව කීපයක් ද අතුරුදහන් වූවන් වෙනුවෙන් තව එකක් ද සංහිදියාව ඇති කිරීමට තව එකක් ද වශයෙනි.
කොච්චර පාරම්බෑවත් අපේ මිනිහා බය ය. ඝෝසාවේ තරම ට වැඩ නැත. හරියට බුරන බල්ලන් වැනි ය. හපා කන්නේ නැත. එහෙත් බුරන්නේ ය. මා කිව්වේ බටහිර සම්බන්ධයෙනි. ස්වාමියා සම්බන්ධයෙනි. තමන්ගේ ගෝලයන් ගැන නොවේ. අපේ මිනිහා ද එහෙම ය. හපා කන්නේ ගෝලයින්ව ය. බලවන්තයා ඉදිරියේ පුස් බිරිල්ලක් පමණක් දාන්නේ ය. ඒ ද අපට පෙනෙන්නට ය.
යුද්ධය සම්බන්ධ කාරණය හැරුණු කොට ඉතිරි සියල්ල සම්බන්ධයෙන් මහින්දත් එහෙම ය. යුද්ධය ඇත්තටම කළේ මහින්දම දැයි සිතෙන තරමට ය. ඒ ගැන චම්පික කියන කතාව ද අහන්නට වටින්නේ ඒ නිසාම ය.
විදුලි පුටුවට යන්නට බය නැතැයි කී මහින්ද අල්ලස් කොමිසමට කැඳවීමක් ලැබ නැටූ තොයිලයෙන් පෙන්නුවේත් ඒක ය.
අපේ රටේ කුසල්හාමිලා මාළු බාන්නෝ ය. ඒ වුනාට පසලොස්වකට සිලුත් ගන්නෝ ය. මත්පැනුත් බොන්නෝ ය. පස් වෙනි සිල් පදයත් ඒ සමගම කියන්නෝ ය. ඒ සමගම නොකියන්නේ නම් කියන්නේ අඩු වශයෙන් පදමට දාගන්නටවත් හිතේ තියා ගෙන ය. සිල් ගන්නා තාක් ඔහු උපාසක මහත්තයෙක් ලෙස සළකනු ලබන්නේ ය. එලිපිට නොබොන තාක් හේ බේබද්දෙකු නොවන්නේ ය. මහින්දත් එහෙම ය.
මතට තිත තියෙන ගමන් බාර් ලයිසන් දෙන්නේ ඒ නිසා ය. කප්පරකට බොන්නේ ඒ නිසා ය. පුරා විද්‍යා චක්‍රවර්තීට මහින්දගේ බීම වෙනුවෙන් කතා කරන්නට සිදු වූයේ ඒ නිසා ය.
මහින්ද පැරදුනහම අපට ඇඩෙන්නේ මහින්ද පැරදුනු නිසා නොවේ. අපේ උපවිඥානය පැරදුන නිසා ය.
මහින්ද කියා එහෙමට කෙනෙක් නැත. එහෙත් මහින්ද තුළින් ප්‍රතිමූර්තිමත් වන අපේ උප විඥානය අතිශයින්ම අප වෙත ඇත්තේ ය. මහින්ද රාජපක්ෂ කියන 70 හැවිරිදි මිනිසා අප මෙන්ම සාමාන්‍ය මිනිසෙකි. එහෙමට ගත යුතු දෙයක් ඔහු තුළ නැත. එහෙත් ඔහු තුළ අඩු නැතිව අපේ උප විඥානය මූර්තිමත්ව තිබෙන්නේ ය. ඒ සංකේත මහින්ද ශක්තිමත් ය. ජාතියක සැගවුනු ශක්තිය, එයට ශක්තිය යැයි කිව හැකි නම්, ඔහුගේ සමස්ථ හැසිරීම තුළ තිබේ.
මහින්ද කළා යැයි කියන සියළු හොරකම් අපරාධ වංචා නාස්තිය දූෂණය අපට ප්‍රශ්නයක්ව නැත්තේ ඒ නිසා ය. ඒ සමහර විට අප ද අඩුවැඩි වශයෙන් ඒවා කරන නිසා ය. ඒ තරමටම අපේ උප විඥානය මහින්ද හා සමපාත ය.
මහින්ද සමග නැගිට ගත්තොත් මිසක අපට අත් හැර දමන්නට වන්නේ ඒ අපේම උපවිඥානය ය. මහින්දට කරුණු සහිතව වුව වාග් ප්‍රහාරයන් එල්ලවන විට අපට මල පනින්නේ මේ නිසා ය.
දැන් අපි මහින්දව වෙනදාට වඩා හොඳින් අඳුනන්නෙමු. සැකයක් නැතිවම ඒ අපේ උපවිඥානය ය.
ෆේස්බුක් පරපුර මේ උප විඥානය ඒ තරමටම බෙදා ගන්නේ නැත. ලෝකය ඇත්තේ ලංකාව තුළ යයි අප සිතන විට මේ නව පරපුර ලෝකය තුළ ලංකාව තියෙන බව කියන තරමට අපෙන් දුරස්ථ වී තිබේ. මහින්ද පැරදුනේ එවැනි අක් මුල් නැති නව ෆේස්බුක් පරපුර නිසා ය.
අගෝස්තු 17 දා සටන මේ අක් මුල් නැති පරයින් හා ජාතියේ භූමි පුත්‍රයින් අතර වී ඇත්තේ මේ නිසා ය. මහින්ද ඉන් පැරදුනොත් පරදින්නේ මහින්ද පමණක් නොවේ. අපේ බහුතරයකගේ උප විඥානය ද ඒ සමගම පරදිනු ඇත.
අලුත් රටකට මාවත ඇත්තේ ඒ හරහා ය. ලෝකය තුළ ලංකාව ඇතැයි යන සැබෑව ජය ගැනීම ලංකාව තුළ ලෝකය ඇතැයි සිතමින් සිහින ලෝකයක ජීවත්වනවාට වඩා හොඳ ය. නැතිනම් වන්නේ අප සිහිනයෙන් අවදිවන විට ලෝකයේ ඉතිරි රටවල් ද අප පසු කර ගොස් තිබීම ය.
ඒ නිසාම මහින්ද ද ඒ සමග බහුතර අපේ උප විඥානය ද පරදිනවා දකින්නට මා නම් කැමති ය.
අවසාන වශයෙන් කිව යුත්තේ අපේ උප විඥානයේ එක් කොටසක් 17 දා අපේ සෙසු උප විඥානයට එරෙහිව යෑමට ද ඉඩ තිබෙන බව ය. ඒ අපේ අවස්ථාවාදීත්වය යි. අපිට ප්‍රතිපත්තියක් නැත. අපේ එකම ප්‍රතිපත්තිය වාසිය සොයා යෑම ය. වඩාත් වාසිදායක වන්නේ කොහිද අපි එතැන ය. මේ වාසිය පෞද්ගලික වාසියක් මිස රට හෝ එවැනි පළල් අරමුණක් සම්බන්ධ වාසියක් නම් නොවන්නේ ය. ඒ නිසා අපේ පොඩි එකා ජාතික පාසලකට දාගත හැකි ලොකු එකා රස්සාවකට දාගත හැකි බිරිඳගේ මාරුව හදා දිය හැකි මට වැලි පර්මිට් එකක් ගත හැකි පොඩි පොඩි සිල්ලර වැඩ කර ගත හැකි කෙනෙකු වෙනුවෙන් චන්දය දීමට මා සූදානම් ය. ඌවෙන් ආරම්භ වූ එජාපයේ ගමන දැන් ස්ථිර වන බවක් පෙනෙන්නට ඇත. ඒ තත්වය යටතේ චන්දය දිය යුත්තේ වැඩ කළ යුත්තේ එජාපයට ය.
ඒ නිසා ද එජාපය දිනන්නේ ය. රට චම්පිකලා ද අනුරකුමාරලා ද එකතුව බලා ගනු ඇත්තේ ය. අපට ඇත්තේ අපේ වැඩක් බලා ගැනීම ය.
ඒ නිසා ෆේස්බුක් සගයින් නැතුව ද දැන් එජාපයට දිනිය හැකි ය. මහින්ද පරදිනු ඇත්තේ ය. මොන හේතුව නිසා පැරදුනත් එය නම් රටට හොඳ ය. මක්නිසා ද යත් මහින්ද සමග අපේ පසුගාමී උප විඥානය ද පරදින නිසා ය. එවිට ඉතිරි වනු ඇත්තේ අවස්ථාවාදය විතර ය. ඊළග වටයේදීවත් එය ජය ගන්නට අපි බලමු. සමස්ථයවක් ලෙස පරදිනවාට වඩා එකක් ඉතිරි කොට සෙසු ඒවා ජය ගැනීම හොඳ නිසා ය.