ආනන්දයට වැටුනු ආනන්දනීය “පිනි පොද වැස්සක්“

2015 ජනවාරි 27 දා පිනි පොද වැස්සක් ආනන්ද විද්‍යාලයේ කුලරත්න ශාලාවට වැටුනේ ය. ඒ ශාලාවේ වහල කැඩි තිබුනු නිසා නොවේ. නාලක ස්වර්ණතිලකගේ වයිට්ලීෆ් නම් අපූරු පාසලේ දරුවන්ගේ විස්කම් අපට දිස්වූයේ පිනි පොද වැස්සක් යන ප්‍රසංගය හරහා බැවිනි.

නාලක ස්වර්ණතිලක තම නිර්මාණ දොරට වඩන්නේ දරුවන් හරහා ය. ඒ නිසාම ඒවා මොරසූරන අප හෙම්බත් කරනා වැසි මෙන් නොව ගත මෙන්ම සිත ද සනහන පොද වැස්සක් මෙන් අපට ද දැනීම අරුමයක් නොවේ.
නාලක තම නිර්මාණ හරහා දරුවන්ගේ නේක විද කුසලතා කුළු ගන්වනවා පමණක් නොවේ. ඒ හරහා ප්‍රේක්ෂක අප ද කුල්මත් කරන්නේ ය.
එපමණක් නොවේ. ඒ හරහා ඔහු රටට වැදගත් පණිවුඩයක් ද දෙන්නේ ය. අප තුළ රට ගැනත් අනාගත පරපුර ගැනත් අපමණ බලාපොරොත්තු ඇති කරන්නේ ය.

ඒ අතරම ඔහු සම්ප්‍රදායික පාසලට අභියෝගයක් ද ඉදිරිපත් කරන්නේ ය. පාසල් පද්ධතියේ නිදි ගැට කඩන්නේ ය. අපුරු මග පෙන්වීමක් කරන්නේ ය.

ඒ ප්‍රසංගයට පැමිණි එක්hqdefault විද්වතෙක් කීවේ ඔහුට ප්‍රසංගය දකින විට මුලින් කණගාටුවක් ද පසුව සතුටක් ද දැනුණු බව ය. කණගාටුව තමන්ගේ ලමා කාලය වේදිකාව තුළ සරන දරුවන්ගේ ළමා කාලය මෙන් රසවත් හෝ සුන්දර නොවූ නිසා ය. අඩු වශයෙන් තම දරුවන්ටවත් එවැනි අවස්ථා පාසල තුළ නොතිබුණු නිසා ය. සතුට දැන් පරපුර ඒ අභාග්‍යයෙන් මුදවා ගන්නට සමත් පුංචි මැදිහත් වීමක් දැක ගන්නට ලැබූ නිසා ය.

සම්ප්‍රදායික පාසල නීරස ය. එහි යන්නට ඉදිරියට යන දරුවන්ගේ දෙපය පැකිලෙන්නේ ය.

ඈත අතීතයේ මෙන් වේවැල් කෝටු නාරන් සියඹලා අතු කිතුල් පොල් ඉරටු වැල් කහඹිලියා නැතත් එය අද පවා ආකර්ෂණීය තැනක් බවට පත් වී නැත.
ඒ තුළ ප්‍රශ්න කරන්නට සිතන්නට නටන්නට උඩ පනින්නට නිදහසේ සිංදු කියන්නට සිනහ වෙන්නට පමණක් නොව ඇතැම් විට කතා කරන්නට පවා නිදහසක් ඉඩක් නැත. ඒ සියල්ල කළ යුත්තේ අපමණ තහංචි මැද්දේ ලැබෙන පුංචි ඉඩකඩක දී පමණ ය.

ළමයින්ට මේ සියල්ල -සිනාසීම උඩපැනීම සිංදු කීම කතා කිරීම හා සිතීම- අවශ්‍ය ය. ඔවුන්ගේ චරිත සංවර්ධනය සිදුවන්නේ මේ ක්‍රියාකාරකම් හරහා ය. පාසල තුළ ඉඩ නැත්තේ ද එවැනි ක්‍රියාකාරකම්වලට ය.

ජිවිතයට බොහෝ දුරස්ථ කරුණු සංඛ්‍යාලේඛන වචන හා ඉලක්කම් ඇසුරෙන් වාක්‍ය සමීකරණ හරහා අතිශය නීරස ආකාරයෙන් ඉදිරිපත් කිරීමත් ඒ ඉදිරිපත් කිරීම විඳ දරාගැනීමට සිදුවීමත් සැබෑ දඩුවමකි. ඇතැම් පාසල් ඒ සම්බන්ධයෙන් කෙතරම් අන්තයකට ගොස් ඇත් ද යත් ඒවා හිරගෙයකට දෙවැනි වන්නේ මඳ වශයෙනි.

නාලක අභියෝග කරන්නේ ඒ පාසල් පද්ධතියට ය. ඒ වචන හරහා නොවේ. තම කලා පීඨයේ දරුවන්ගේ ප්‍රතිභාව හරහා ය.

දරුවන්ට එක සමාන ලෙස සළකන යුනිෆෝම් ඇන්දවීම මගින් සංකේතවත් කරන ඔවුන් වචනයේ අර්ථයෙන්ම යුනිෆෝම් – සමජාතීය- පිරිසක් බවට පත් කිරීමේ තැතට ද ඔහු වරක් අභියෝග කර තිබුනේ ය. ඒ “මම වෙනම මලක්“ යන නාට්‍ය නිර්මාණයෙනි.

ඔහුගේ පාසල ජනවාරි 27 දින ප්‍රසංගයේ දී හඳුන්වා දුන් වචනවලින්ම කියන්නේ නම් නළු නිළියන් නිපදවන තැනක් නොවේ. නිවේදක නිවේදිකාවන් බිහිකරන තැනක් නොවේ. කතිකයන් බිහිකරන තැනක් නොවේ. ගායක ගායිකාවන් පුහුණු කරන තැනක් නොවේ. එතෙකුදු වුව ද ඒ සියල්ල එහිදී සිදු වේ.

වයිට්ලීෆ් පීඨයේ අරමුණ දක්ෂ හා සංවේදී දරු පරපුරක් බිහිකිරීම ය. සමාජයට එඩිතරව මුහුණ දිය හැකි සමාජයේ නායකත්වය ගත හැකි චරිත ගොඩ නැගීමය. නැටුම් ගැයුම් ආදී ක්‍රියාකාරකම් භාවිතයට ගන්නේ ඒ සදහා ය. ඒ ක්‍රියාකාරකම් හරහා සමහරු නළු නිළියන් ලෙස ගායකයන් ලෙස අනාගතයේ ගොඩ නැගෙන්නට ද පුළුවන. එහෙත් නාලකගේ අරමුණ එය නොවේ. ඔහු තම සිසු දරුවන් තුළින් පරිපූර්ණ චරිතයක් ගොඩ නැගීමට උර දී සිටියි. වයිට්ලීෆ් පීඨය විශේෂයෙන් අගය කළ යුත්තේ එහෙයිනි.

පිනි පොද වැස්සේ නැටුම් ගැයුම් හරහා ය. නාට්‍ය රගපෑම් හරහා ය.
එහෙත් අපට එය ගෙනෙන බලාපොරොත්තුව නැටුම් ගැයුම් රගපෑම් ඉක්මවයි. රටේ අනාගතය බාර ගැනීමට සමාජය ඉදිරියේ මුළු නොගන්නා දරුපරපුරක උපත එය සනිටුහන් කරයි.

දරුවන්ගේ ප්‍රීතිමත් නිදහස් මුහුණු, උද්වේගී හැගීම් බර රැගුම්, කන් පිනවන ගායනා යන සියල්ල පිනි පොද වැස්සට අසිරිය එක් කළේ ය. එය සැබැවින්ම සොඳුරු සැඳෑවක්ම විය. එය නිමැවූ නාලකටත් එය ඉදිරිපත් කළ දරු කැලටත් අපේ ස්තුතිය ද සුභාශිංසනය ද හිමි වේ.

Advertisements

Leave a Reply

Fill in your details below or click an icon to log in:

WordPress.com Logo

You are commenting using your WordPress.com account. Log Out / Change )

Twitter picture

You are commenting using your Twitter account. Log Out / Change )

Facebook photo

You are commenting using your Facebook account. Log Out / Change )

Google+ photo

You are commenting using your Google+ account. Log Out / Change )

Connecting to %s