වැස්ස, කර්තෘ කාරක හා කර්ම කාරක සහ සෙනසුරා

අම්මප පුදුම වැස්සක් නෙ. දොරේ ගලන්න වහින්නෙ. සේදිලා යනව ඔක්කොම. ඒ අස්සෙ නායත් යනව.

පුදුමයකට වගේ වැස්ස ගැන බණින්නට ඇගිල්ල දික් කරන්නට කවුරුවත් නැත. වැස්ස වැටෙන්නේ ඉබේ ය. කර්තෘ කෙනෙකු නැතුව ය. කර්ම කාරකයෙන් ඇර වැස්ස ගැන ලියන්නට බැරි ය.

කර්ම කාරකය ටිකක් අමාරු ය. ඒ ලියන්න විතර ය. නැත්නම් ඒ තරම් පහසුවක් තවත් නැත. කර්තෘ කෙනෙකු නැති වුනාම වග කියන්න කෙනෙක් නැති නිසා ය.

වැස්ස වහින්නේ ය. නාය යන්නේ ය. වගකියන්නට වුවමනා නැත.

කෝච්චි පීලී පනිද්දී වගකියන්න නැති කල වැස්සට කෙසේ නම් වග කියන්න ද? මතට තිත තියද්දී මිනිස්සු දිගට හරහට බොන කොට වග කියන්න කෙනෙක් නැති කල නාය යෑම ගැන කෙසේ නම් වග කියන්න ද?

නාය යෑමේ අනතුරු ඇගවීමට රජයේ ආයතනයක් තිබේ. ඒ ජාතික ගොඩනැගිලි පර්යේෂණ ආයතනයයි. ඔවුන්ට තියෙන්නේ අනතුරු අගවන්නට ය. අනතුරු ඇගවූවාට ඉන් එහාට යමක් කරන්නට ඔවුන්ට බැරි ය. ඒ සඳහා බලයක් වත් වත්කමක් වත් ඔවුන්ට නැත.

ඉතිරි ටික තිබෙන්නේ ජනතාවට ය. එදා වේල කන්න පොර බදින අතර නවාතැන මාරු කරන්නට ඔවුන්ට බැරි ය. ඉතින් අනතුරු ඇගවුවාට යන්නට බැරි ය.

ඔවුන්ගේ පිහිටට එන්නේ පව් පින් ගැන දෙසන ආගම ධර්මයයි. පවක් කරල තියෙනව නම් ඉතින් මැරෙයි. කොහෙ හිටියත් ඉතින් මරණෙ වළක්වන්න පුලුවනෑ. එහෙම හිත හදා ගන්නට හෝ ආගමක් තියෙන එක එහෙම බැලුවහම හොඳ ය. නැත්නම් තමන්ගේ ජීවිත ගැන තමන් වගකිව යුතු යැයි දැන මුකුත් නොකර හිඳින්න වීමේ පාපයට ඔවුන් ගොදුරු වන නිසා ය.

දැන් එහෙම එකක් නැත. ගෙනා ආයුෂ ඉවර වෙලා ඔවුන් චුත වෙනවා ය.

ඒකට කවුරුවත් වගකිව යුතු නැත. ඒ නිසා කර්ම කාරකයෙන් මේවා ගැන ලියා ජීවිතයේ ඊළග අදියරට යා යුතු ය.

පින් ගන්නට කැමති අයට නම් මේ නාය යාමෙන් වාසනාව උදාවන්නේ ය. එහෙම බැලුවහම හැම අඳුරු වළාවකම රිදී රේඛාවකුත් තියෙන්නේ ය.

කර්මය ගැන පින් පව් ගැන විශ්වාසය නොකරන කවුරුවත් ඉන්නවා නම් කේන්දරය බලා ගැනීම හොඳ ය. සෙනසුරු මාරුව කොහොම අපට බලපායිද යන්න කිව නොහැකි ය. මේ ඔක්කොටම වගකිව යුත්තේ සෙනසුරාවන්නට බැරි ද? සෙනසුරාට කර්තෘත්වය පැවරිය හැකි නම් කර්ම කාරකයෙන් ලියන්නට කරදර වෙන්නට ඕනෑ ද නැත. එතකොට ලියන්න වෙන්නේ “සෙනසුරා නාය යැව්වේ ය“ කියා ය.

රටේ නහුතයක් කේන්දර කාරයින්ට මේ නාය යෑම නොපෙනුනාවත් ද? සෙනසුරා ඔවුන්ගේ ඔලුවට ද ඇතුළු වෙලා මෙය හැංගුවා වන්නට වුවත් පුළුවන. ඒ නිසා මේ ගැන කලින් නොකීවා යැයි ඔවුන්ට දොස් කීමේ තේරුමක් ද නැත.

අපි ආණ්ඩුව ගැන නම් කිසිවක් කීවේ නැත. ආණ්ඩුව කියල ඉතින් ඒකට හැම එකක් ම හොයන්න බැරි ය. යුද්දෙ දින්නා කියා අත්පය අකුලා ගෙන ඉන්නට බැරි ය. ඔක්කොටම කලින් කොටි ටිකට නැවත නැගිටින්නට ඉඩ නොදී කොහොම හරි මේච්චල් කර ගත යුුතු ය. මුස්ලිම් අන්තවාදීන් හා ක්‍රිස්තියානි මූලධර්මවාදීන් ද මෙල්ල කර ගත යුතු ය. එහෙම කරන අතරේ අපවත් සතුටින් තියා ගන්නට තෑගි බෝග දිය යුතු ය. රටේ අනාගතය පැහැබර කරන්නට මැතිවරණ පැවැත්විය යුතු ය. ඒ අල්ලපනල්ලේ ආණ්ඩුවේ ඔලුවට නාය යෑමක් ඇතුළු කිරීම හොඳ නැත. වගකිව යුතු රටවැසියෙකු හැටියට එය කොහොමටවත් හොඳ නැත.

ඒ විදිහට මම අවසානයේ රටේ වගකිව යුතු පුරවැසියෙකු බවට ද පත් වී ඇත්තෙමි. වැස්ස නිසා මා ලද එකම සතුට ඒක ය.

Advertisements

Leave a Reply

Fill in your details below or click an icon to log in:

WordPress.com Logo

You are commenting using your WordPress.com account. Log Out / Change )

Twitter picture

You are commenting using your Twitter account. Log Out / Change )

Facebook photo

You are commenting using your Facebook account. Log Out / Change )

Google+ photo

You are commenting using your Google+ account. Log Out / Change )

Connecting to %s