නමය නපුරු ද?

nine card packසමහරු විශ්වාස කරන විදිහට නමය නපුරු ය. මිනිසුන්ට නපුරු විය හැකි වුව ද ඉලක්කමකට නපුරු විය හැක්කේ කෙසේ දැයි මට නම් තේරෙන්නේ නැත. ඒ සමහර විට මගේ මොළය කුඩා නිසා විය හැකි ය. මොළය අඩු අයට ගණනුත් බැරි යයි කවුදෝ කියනු මා අසා තිබේ. නමය ඉලක්කමකි. ඉලක්කම් අයිති ගණන් වලට ය.

ඉලක්කම් වල අවසානය සටහන් කරන්නේ නමයෙනි. ඊළගට එළඹෙන දහයට තමන්ගේම ඉලක්කමක් නැත. එහෙම බැලුවහම නමය ගාම්භීර ය.

නූලෙන් බේරුණාම කියන්නේ අනූනමයෙන් බේරුණා කියලා ය. අනූනමයට නමයේ ඉලක්කම්ම දෙකකි. එහෙම බැලුවහම නමය වාසනාවන්ත විය යුතු ය. අනූනමයෙන් බේරීමට හැබෑ ලෙස වාසනාව තිබිය යුතු ය. එහෙව් නමය නපුරු යයි කියන්නේ මොන හිතකින් ද? සමහර වෙලාවට මිනිසුන්ගේ කතා තේරුම් ගැනීමට බැරි ය. ඒ තරමටම පරස්පර ය.

හය ඔලුවෙන් හිටගත්තහම පෙනෙන්නේ නමය වගේ ය. නමය ඔලුවෙන් හිටගත්තහම හය වගේ ය. ඉලක්කම් අතරින් එහෙම ඔරොප්පුවට ඉන්නේ හය හා නමය පමණ ය. හයට පෙනෙන එකෙහි ප්‍රතිවිරුද්ධය නමයට පෙනෙන කල ඒ දෙන්නා අතර සාම්‍යයක් ඇති විය හැක්කේ කෙසේ ද?

හය ආවේ නමයට ඉස්සෙල්ලා ය. ඉස්සෙල්ලා එන එකට අප කොහොමටත් ලව් ය. පරණ ඒවා අගය කරමින් උඩ දමන අපි අලුත් ඒවා දිහා වපරැහින් බලන්නේ ඒ නිසා විය යුතු ය. හය හොඳවී නමය නරක් වන්නේ ඒ තර්කයට අනුව ය.

නමය නපුරට පෙනෙන්නේ මේ ඔරොප්පුව නිසා වෙන්නටත් පුලුවන. එහෙම කල්පනා කරහම නම් වැරදී ඇත්තේ මට ය.
මට වැරදෙන්නට බැරි ය. කොහොමටත් බැරි ය. වෙන්නට නම් බැරි ය. අප ජීවත්වෙන්නේම මට වරදින්නට බැරි ලෝකයක ය. ඔබ ඒ බව නම් පිළිගන්නවා ඇත. වැරදී ඇත්තේ අනිත් අයට ය.

ඒ නිසාම නමය නපුරු නැති බවත් නමය මෛත්‍රී සහගත බවත් මම ඔලුවෙන් හිටගෙන කියමි.

දැන් ඔබ කළ යුත්තේ ඒ කතාව විශ්වාස කිරීම ය. එසේ කළ යුත්තේ මම ඒ බව ඔලුවෙන් හිටගෙන කියන නිසා පමණක් නොවේ. රට දෙවනත් වෙන්නට කෑගසමින් අතිශය ගාම්භීර ලෙස එය මේ මොහොතේ තහවුරු කරමින් ඉන්නා නිසා ය. එවැනි සද්දයක් අභියස ඔබ නගන කෙදිරිය ඇහෙන එකක් නැත.

නමය නපුරු නැත. එය සුන්දරය. වාසනාවන්ත ය. මම නැවත නැවතත් කියමි. උදේ හවස කියමි. දත් මදින විටද කෑම කන විට ද ඇදුම් මදින විට ද කියමි. රූපවාහිනියෙන් ද පත්තර වලින් ද ගුවන්විදුලියෙන් ද කියමි. දැන් නම් ඔබට ගැලවීමක් ඇත්තේම නැත.

පිළිගන්න. මෙයයි සත්‍යය. එකම සත්‍යය. පෙරා හදාගත් පරම සත්‍යය. ඉතිරි සියල්ල බොරු ය. නමය නපුරු නැත. එය වාසනාවන්ත ය.

(ඉලක්කමකට නපුරු විය නොහැකි වාක් මෙන්ම එයට මෛත්‍රී සහගත වීමට ද නොහැකි බව කියන්නට සමහරු උත්සහ කරන බව පෙනේ. බරපතලම රෝගය අවිශ්වාස කිරීම ය. බරපතල ලෙස විශ්වාස කරන්න. ඔබේ ඔලුවට එන ප්‍රශ්නවලට නම් ඔබව පාලනය කරන්නට ඉඩ දෙන්න එපා! දැන් හරි ය?)

Advertisements

One thought on “නමය නපුරු ද?

Leave a Reply

Fill in your details below or click an icon to log in:

WordPress.com Logo

You are commenting using your WordPress.com account. Log Out / Change )

Twitter picture

You are commenting using your Twitter account. Log Out / Change )

Facebook photo

You are commenting using your Facebook account. Log Out / Change )

Google+ photo

You are commenting using your Google+ account. Log Out / Change )

Connecting to %s