11, 12, දහතුන, 14

නමය නපුරු යයි නොකියන සමහරුන්ට 13 පෙන්නන්නට බැරි ය. ඔවුන් 13 සළකන්නේ අවාසනාවන්ත සංඛ්‍යාවක් ලෙස ය.

මෙහි ආරම්භය යේසුස් වහන්සේගේ අවසාන භෝජන සංග්‍රහය වෙතැයි සැළකේ. කුරුසියේ ඇණ ගැස්වීම තෙක් දිව ගිය ඒ අවසන් භෝජන සංග්‍රහයට 13 ක් සහභාගී වුනේ යැයි කියනු ලැබේ. බැරි වෙලාවත් එදා හිටියේ දොළහක් නම් වැඩේ සෙට් වෙන්නේ දොළහට ය.

තලවතුගොඩ වික්‍රමසිංහපුර පටුමං ගණනාවක් තිබේ. 12 වෙනි පටුමගට පසු තිබිය යුත්තේ 13 පටුමග වුව ද එහෙම අංකයකින් පටුමගක් එහි නැත. 13 පාර නම් කර ඇත්තේ ධර්මපාල මාවත කියා ය. ඊට පස්සේ ඇති පාර 14 වෙනි පටුමග ය.

සමහර රටවල හෝටල්වල 13 තට්ටුවක් තිබෙතත් වික්‍රමසිංහ පුර තර්කයට අනුව එ්වා 13 තට්ටුව ලෙස නම් නම් කරන්නේ නැත. සමහර හෝටල් කාමර ද. නම්  කර ඇත්තේ 13 මග හැරෙන ලෙස ය.

එයින් පෙනී යන්නේ ප්‍රශ්නය ඇත්තේ දහතුන් වෙනි එකේ නොව එලෙස නම් කරන ඒවායේ බව ය. එයින් පේන්නේ අවාසනාව නම් හොයා ගෙන යන බව ය.

ඇපලෝ අභ්‍යවකාශ යානා අභ්‍යවකාශ ගත කළ නාසා ආයතනයේ ඉන්නේ විද්‍යඥයින් ය. මිනිසුන් හිනස්සන්නට බැරි නිසා ඔවුන් ඇපලෝ 13 මග හැරියේ නැත. එහෙත් වුනේ අභාග්‍යයකි. එහි පිපිරීමක් ඇති විය. ගගනගාමීන් අනතුරට පත් නොවුනේ වුව ද 13 අවාසනාවන්ත අංකයක් බව විශ්වාස කළ අයට එයින් තවත් සාක්කියක් ලැබුනේ ය.

13 නම ඇති බොහෝ සාර්ථක වූ දේවල තිබුන ද එ්වා මග  හරින ඔවුන්ගේ මනස යන්නේම 13 නම ඇතිව අසාර්ථක වූ ඒවා සොයාගෙන ය. එහෙම එවා හොයාගන්නට බැරිකමක් ද නැත. ඉතින් සොයන්නාට සම්බවෙන කරුණු සංඛ්‍යාලේඛන ද ගෙන 13 නපුරු යැයි පෙන්නන අයට ශ්‍රාවක පිරිසක් ඇතිවේ. එවැනි දෑ පදනම් කර ගෙන ගොඩ නැගුණු අංක විද්‍යාවක් (විද්‍යාවක්! ඔව්, විද්‍යාවක්) ද පවතී. සුභ අසුභ ඉලක්කම් ගණන් මේ මේ යැයි එයින් දැන ගත හැකි ය. එම විද්‍යාවට අනුව 13ට ඇත්තේ කුමන තැනක් දැයි යන්න ගැන අවබෝධයක් අපට නැත.

13 ගැන අප දන්නා වැදගත්ම දේ එය අප රටේ අතිමහත් බහුතරය සහභාගි වන උත්සව දවසකට සම්බන්ධ බව ය. පවුලේ හැම එක්කරන සිංහල දෙමල අලුත් අවුරුද්ද වැටෙන්නේ අප්‍රියෙල් මාසේ 13 හෝ 14 දිනයන්ගෙන් එකකට ය.

එය නම් අවාසනාවන්ත යැයි කියනු අප අසා නැත. අවුරුද්ද වාසනාවේ උත්සවයකි. වාසනාව සමරන උත්සවයකි. එවන් උත්සවයක් මහ ඉහළින් සමරණ අයම එසේ කරන ගමන් 13 මග හරින්නට හදන්නේ මන්දැයි පැහැදිලි නැත.

වචන සෙල්ලම් කියා ලොකුවට ලියා පටන් ගත්තාට අන්තිමේ ලියවෙන්නේම ඉලක්කම් සෙල්ලම් ගැන ය. සමාවෙන්න, ඊළගට ලියන්න යන්නේ ද ඉලක්කම් ඇතුළත් සංඛ්‍යාවක් ගැන ය. සෙල්ලම් කරන්නට හැකි නම් වචන මොකද ඉලක්කම් මොකද?

Leave a comment